» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/07/2019 - දේශය
රටකින් රටකට විදුලිය සැපයෙන අයුරු

සිංගප්පූරුව හා ඔස්ටේ‍්‍රලියාව අතර දුර කිලෝ මීටර් 4,374 කි. ගුවන් යානයකින් සිඞ්නි නගරයේ සිට සිංගප්පූරුවට ගමන් කරනු සඳහා පැය අටකට වැඩි කාලයක් ගතවේ. රටවල් දුර නමුත් අලූත් තාක්ෂණය රටවල්වල අවශ්‍යතා සමීප කරන්නට සමත්ව තිබේ. නවතම වාර්තා අනාවරණය කරන අන්දමට ඔස්ටේ‍්‍රලියාවේ නිපදවන සූර්ය බල විදුලිය සිංගප්පූරුවට සපයන්නට සූදානමක් ඇත. එය දැවැන්ත අභියෝගයකි. නගරයේ එක් තැනක ඇති විදුලි කණුවක් වෙනස්කර ගැනීමට නොයෙක් ලිපි පුරවා අයැදුම්පත‍්‍ර සකස් කර සෑහෙන මහන්සියක් ගන්නට සිදුවන රටක ජීවත්වන මෙරට වැසියන්ට සෑහෙන දුරකින් පිහිටි රටවල් දෙකක් අතර විදුලිය හුවමාරුව විස්මිත සිද්ධියක් විය හැකිය.

ඔස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 15,000 ක පමණ විශාල කාන්තාර ප‍්‍රදේශයක නව සූර්ය බල උත්පාදනාගාරය ඉදි කෙරේ. ජාත්‍යන්තර සමාගමක් එයට මුල පුරා ඇත. එය අද වන විට ලෝකයේ විශාලතම සුර්ය විදුලිය උත්පාදන ව්‍යාපෘතිය බව ප‍්‍රකාශයට පත්ව තිබේ. විදුලිය ගබඩා කළ හැකි දැවැන්ත බැටරි සංකීර්ණයක් ද ඉදි කරන අතර හිරු බැස ගිය නමුත් පැය විසි හතර පුරා අඛණ්ඩව විදුලිය සැපයුමට හැකියාව ඇති බව අනාවරණය වන තවත් කරුණකි.

කාබන් විමෝචනය රහිත පරිසර හිතකාමී බලශක්ති උත්පාදනය කෙරෙහි ලෝකය පුරා බලවත් උනන්දුවක් තිබේ. සිංගප්පූරුව සිය භූමියේ සිදුවන ඛනිජ තෙල් විදුලිය නිපැයුම පාලනය කරනු ස`දහා උපරිම උත්සාහයක නිරතය. එරට විදුලිය නිපදවනු සඳහා අවශ්‍ය ද්‍රව ගෑස් සියයට අනූ පහක් ආනයනය කරන අතර එය සිංගප්පූරු ආර්ථිකයට සෑහෙන පිරිවැයකි. අලූතින් කි‍්‍රයාවට නැගෙන සූර්ය විදුලිය මිල දී ගැනීමේ අදහස අනුව ඔස්ටේ‍්‍රලියාවෙන් කරන සැපයුම සාර්ථක වන විට සිංගප්පූරුවේ වත්මන් විදුලිය අවශ්‍යතාවයෙන් පහෙන් එකක් සම්පූර්ණ කරනු ඇත. ඉන්දුනීසියාව හරහා මහ මුහුද යටින් අදින දැවැන්ත කේබල් මාර්ගයක් ඔස්සේ විදුලිය සම්පේ‍්‍රශණය කරන්නට සැලසුම් කර තිබේ. මෙම කේබල් පද්ධතියේ දිග කිලෝ මීටර් 2,500 කි. සිංගප්පූරු ඩොලර් බිලියන විස්සකට වඩා වියදම් වනු ඇතැයි සැලකෙන අතර මූලික වියදමට පසු විදුලිය උත්පාදනයට සිදුවන දිනපතා වියදම ඉතිරි කිරීම රටට සෑහෙන වාසියක් වනු ඇත. මෙහි මූලික කටයුතු දැනට ආරම්භ කර තිබේ. වසර 2023 වන විට ඉදිකිරීම් සෑහෙන ප‍්‍රමාණයකින් කරගත හැකිවන අතර එතැන් සිට තවත් වසර හතරකින් නොකඩවා විදුලිය සපයා ගැනීම අපේක්ෂාවයි.

සූර්ය විදුලිය උත්පාදනය සමග ඇතිවන පරිවර්තනය දෙස ජාත්‍යන්තර පර්යේෂකයෝ අලූතින් අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ. එය ලෝකයේ සිදුවන පැවැත්ම සහමුලින්ම වෙනස් කරන්නට හේතු විය හැකි බව ප‍්‍රකාශ වෙයි. මෙම දෙරට අතර විදුලිය හුවමාරුව සමග ඔස්ටේ‍්‍රලියාව විදුලිය උත්පාදන කේන්ද්‍රස්ථානයක් වනු ඇත. අනාගතයේ දී දියුණුවන තාක්ෂණය සමග රටවල් වලට විදුලිය බෙදාහරින ක‍්‍රම තවත් දියුණු වනු ඇති අතර පිරිවැය අවම විය හැකි බව පුරෝකථනය වෙයි. ඔස්ටේ‍්‍රලියාව ඇතුළු විශාල ඉඩම් හිමි රටවල් විදුලිය නිපදවා බෙදාහරින මධ්‍යස්ථාන බවට පත්වීම වැලැක්විය නොහැකි බව ද සඳහන් වන වැදගත් කරුණකි.

පිරිපහදුවලින් මිල දී ගත් ඛනිජ තෙල් තොග පුරවා ගත් නැව් හෝ ගල් අඟුරු තොග රැු`ගත් නැව් විදුලිය උත්පාදන බලාගාර වෙත පැමිණ ඒවා උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන යුගය ඉතා ඉක්මනින් අවසන් වනු ඇත. සමහර විට එම ආර්ථිකය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වනු ඇති එම ඛනිජ තෙල් විදුලිය උත්පාදන ආර්ථිකය තවත් දශකයක් දෙකක් ගතවන විට බිංදුවට බහින්නට ඉඩ තිබේ. දැවැන්ත බලාගාර වල සේවය කළ දස දහස් සංඛ්‍යාත පිරිසකට රැුකියා අහිමිවනු ඇත. පොසිල ඉන්ධන වලින් විදුලිය නිපදවන දැනුම සහිත ඉංජිනේරුවන් අනාගතයේ දී යුගයට නොගැලපෙන පිරිසක් විය හැකි අතර එම ක්ෂේත‍්‍රවල විද්වතුන් සිය දැනුම යාවත්කාලීන කරගන්නට අසමත්වුවහොත් අවලංගු දැනුම සහිත විශේෂඥයන් සේ ජීවත්වන්නට සිදුවන බව විචාරක මතයයි. මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුට අනුව අනාගතයේ දී පිරිසිදු විදුලිය අපනයනය කිරීම වෙනම වෙළඳාමක් වනු ඇත. පොසිල ඉන්ධන රැුඟත් නැව් මහ මුහුදෙන් අතුරුදහන් වන අතර මහ මුහුද ඔස්සේ විදුලිය බෙදා හරින රැුහැන් පද්ධති ඉතාම වේගයෙන් දියුණු වන තාක්ෂණ අංශයක් විය හැකි බව අඟවා තිබේ.

අනාවරණය වන තොරතුරු අනුව ලෝකයේ නොයෙක් රටවල් සූර්ය විදුලිය උත්පාදනය සම්බන්ධ නවතම පියවර වලට ගමන් කරමින් සිටී. පාවෙන සූර්ය විදුලියබලාගාරයක් ඉදි කළ චීනය එයින් නතර නොවී ඔස්ටේ‍්‍රලියාවේ කාන්තාර ප‍්‍රදේශවලට පැමිණ එහි සූර්ය විදුලිය බලාගාර වෙනුවෙන් සිය ධනය ආයෝජනය කරන්නට පෙළැඹී ඇත. අප‍්‍රිකානු මහද්වීපයේ රටවල් වේගයෙන් සූර්ය බලයට හුරු වන අතර රාත‍්‍රි කාලය ස`දහා ගබඩා කරන්නේ කෙසේ ද යන කාරණය ගැන සෑහෙන අවධානයක් යොමු කරන බව පෙනේ. පර්යේෂණ අංශ පෙන්වා දෙන අන්දමට මූලික වියදම ඉහළ නමුත් රටවල් අතර එලන දැවැන්ත කේබල් පද්ධති ඔස්සේ දිවා කාලයේ නිපදවන විදුලිය රාත‍්‍රී කාලයේ ඇති කලාප වලට විකුණන වෙළඳ පොලක් බිහිවන දිනය වැඩි ඈතක නොවේ. ඛනිජ තෙල් වෙළඳාම හා සමානව අනාගතයේ දී සූර්ය විදුලිය අලෙවි කරන ආකාරය ගැන ප‍්‍රමිති හා ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන්නට බැරි නැත. තෙල් බලයෙන් වැඩ කරන ලෝකය හිරු එලියෙන් නිපදවන විදුලියෙන් වැඩ කරන තැනට හැරවෙන විට ඇති විය හැකි ප‍්‍රවනතා සාකච්ඡුාවට ලක්ව ඇති වැදගත් පැත්තකි.