» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/12/2020 - දේශය
අඩහැරයක් නැති රොබෝ ගොවියන් ගේ විත්තිය

ගොවිතැන ගැන කෙරෙන පර්යේෂණ අනුව අනාගතයේ ගොවියා උදැල්ලක් හෝ නගුලක් ගෙන මහපොලව හා ගැටෙන්නේ නැත. හෙතෙම සිය පරිගණකය සමග කාමරයකට වී පහසුවෙන් සිටින්නට ඉඩ තිබේ. යන්ත‍්‍රානුසාරයෙන් ක‍්‍රියාත්මක වන ගොවිපොළ වලින් එලවලූ, පලතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. වේගයෙන් වර්ධනය වන ජනගහනයට ප‍්‍රමාණව්වන ආහාර නිෂ්පාදනය සදහා නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය බව පැහැදිලිය. සම්ප‍්‍රදායික ගොවිතැන හෝ වගා ක‍්‍රම අභිබවා යන පද්ධතියක් නිර්මාණය විය යුතුය. ගොවිපොලට රොබෝ ආක‍්‍රමණයක් සිදුවනු ඇත. එය සිහිනයක් නොවේ. පසුගිය දා ඔස්ට්‍රේලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ගොවිබිමට ගැලපෙන රොබෝවරු නිපදවා තිබේ. මහාචාර්ය සාලා සුක්රියා මෙම කණ්ඩායමේ ප‍්‍රධානී වශයෙන් ක‍්‍රියා කරන අතර හෙතෙම ජර්මනියේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක දී සියළු අනාවරණ එළිදක්වන්නට සූදානම් කර තිබුණි. ලෝකයේ සීමා මායිම් බිද දමන අදහස් යනුවෙන් මෙම ජාත්‍යන්තර සැසිවාරය නම් කර තිබීම විශේෂත්වයකි.

වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවනු ඇත. මෙකී ජනකොටසට ආහාර නිපදවීම පහසු නැත. ආහාර හිගය ඉදිරියේ විශාල ගැටළු පැන නැගෙන්නට ඉඩ ඇත. දුප්පත්කම ඉහළ යන අතර දැන් පවතින වගා ක්‍රම හා නිෂ්පාදනය වැඩි දියුණු කරන පියවර වෙනස් මාර්ගයකට අවතීර්ණ නොවුනහොත් අර්බුදයක් ඇති වෙයි. මිනිස් ශ‍්‍රමයෙන් පමණක් ගොවිතැන් කිරීම පහසු නැත. යාන්ත‍්‍රික මෙවලම් අවශ්‍යය. මෙම යන්ත‍්‍ර හසුරුවන්නට සමත් ශ‍්‍රමිකයන් හිගය. මිනිස් ශ‍්‍රමයට ගෙවීමට සිදුවන වියදම ද සලකා බැලිය යුතු පැත්තකි. ඉහළ වැටුප් හා පහසුකම් සහිතව ගොවිපොල වලල සේවය කරන ශ‍්‍රමිකයන් නිපදවන දේ වලට වැඩි පුර පිරිවැයක් දරන්නට සිදුවෙයි. අධික මිලකට එම නිෂ්පාදන විකුණන්ට සිදුවෙයි. ජනගහනය වැඩිවන අතරතුර මිල දී ගැනීමට ධනය නැති පිරිසට එයින් පිලිතුරක් ලැබෙන්නේ නැත. වැටුප් හෝ බෝනස් ගෙවන්නේ නැති එහෙත් සතියේ දින හතක් පැය විසි හතරම වැඩ කරන රොබෝවරු හොදම විසදුමකි. සිඞ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සාධාරණ අවස්ථා සහිත සමාජයක් වෙනුවෙන් ගොවිපොලට එවන රොබෝවරු ගැන පර්යේෂණ මාලාවක් පවත්වමින් සිටී.

අලූතින් නිර්මාණය කර ඇති රොබෝවරු ගොවිපොල හා සත්ව පාලන කටයුතු සම්බන්ධ මෙහෙයැවිය හැකිය. කෙත් වතු සකස් කර අස්වද්දන යන්ත‍්‍ර නිපදවා තිබේ. නියමිත පරිදි ඇට හෝ පැල සිටුවිය හැකිය. නඩත්තුව විශේෂ කාර්යයකි. එයට ගැලපෙන රොබෝ යන්ත‍්‍ර පෙලකි. ඒවායේ සන්නිවේදක තිබේ. කැමරා පද්ධති සවිකර ඇත. වල් පැල හදුනාගෙන ඒවා ගලවා ඉවත් කරන්නට එකී රොබෝවරු සමත්ය. අනෙක පස බුරුල් කර පොහොර යොදන්නට ද හැසිරවිය හැකිය. අස්වනු නෙලන කාලයේ දී විශේෂ රොබෝවරු සිටී. පැසුණු ගෙඩි හා කරල් තෝරා වෙන්කර නෙලාගැනීමට තරමට බුද්ධිමත්ය. සත්ව පාලනය සදහා නිපදවා ඇති රොබෝවරු සතුන්ට ආහාරදීම, රැකබලා ගැනීමට දක්ෂය. සතුන් හැසිරෙන අන්දම හා අනෙකුත් ගොවිපොල කටයුතු ස්වයංක‍්‍රීයව හාම්පුතුන්ට තොරතුරු සන්නිවේදනය කරති. දිවා රාත‍්‍රී නොතකා සේවය කරන හෙයින් විශාල වාසියකි. අනෙක ගොවිපොල හා සත්ව පාලන කටයුතු වලට නිපදවා ඇති රොබෝවරු සූර්ය බලයෙන් කි‍්‍රයාත්මක වෙයි. අස්වද්දන, පැල සිටුවන, අස්වනු නෙළන සහ ඒවා ප‍්‍රවාහනය කරන රොබෝ යන්ත‍්‍රවල වහලයෙහි සෝලා පැනල් සවි කර තිබේ.

පරිගනක තාක්ෂණය මගින් දත්ත සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් කර තිබේ. බිග් ඬේටා අනුව සියල්ල විනිශ්චය කළ හැකි වි තිබේ. රොබෝවරු අවතීර්ණවීම අනෙක් පියවරකි. සිඞ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂන කණ්ඩායම වානිජ වශයෙන් ගොවිපොල රොබෝවරු නිපදවන්නට තීරණය කර ඇති අතර වසර දෙකකට පමණ කලින් ආරම්භ කරන ලද වැඩ පිලිවෙල සාර්ථකවිමක් සේ දැක්වෙයි. අනෙක පාසල් මට්ටමේ සිට ඉගෙනගන්නා දරුවන්ට තාක්ෂණය හා රොබෝවරුන්ගේන් වැඩ ගන්නා අන්දම ඉගැන්විය යුතු බව ද මහාචාර්ය මහාචාර්ය සාලා සුක්රියා අවධාරණය කරයි.

ඔස්ට්‍රේලියාවෙන් එන වාර්තා එක පැත්තක් පමණකි. ලෝකයේ අනෙක් රටවල් ද විවිධ පර්යේෂණ ආරම්භ කර ඇත. චීනය සම්පූර්ණයෙන්ම කෘතීම බුද්ධියෙන් පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුම් ක්‍රියාවට නගා ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරන ගොවිතැන් කිරීම ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි. ක්ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ පරිදි චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයේ රියැදුරු රහිත ට‍්‍රැක්ටර් ගොවිපොල සී සෑම කරගෙන යයි. සපයන ලද විධාන අනුව පරිගණකයේ දත්ත කියැවිය හැකි ස්වයං ක‍්‍රියාකාරී ට‍්‍රැක්ටරය නියමිත තීරුවේ ධාවනය කරමින් පොලව පෙරලන අතර එයින් පසු ධාන්‍ය වැපිරීම ද සිදුකරයි.

මහ පොලවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘතීම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය කාලයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමු කර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගා කරන ක‍්‍රමවේදය වෙනස් කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙලීම එවා ගබඩා කරා යොමු කිරීම ද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත.

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ගොවිපොලක රොබෝ ශ‍්‍රමිකයන් යොදවන්නේ 2018 වසරේ දී ය. එම රොබෝ පද්ධතිය සාමාන්‍ය ශ‍්‍රමිකයන්ට සාපේක්ෂව තිස් ගුණයකින් දක්ෂතාව පෙන්වා තිබේ. රොබෝවරුන්ට ඉල්ලූම වැඩි වී ඇති අතර 2016 වසරට වඩා ගොවිපොල ස්වයංක්‍රීය කරණ මෙවලම් වෙනුවෙන් කරන ආයෝජනය අද වන විට සියයට 29 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි. මේවායෙන් පෙන්වන්නේ නිෂ්පාදනය වැඩි කිරීම සදහා ඇතිකරන අලූත් වෙනස්කම්ය. නිෂ්පාදන පිරිවැය අඩු කරන්නට ඒවා බලපාන අන්දමය. ගොවිපොල අයිතිකරු කෙතට බැස වැඩ කරනු වෙනුවට මෙහෙයවන්නෙකු බවට පත්වන ආකාරය බව පෙන්වා දිය යුතුය. සිදුවන වෙනස්කම් අනුව අලූතින් හිතන්නට නැඹුරුනොවෙන කෘෂිකර්මයට ගැටළු මතුවෙන්නට ඉඩ තිබේ. ලෝකයේ වෙනත් තැන් වල ඉතා අඩු මිලට නිපදවන විට තාක්ෂණය භාවිතා නොවන ගොවිබිමක නිපදවන දේ වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුවිය හැකිය. අවසානයේ දී එයට වන්දිගෙවන්නේ පාරිභෝගිකයන්ය.