» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/06/2020 - දේශය
ජනතාව ගැන හිතන බැංකු ක‍්‍රමයක්

කාලානුරුපව වෙනස් වන බැංකු හා මුල්‍ය ක‍්‍රමයක් රටට අවශ්‍යය. බැංකු ක‍්‍රමය නිර්මාණය වූයේ ධන කුවේරයන්ගේ ධනය ආරක්ෂා කිරිමට බව ඉතිහාසය දක්වයි. ආරක්ෂා කිරිම වෙනුවෙන් ගාස්තු ගෙවන්නට එකල සිදුවිය. ධනය එකතු කර තබා ගැනීම වෙනුවට ඒවායෙන් යමක් කළ හැකි බව පසුව ඒත්තු ගියේය. අවශ්‍ය පිරිසකට ණය දෙන ක‍්‍රමය ඇරඹිණ. වර්තමානයේ දී බැංකු හා මුල්‍ය අංශය ධනය එකතුකර තබා ගන්නා තැන් නොවේ. උපායශීලීව ධනය හුවමාරු කරන තැන්ය. ව්‍යවසායකයන්ට අවශ්‍ය ප‍්‍රාග්ධනය සපයයි. නිසි පරිදි මුදල් කළමණාකරණය කිරිමෙන් අලූත් සමෘද්ධියක් ඇති කෙරේ. බැංකු හා මුල්‍ය අංශය ඉතිහාසයේ සිට පැමිණි ගමන තිරණාත්මක තැනකට ප‍්‍රවේශ වී තිබේ. 2020 ට පසු එළැඹෙන යුගයේ දී දැන් පවතින බැංකු ව්‍යුහය අහෝසි වනු ඇතැයි සැලකේ. මුදල් පරිහරණයක් නැති සමාජයක් බිහිවනු ඇත. තාක්ෂණය එහි බලවත් කාර්ය භාරයක් ඉටුකරන ලකුණු පෙනෙන්නට තිබේ. අද අප ජීවත්වන යුගය අතරමැදි වකවානුවකි.

ලංකාවේ බැංකු ක‍්‍රමය ඇති කළේ අධිරාජ්‍යවාදීහුය. අධිරාජ්‍යයට අවශ්‍ය දේ නිපදවා අපනයනය කරන පිරිසට එයින් පහසුකම් ලැබිණ. නිදහස ලැබුණ පසු ශ‍්‍රී ලංකාවේ උන්නතිය සදහා මුල්‍ය ක‍්‍රමය හසුරුවන අවශ්‍යතාව පැන නැගිණ. සමුපකාර ව්‍යුහය ඇති කළ එවකට සිටි පාලකයෝ එහි මුල් පියවරට පසු මහජන බැංකුව ස්ථාපිත කළහ. ගොවියන්ට සහ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ණය පහසුකම් සැපයීම එම බැංකුව පිහිටුවීමේ අභිප‍්‍රාය වශයෙන් දක්වා තිබුණි. අද වන විට රට තුළ බලවත් ප‍්‍රශ්නයක් තිබේ. නිදහසට පසු දශක හතක් අවසන්ය. සාමාන්‍ය ජනතාවට සහනයක් දෙන බැංකු හා මුල්‍ය පද්ධතියක් රට තුළ නැත. පවතින ක‍්‍රමයෙන් අලූත් ව්‍යවසායක පරපුරක් හදන්නට පහසුකම් නොසපයයි. තරුණයෙකු ගේ අදහසක් අනුව නව ව්‍යාපාරයක් අරඹන්නට නිසි සහායක් දෙන්නේ නැත. ගනුදෙනුකරුවන්ගේ පැත්තෙන් හිතන ස්වභාවයක් නොමැති බව දැකගත හැකිය.

ලෝකය පුරා පැතිරී ගිය කොවිඞ්-19 වසංගතය හමුවේ බැංකු හා මූල්‍ය අංශයට බලවත් වගකීමක් ඇත. ජන ජීවිතය ගැටළු සහගත තැනකට පත්ව තිබේ. නිෂ්පාදන, අලෙවි හා සේවා අංශ බලවත් අර්බුදයකය. ජීවන මාර්ග අවහිර වි තිබේ. කුසට ආහාර හෝ අසනීපයකට බෙහෙත් වැනි මානුෂිය සහන ඉල්ලා කෑ ගසන මිනිසුන් බොහෝ පිරිසකි. ණයට ගත් මුදල් ආපසු ගෙවන්නට කලින් අඹු දරුවෝ ජීවත් කළ යුතුය. එහි ප‍්‍රතිඵලය නිසි කලට ණය වාරික නොගෙවීමය. අවසානයේ දී බැංකු හා මුල්‍ය අංශ අවදානමකට යොමුවෙයි. ගනුදෙනුකරුවන්ට තර්ජනය කර හෝ ණය අය කරගනිති. නොබෝදා මෙරට වාර්තා වූ ලීසිං සමාගමක මැර ප‍්‍රහාරයකින් සිදුවූ ඝාතනය එක සිද්ධියක් පමණකි.

ජන ජීවිතය ද සමස්ත ආර්ථිකය ද පිරිහෙන විට එයට පිලියම් කරන්නේ කෙසේද? බ්‍රිතාන්‍ය අනුගමනය කළ පිලිවෙත දෙස බලන්න. කොවිඞ් - වසංගතය නිසා ගැටළු ඇති වූ සමාගම් වල සේවකයන්ගේ වැටුප් රජයෙන් ගෙවිය. සම්පූර්ණ වැටුප නොවේ. සියයට අසූවක හෝ එයට අඩු ප්‍රතිශතයකි. ආයතන වැසී රැකියා අහිමිවන පිරිසට එය සහනයක් විය. ආයතන ද ආරක්ෂා කෙරෙන ක‍්‍රමයකි. එම මුදල් ගෙවන්නේ බැංකු ගිණුම් වලටය. බැංකු වලට ද දෛනික හුමවාරු සදහා මුදල් ලැබේ. වැටුප ලැබෙන නිසා බැංකු වලින් ගත් ණය හෝ වෙනත් වියදම් නිසි පරිදි ගෙවන්නට හැකිවෙයි. ආර්ථිකය නිසි පරිදි ශක්තිමත් වූ පසු ආයතන වලට ගෙවූ කොටස ආපසු අය කරගන්නට බි‍්‍රතාන්‍ය රජය පියවර ගනු ඇත. හැම තැනෙකටම මුදල් බෙදන, සහන ප‍්‍රකාශයට පත් කරන, බදු සහන දෙන ක‍්‍රම වලට වඩා හොද ප‍්‍රතිඵල ලැබී තිබේ.

බිද වැටෙන කර්මාන්ත, සමාගම් හෝ ආයතන වලට අවශ්‍ය පිටිවහල සපයන්නට බ්‍රිතාන්‍යට හැකිය. එයට ප‍්‍රමාණවත් ධනය රජය සතුය. ආදායම හා වියදම පාලනය කරගෙන ඇති අතර අතිරේක සම්පත් නිසි පරිදි කළමණාකරනය කරයි. ශ‍්‍රී ලංකාවට එම හැකියාව නැත. නිදහසට පසු ගත වූ සෑම වසරකම අය වැය හිගයක තිබේ. ආදායම ඉක්මවා වියදම ඉහළ නැග ඇත. දෙස් විදෙස් ණය ගන්නා රජය ඒවා වැය කරන්නේ ද පරිභෝජනය සදහාය. ආදායම උත්පාදනය කරන ව්‍යාපෘති වලට නොවේ. අඛණ්ඩව එවැනි ක‍්‍රියාමාර්ගවල නියැලි රටට හදිසියේ විපතක් හමුවේ ගත හැකි අන් පියවරක් නැත. දූරදර්ර්‍ශව ව කල්පනා කර සැලසුම් සකස් කරන්නට අවශ්‍යය. ජන ජීවිතය ආරක්ෂා කරන පමණක් නොව ජනතාවට ස්වෝත්සාහයෙන් නැගී සිටින පසුබිම හැදිම ආණ්ඩුවක වගකීමකි. එවැනි අවකාශයක් තුළ භීතිය හා මැර බලය පාලනය කළ හැකිය.