» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/04/2019 - දේශය
අලූතෙන් නිපදවන යකඩ ලී

අලූත් පර්යේෂණ අනුව ලෝහමය දැව විශේෂයක් නිපදවන්නට ඇමරිකාවේ පෙනිසෙල්වේනියානු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ. විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයක කරන ලද අත්හදා බැලීම සාර්ථක වී ඇත. එම නිෂ්පාදනය ටයිටේනියම් ලෝහය තරම් ශක්තිමත්ය. නමුත් දැවමය ස්වභාවයක් පෙන්වයි. දිය මතු පිට පාවෙන හෙයින් ලෝහ දැව වශයෙන් හදුන්වන්නට පර්යේෂකයෝ තීරණය තිබේ.

ටයිටේනියම් ලෝහය සොයා ගන්නේ 1791 වසරේ දී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වූ විලියම් ගේ‍්‍රරෝ බව ස`දහන්ය. එය විප්ලවීය සොයා ගැනීමකි. මල නොබැදෙන ලෝහයක් වන අතර ඇලූමීනියම් වලට වඩා සැහැල්ලූය. ශල්‍ය වෛද්‍ය උපකරණ, සැත්කම් වලින් සිරුරට බද්ධ කරන ඇතැම් කොටස් තැනීමට භාවිතා කරන අතර විශේෂයෙන් අභ්‍යවකාශ යානා වල උපාංග, රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහන නල තැනීමට උපයෝගී කරගැනේ. සමහර දෙනා ටයිටේනියම් ලෝහයෙන් තැනූ ස්වර්ණාභරණ පළදින බව ද වාර්තා වෙයි. අලූතින් නිපදවන ලද දැවමය ලෝහය ටයිටේනියම් අභිබවා ලෝකයේ කර්මාන්ත හා තාක්ෂණ අංශ වල පෙරැළියක් කරනු ඇත. සියවස් දෙකකට පසු අනාවරණය වූ වැදගත් සොයා ගැනීමක් සේ සලකයි.

මෙම දැවමය ලෝහය තැනූ පර්යේෂකයන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලය ගැන ද සදහනක් කළ යුතුය. එය ඇමරිකාවේ පුද්ගලික අංශය පාලනය කරන විශ්ව විද්‍යාලයකි. එරට පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල අටක් එක ජාලයකින් බැඳී තිබේ. පෙනිසෙල්වේනියානු විශ්ව විද්‍යාලය එයින් එකකි. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල දහ හතර අතරින් එකක් වශයෙන් නම් කර තිබේ. බෙන්ජමින් ප‍්‍රැන්ක්ලින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරන ලදී. හෙතෙම විවිධ අංශ වල සමත්කම් දැක්වූ දාර්ශනිකයෙකු වන අතර ඇමරිකාවේ නිර්මාතෘවරුන් අතරින් ප‍්‍රබල චරිතයකි. ඇමරිකාවේ මුල් යුගයේ පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කර ඒවා ස්වාධීනව පවතින්නට ඉඩ දීම හා ඒවායෙන් බිහිකරන බුද්ධිමතුන් අලූත් දැනුම සම්පාදනය කිරීම ලෝක ඉතිහාසයේ ඉතාම විශිෂ්ඨ කාර්යයක් සේ ඇගයීමට පත්ව ඇති කාරණයකි.

දැවමය ලෝහය තවමත් මහා පරිමානයෙන් නිෂ්පාදනය ආරම්භ කර නැත. එහෙත් පර්යේෂණ මට්ටමින් නිපදවන ලද ප‍්‍රමාණය ඉතා විස්මිත ප‍්‍රයෝජන අත්පත් කරදෙන බව සනාථ කර තිබේ. ඒවායෙන් ඉතා සැහැල්ලූ ස්මාට් දුරකථක වල සිට සුපිරි සැහැල්ලූ කාර් නිපදවීම දක්වා විශාල පරාසයක නිෂ්පාදන පෙලක් කරගත හැනි වනු ඇතැයි සැලකේ.

පෙනිසිල්වියානු විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජේම්ස් පිකල් ගේ ප‍්‍රධානත්වයෙන් යුතු හය දෙනෙකුගේ කණ්ඩායමක් විවිධ බැටරි උපාංග ගැන පර්යේෂණ කර තිබේ. පිකල් තමන්ගේ දැවමය ලෝහය සොයාගත් ආකාරය පර්යේෂණ වාර්තාවකින් අනාවරණය කර ඇත. හෙතෙම සාමාන්‍ය ලෝහ උසස් තාක්ෂණයට ලක් කර තිබේ. එමගින් ලෝහය අභ්‍යන්තරයේ මී වදයක සමාන කුටීර තැනී ඇත. සැහැල්ලූව හා පාවෙන ස්වභාවය නිර්මාණය වන්නේ එමගින්ය. මුද්දරයක ප‍්‍රමාණයේ ලෝහ කැබැල්ලක් තැනූ ඔහු එය නොයෙක් ආකාරයට පිරික්සුමට ලක් කර ඇති අතර ජලයේ පාවෙන හා ටයිටේනියම් ලෝහයට වඩා ශක්තිමත් බව පර්යේෂණ පති‍්‍රකාවෙන් ඉදිරිපත් කර තිබේ. එය පළ කිරීමෙන් පසු ලෝකයේ විවිධ මාධ්‍ය වලින් ඔහුගේ අලූත් නිර්මාණය ගැන විශාල ආන්දෝලනයක් ඇති කළේය.

අලූත් දැවමය ලෝහය මහා පරිමානයෙන් නිපදවන්නේ කෙසේද යන්න ගැන පර්යේකයෝ තවමත් මාධ්‍ය වෙත තොරතුරු දක්වා නැත. නමුත් අනාගතයේ දී පහසුවෙන් හිතා ගත නොහැකි තරමේ කාර්මික විප්ලවයක් මෙම සොයාගැනීම ඔස්සේ සිදුවිය හැකියැයි අනුමාන කර තිබේ. ලෝහය තුනී පටලයක් වශයෙන් නිපදවා ඇත. ඉදිරි පර්යේෂණ වල දී ඒවා යකඩ බාර් වශයෙන් සකස් කරගැනීමට හැකිවුවහොත් ගොඩනැගිලි ඉදි කිරීමට ද භාවිතා කළ හැකි වනු ඇත. යකඩ යොදා ගෙන අධික බර උසුලමින් කරන ඉදිකිරීම් සැකිල්ලක පවතින ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට ඉඩ තිබේ. ඒවා බර අඩු වියහැකි අතර දැවැන්ත යකඩ බාර් වෙනුවට ඉතා තුනී දැවමය ලෝහ පත් එකිනෙක හා සම්බන්ධ කර ඕනෑම කාලගුණයක් යටතේ එනම් අධික උණුසුමක් සහිත තත්ත්ව යටතේ පවා මහල් ගොඩනැගිලි හදන්නට පුලූවන්කමක් ලැබෙනු ඇත. එය ඉතා විස්මිත යුගයක් නිර්මාණය කරනු ඇතැයි සැලකේ.

අලූත් ලෝහය යොදා අනාගතයේ තැනෙන වාහන ගැන ද පර්යේෂණ වාර්තාව අනුව අවධානය යොමු වී ඇත. ඒවා ඉතා සැහැල්ලූ වන අතර බර අඩුවීම පදනම් කරගෙන බලශක්ති පරිහරණය අතින් ඉතාම හොඳ කාර්යක්ෂමතාවක් පෙන්වනු ඇතැයි සැලකේ. අනාගතයේ දී මෝටර් රථවාහන සම්පූර්ණයෙන්ම පාහේ විදුලිය බලයෙන් ධාවනය වන තාක්ෂණයෙන් සමන්විත වන අතර එක් වරක් ආරෝපනය කිරීමෙන් පසු ධාවනය කළ හැකි දුර ප‍්‍රමාණය අසීමිතව දියුණු කළ හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. දැනට විදුලිය බලයෙන් ධාවනය වන වාහන එක වරක් ආරෝපනය කිරීමෙන් පසු කිලෝමීටර් පන්සියයක් ධාවනය කළ හැකි මට්ටමට වානිජ වශයෙන් දියුණු කර ඇති සමාගම් ගණන අතලොස්සකි. තාක්ෂණික ගැටළුව වාහනයේ බර හා භාවිතා කළ යුතු බැටරියේ විශාලත්වය බව සඳහන්වෙයි. නව සැහැල්ලූ දැවමය ලෝහය කර්මාන්ත වශයෙන් නිෂ්පාදනය වන දිනයක දී මෙම ගැටළු බොහෝමයකට උත්තර ලැබෙනු ඇත.