» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/02/2021 - දේශය
ලොවටම ආදර්ශයක් දෙන කෙන්යා කතගේ පොලිතින් ගල්

පොලිතීන් සහ ප්ලාස්ටික් විශාල පරිසර හානියක් බවට පත්ව තිබේ. ලෝකයේ සියළුම රටවල් භාවිතය සීමා කරන අතර ප‍්‍රතිචක‍්‍රීකරණය ගැන අවධානය යොමු කරයි. භාවිතා කරන පොලිතීන් හා ප්ලාස්ටික් තොග නැවත එකතුකර ගැනීම පහසු කාර්යයක් නොවේ. පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන පහසුය. මිල අඩුය. එහෙත් දිරා පත් නොවේ. වසර දහස් ගණනක් දක්වා පොලවේ එකතුවනු ඇතැයි සැලකේ. ගිණි තැබිය හැකිය. දැවෙන දුම් වලින් පිටවන අහිතකර වායු ස්වභාවික පැවැත්මට තර්ජනයකි. අහිතකර වායූ ප‍්‍රතිශතය වැඩිකරන අතර එය ඕසෝන ස්ථාරය හානි කරන පියවරකි’. ඕසෝන ස්ථරයට හානි සිදුවන විට මහ පොලවට ලැබෙන සූර්ය තාපය වැඩිවීමෙන් ගෝලීය උණුසුම ඉහළ නගී. කෙළවරක් නැති ගැටළු මතුවෙයි.

පසුගිය දා කෙන්යාවේ අලූත් පියවරක් ගැන ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් එකතු කරන අතර ඒවා කැබැලි කර වැලි හා මිශ‍්‍ර කරයි. අනතුරුව උණුසුම් කර උණු කරන අතර අච්චුවල අතුරා ඒවායෙන් බිම අතුරන ගල් වර්ග නිෂ්පාදනය කෙරේ. එහි විශේෂත්වයක් තිබේ, මෙම ව්‍යවසාය පළමුවෙන් ආරම්භ කරන්නේ කාන්තාවකි. නයිරෝබි නගරයේ පිහිටි ඇයගේ වැඩ පොල දිනකට මෙම පොලිතීන් හා වැලි මිශ‍්‍ර බිම් ඇතුරුම් ගල් එක් දහස් පන්සියයක් නිපදවයි. ඒවායෙන් මාර්ග දෙපස පදික වේදිකා සකස් කරන පියවර ගෙන ඇත. පොලිතීන් වල විවිධ වර්ණ වෙන්කර නිෂ්පාදනය විවිධ පැහැයෙන් සරසන්නට ඇය සමත්වන්නීය. ඉදිරි කාලය තුළ නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි කරන්නට සූදානමක් ඇති බව දැක්වෙයි.

සම්ප‍්‍රදායිකව නිපදවන සිමෙන්ති භාවිතා කරන කොන්ක‍්‍රීට් බිම ඇතුරුම් ගල් වලට වඩා මේවා සැහැල්ලූය. දැඩි භාවයෙන් ඉහළ හෙයින් දීර්ඝ කාලයක් භාවිතා කළ හැකිය. අනෙක් සාධකය මිල අඩුවීම බව දැක්වෙයි. කෙසේ වෙතත් විශාලම වාසිය පරිසරය ආරක්ෂාවට ලැබෙන පිටිවහල බව සදහන් කළ යුතුය.

එක දිනයකට කෙන්යාව තුළ ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 500 ඉක්මවයි. මේවා එකතු කරන නිසි වැඩ පිලවෙලක් නැත. රජයෙන් හෝ රජයට අනුබද්ධ ආයතන වලින් කරන තෙක් බලාසිටින්නට කල්පනා කළේ නැති බව මෙම අලූත් අදහස ඉදිරිපත් කළ ව්‍යවසායිකාව ප‍්‍රකාශ කර තිබේ. එය අගය කළ යුතුය. වෙළද සැලෙන් අවශ්‍ය දේ මිල දී ගන්නා පාරිභෝගික අප සියළු දෙනා, අනවශ්‍ය දේ පැත්තකට විසි කර, ඒවා එකතු කර කළමණාකරණය කිරීම ආණ්ඩුවට හෝ පලාත් පාලන ආයතනයේ වගකීමක් බව කල්පනා කරයි. නමුත් ලෝකයේ සමහර රටවල් වල වැඩි දෙනෙක් ඒවා තම යුතුකම් සේ සිතන්නට නැඹුරු වී තිබේ. මෑත කාලය තුළ ශී‍්‍ර ලංකාවේ වැඩි දෙනෙකු ද ඉවත දමන දේ ගැන පරෙස්සම් වෙයි. කසල බදුන් සොයන අතර ඒවා වෙන් කරන ලද කසල වශයෙන් බැහැර කරන්නට හුරු වී ඇත. එය පැසසුම් කටයුතුය. තවත් පිරිසක් ඇසුරුම් හා බහාලූම් නැවත නැවතත් පාවිච්චි කරන අතර එය ද යහපත් තීරණයකි. එමගින් පොලිතීන් භාවිතය අඩු කෙරේ. නැවත භාවිතාව හා ප‍්‍රතිචක‍්‍රීකරණය හොද විසදුම්ය. පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය පරිහරණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය නොහැකි නම් එවැනි පියවර අනුගමනය පවා සාධනීය අදහසකි.

අප‍්‍රිකාවේ රටවල් සැහෙන ප‍්‍රමාණයක ඉවතලන පොලිතීන් සම්බන්ධ ගැටළු පැන නැගී තිබේ. සමහර රටවල් වේගයෙන් විකල්ප කරා අවතීර්ණ වන බව දැක්වෙයි. කෙන්යාව හා ඝානා යන රටවල් ඉදිරියෙන්ය. බැහැර කරන පොලිතීන් වලින් වෙනත් පන්නයේ ක‍්‍රියාකාරකම්වලට අවතීර්ණ වන අවස්ථා මෑත කාලය තුළ ප‍්‍රවණතාවයක් විය. නෙදර්ලන්තය ප්ලාස්ටික් බෝතල් මූඩු එකතු කර මීටර් තිහක් දුර පටු මාවතක් ඉදි කරන ලද අතර එය පාපැදිකරුවන් වෙනුවෙන් වෙන් කර තිබේ. තවත් රටවල් පොලිතීන් මිශ‍්‍ර කර ගඩොල් සාදා ඒවායෙන් තාවකාලික නිවාස ඉදිකරන පියවර ගෙන ඇත. එකවරක් භාවිතා කළ පොලිතීන් එකතු කර පාවහන් නිපදවීමේ දී පතුල වැනි කොටස් සකස් කරන පියවර ගෙන ඇති බවට ද තොරතුරු කියැවෙයි.

ශ‍්‍රී ලංකාව ඉතා විශාල වශයෙන් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතා කරයි. ප්ලාස්ටික් භාජන මිල දී ගන්නා පාරිභෝගිකයෝ ඒවායේ මුද්‍රණය කර ඇති සංඥා වලින් කියැවෙන දේ වටහා ගැනීම ද වැදගත්ය. ප‍්‍රතිචක‍්‍රීකරණය ගැන පණිවුඩ එහි තිබේ. අවස්ථා කොපමණ ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ද යන්න දක්වා ඇත. එය නොසලකා එකවරක් භාවිතා කර පැත්තකට කිරීමෙන් ආර්ථික අවාසියක් පමණක් නොව මහත් පරිසර විනාශයක් ද සිදුවන බව සදහන් කළ යුතුය.

අලූත් අදහස්, අලූත් ව්‍යවසාය ගැන හිතන යුගයක කෙන්යාවේ කාන්තාවක් ආරම්භ කර ඇති ව්‍යවසාය හොද උත්සාහයකි. ශ‍්‍රී ලංකාවේ නිර්මාණශීලීන් එයින් අදහසක් ලබා ගත යුතුය. සමහර ප‍්‍රයත්න දැනටමත් භාවිතා වන බව දැක්වීම අවශ්‍යය. ඒවා අගය කරන අතර එවැනි තැන් වල දී ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි තමන්ට හැකි ප‍්‍රමාණයෙන් පිරිසිදු කළ පොලිතීන් නිසි පරිදි බැහැර කරන වගකීමක් කෙරෙහි අප හුරුවිය යුතුය. කෑම පාර්සලයක් මිල දී ගෙන අසුරනයේ ඇති පොලිතීන් ගැන නොසලකා පැත්තකට කරන අප සියළුම දෙනා අනාගත පරපුර වෙනුවෙන් කිසියම් හානියක් කරන බව කල්පනා කිරීම අතිශය වැදගත් කාරණයකි. පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කළ හැකිය. එවැනි පියවර ගෙන තිබේ. නමුත් අවසානයේ දී නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නැත. මෑත වසර කිහිපය තුළ නීතිය බලගන්වන අවස්ථා ගණන පමණක් නොව ආපසු හරවන ලද අවස්ථා ගණන සලකන විට ප‍්‍රායෝගික පැති ගැන අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතුවෙයි.