» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/09/2019 - දේශය
සන්නිවේදකයෝ කෘතීමව තනන යුගයක්

ජන සන්නිවේදනය වඩා පුළුල් වී තිබේ. අද සංහතික සන්නිවේදනය වශයෙන් හදුන්වන්නට උත්සුක වී ඇත. එයට හේතුව හුදෙක් පුද්ගලාන්තර සන්නිවේදනය පමණක් නොව ජීවී හා අජීවී දේ අතර පවා සන්නිවේදනය පැතිරීමයි. අනෙක මෙතෙක් ගෝලීය සන්නිවේදන ව්‍යුහයක තිබුණි. එය තවත් පැතිරී තිබේ. විශ්වයේ නොදන්නා සංහතික පද්ධති සමග පවා සන්නිවේදනය සිදුවෙයි. අතීතයේ දී එකිනෙකා සමග අදහස් හුවමාරැවට සංඥා භාවිතා කරන ලද ජන සමාජයක් සමස්ථ සංහතිකය සමගම තොරතරු හුවමාරු කරගන්නා තැනට පත්වීම අති විශාල පෙරැළියකි.

බලවත් ගෞරවයට පාත‍්‍ර වී ඇති මෙරට ජන මාධ්‍ය සන්නිවේදන ප‍්‍රවීනයෙකු එක්තරා අවස්ථාවක වර්තමාන ගුවන් විදුලිය හා රූපවාහිනි නිවේදකයෝ ගිරාපෝතකයෝ සේ හැදින්වූහ. එයින් අදහස් කළේ තොර තෝංචියක් නැතිව කියැවීමය. මයික‍්‍රෆෝනය ඉදිරියට පැමිණිවිට කිව යුතු හා නොකියවිය යුතු දේ ගැන අවබෝධයක් හා පුලූල් අත්දැකීම් රහිත හෙයින් වර්තමානයේ මාධ්‍ය ආයතන වල සේවයේ නිරත ඇතැම් ශිල්පීහු මෙසේ හෑල්ලූවට ලක් කර ඇත. පොත පත පරිශීලනය නොකර කලින් සූදානමක් රහිතව සජීවීව සම්බන්ධ වන සන්නිවේදකයෝ අරුත් රහිත වචන් හසුරවමින් අසන්නෝ අපහසුතාවයට පත් කරති. නිසි පුහුණුවක් සහිත මනා ශික්ෂණයකින් යුතු සන්නිවේදකයන් බිහි කරගැනීම පහසු කාර්යයක් නොවේ.

පසුගිය වසරේ චීනයේ ජාතික ප‍්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා ආයතනය ලෝකය හමුවේ අලූත් අනාවරණයක් කළේය. එයට අනුව කෘතීම බුද්ධියක් ඇති බව කියන රොබෝවරයෙකු ප‍්‍රවෘත්ති විකාශය හා සම්බන්ධ විය. පිටපත කියැවීම ඉතා දක්ෂ ලෙස කරගෙන ගිය අතර එම පරිගණකයට ඉදිරිපත් කරන ලද අකුරු හඩ බවට හරවා ප‍්‍රවෘත්ති විස්තරය කරගෙන යෑම එහි පසුබිම බව අනාවරණය කෙරිණි. මුලින් පිරිමි කටහඩක් ද අනතුරුව කාන්තා හඩක් ද හදුන්වා දුන් අතර අද වන විට ඉංග‍්‍රීසි භාෂාවෙන් හා චීන භාෂාවෙන් අපූරුවට පිටපත කියවන්නට සමත් රොබෝ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෝ ෂින්හුවා ආයතනයේ සේවයට එකතු කරගෙන සිටිති. මෙම පරිගණක හා සම්බන්ධ කෘතීම ඉදිරිපත් කරන්නෝ අවශ්‍යනම් පැය විසිහතරම එතෙකින් නතර නොවී වසර පුරා කිසිම මහන්සියකින් තොරව වැඩ කරන්නට සූදානම් බව චීන පුවත් සේවය සහතික කර තිබේ. එය ඉතා වැදගත් ප‍්‍රවෘත්තියක් බව නිසැකය. කෙසේ වෙතත් මෙම කෘතීම බුද්ධිය සහිත පරිගනක වලින් සමන්විත ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් කලින් සකස් කරදුන් පිටපත ඉදිරිපත් කිරීම හැර සජීවී විස්තර කතනයකට තවමත් සූදානමක් නැත. එසේ හෙයින් ජනතාව බලා සිටින උණුසුම් තොරතුරක් එසැනින් සිද්ධියක් වන ස්ථානයක සිට සජීවීව ඉදිරිපත් කිරීමට සුපුරුදු නිවේදක නිවේදිකාවන්ට හැර කෘතීම ඉදිරිපත් කරන යන්ත‍්‍ර වලට පුලූවන්කමක් නැත.

මෙම පුවත් ඉදිරිපත් කිරීම ‘‘හැබෑවටම බොරුවක් ’‘ සදහන් කරන්නට අවශ්‍යය. සියළුම දෙනා මෙම ඉදිරිපත් කිරීම ව්‍යාජ එකක් බව දනී. එයට හේතුව සාමාන්‍ය ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන ශිල්පියෙකු ගේ හඩ උපයෝගී කරගෙන තිබේ. පරිගනකයේ ගබඩා කර ඇති මතකය අනුව පිටපත කියැවීම ෂින්හුවා පුවත් ඒජන්සියේ රොබෝ ප‍්‍රවෘත්ති කියවන්නාගේ ක‍්‍රමය වී තිබේ. ඇහෙන වදන පැහැදිලි නමුත් තොල් සෙලැවෙන ආකාරය වෙනස්ය. සජීවීව ඉදිරිපත් කරන මිනිස් චරිතයක් සේ හැගීම්බර බවක් නැත. එය ඉතා පහසුවෙන් කරන බොරුවක් නමුත් තාක්ෂණය අතින් ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව සදහන් කරන්නට අවශ්‍යය.

නූතන ව්‍යාපාරික පසුබිම අනුව මෙම කෘතීම කියවන රොබෝවරු වෙනුවෙන් ආයෝජනය කිරීම ආයතනයක වියදම අවම කරන හේතුවකි. ගුවන් විදුලිය හෝ රූපවාහිනී නාලිකාවකට වෘත්තීය වශයෙන් ඉහළ අත්දැකීම් සහිත නිවේදක නිවේදිකාවන් බදවා ගැනීම අනවශ්‍ය විය හැකිය. එය ගෙවීම් සම්බන්ධයෙන් වාසියකි. අනෙක නිෂ්පාදන වියදම කපා හරින අවකාශයක් ඇත. චීනයේ පවා වෘත්තීය නිවේදකයෝ මෙම කෘතීම ප‍්‍රවෘත්ති කියවන්නන් ගෙන් තමන්ට ඇති අවස්ථා අහිමිවීම ගැන මැසිවිලි නැගෙන්නට පටන් ගෙන ඇත. එය විශේෂත්වයකි.

චීනය අලූතින් ඉදිරිපත් කළ මෙම කෘතීම ප‍්‍රවෘත්ති කියවන විලාශය ගැන ලෝකය පුරා විශාල විවාදයක් ආරම්භ වී තිබේ. එක් කොටසකට අනුව මෙම උත්සාහයට හදවතක් නැත. තොරතුරක් ඉදිරිපත් කරන අවස්ථාවේ දී භාව විලාශයක් තිබිය යුතුද නැද්ද යන්න ගැන පවා මෙම උත්සාහයට පසු කතාබහක් ඇති වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පවා නාලිකා වල ප‍්‍රවෘත්ති විකාශයේ දී තමන් පැත්තක් ගෙන එනම් ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමේ දී තමන්ගේ ඉරියව් වලින් එය ගැන අනියම් අදහසක් පළ කිරීම ගැන මත බේධ ඇත. හුදෙක් ඉදිරිපත් කරන්නාගේ වගකීම පිටපත කියැවීම හැර අනෙක් ඉගි බිගි මගින් තොරතුර සම්බන්ධයෙන් අන්‍යාකාරයේ හැගවීමක් නොකර සිටීම බව පිලිගත් මතයයි. නමුත් අද වන විට එය අභියෝගයට පත් ව ඇති අතර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෝ සමහර අවස්ථාවල අනියමාර්තයෙන් එය රසවත් කරන්නට උත්සාහ කරති. ෂින්හුවා ඒජන්සියේ ක‍්‍රමය ව්‍යාප්ත වුවහොත් මෙම ඉදිරිපත් කරන ශිල්පියා ව්‍යාජ, එනම් හඩකවන ලද යන්ත‍්‍රයක් බව තේරුම් ගන්නා අතර ප‍්‍රවෘත්තිය හුදෙක් කියැවීමක් පමණක් වනු ඇත. චීනයේ ප‍්‍රවෘත්ති කියවන රොබෝ යන්ත‍්‍ර ගැන අදහස් දක්වන තවත් අදහස් පුද්ගලයන්ට අනුව ඉංගී‍්‍රසි හා චීන පමණක් නොව වෙනත් භාෂා ද මෙම යන්ත‍්‍රවලට හසුරුවන්නට බැරි කමක් නැත. දැනට සොයා ගැනීම චීනයේ වන අතර අනෙක් භාෂා ගැන විවිධ පාර්ෂව අත්හදා බලමින් සිටී. නුදුරු කාලයේ දී මාධ්‍ය ජාලාවලින් විශේෂයෙන් සමාජ මාධ්‍ය වලින් කෘතීම බුද්ධිය සහිත පරිගණක ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරනු ඇති අතර එය දැන් පවතින පිලිගත හැකි තොරතුර යන සංකල්පය තවත් සංකීර්ණ තැනකට පත් කරන්නට ඉඩ තිබේ. මෙම තොරතුර ඇත්ත දැයි හොයන්නට විශේෂ පරිශ‍්‍රමයක් දරන්නට සිදුවනු නිසැකය. කෙසේ වෙතත් මෙම ශිල්පය ලෝකය පුරා පැතිරෙන දිනය වැඩි ඈතක නොවේ.