» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/06/2021 - දේශය
අල්ලන්න දකින්න බැරි බිට්කොයින් මුදල් යුගයක්

ස්පර්ශ කළ නොහැකි ඩිජිටල් මුදල් අනාගතයේ බිහිවන සංකීර්ණ ආර්ථිකයක එක වැදගත් කොටසක් විය හැකිය. දැනටමත් ලෝකයේ සමාගම් ගණනාවක් වවිධ නම් වලින් අන්තර් ජාලයේ හුවමාරුවන ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය කර තිබේ. ඇත්තටම මෙවැනි මුදල් අතින් අල්ලා, දෑසින් දකින්නට පුලූවන්කමක් නැත. ඒවා ගිණුම්වල නිර්මාණය වී තිබේ. ගැනුම්කරුවෝ ඉල්ලූම් කරති. වෙන්දේසි කෙරේ. වෙන්දේසියක දී වටිනාකම ඉහළ නැගෙන අතර නොපෙනෙන මුදල් ගිණුම් අයිතිකරුවෝ පොහොසත් වෙති. අවශ්‍ය අවස්ථාවක විකුණා දැමීමට ද. තවත් අවස්ථාවක අවශ්‍ය තරම් රැස් කරන්නට ද හැකිය. 2008 වසරේ දී නොදන්නා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් බිට්කොයින් නිපදවා ඇත. ලෝකයේ කිසිම මහ බැංකුවක හෝ පරිපාලකයෙකු ගේ සම්බන්ධයකින් තොරව එය ලොව පුරා හුවමාරු වෙමින් තිබේ. විවෘත මුලාශ‍්‍ර මෘදුකාංගයක් එයට භාවිතාකරන අතර රහස් මුරපදයකින් ගිණුම් පවත්වාගෙන යන බව දැක්වෙයි.

ධනය රැස්කරන පිරිස් අතර වේගයෙන් ප‍්‍රචලිත නමුත් ඩිජිටල් මුදල් තවමත් ස්වෛරී රාජ්‍යයන් හි ගනුදෙනුවලට සම්බන්ධ වී නැත. එහෙත් එල් සැල්වදෝරය පළමු වතාවට එය පිලිගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. එරට ජනාධිපති නයිබ් බුකෙලේ සදහන් කරන පරිදි අවශ්‍ය කරන නීතිමය ව්‍යුහය සකස් කිරීමේ යෝජනා එරට කොන්ග‍්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කර ඇත. නෛතික කටයුතු අවසන්වීමෙන් පසු ඇමරිකානු ඩොලරය හා සමානව බිට්කොන් ඩිජිටල් මුදල්වලට ද එරට ටෙන්ඩර් ගනුදෙනුවලට සම්බන්ධවිය හැකි බව දැක්වෙයි. මෙය වාර්තාගත තීන්දුවකි. ගනුදෙනුවලට විවෘත කිරීමෙන් පසු එල් සැල්වදෝර් හි ආර්ථික සමාජ තත්ත්වය වර්ධනය වී එහි ප‍්‍රතිලාභජනතාවට, ව්‍යාපාරවලට හා රජයට හිමිවනු ඇතැයි රාජ්‍ය ප‍්‍රධානීහු තක්සේරු කර තිබේ.

එල් සැල්වදෝරය දැනට කාසි හවමාරුව මත පමණක් වැඩි විශ්වාසයක් තබා ඇති රටකි. එරට ජනතාවගෙන් සියයට හැත්තෑවකට බැංකු ගිණුමක් නැති බව ප‍්‍රකාශ වෙයි. චෙක් පත් හෝ ක්‍රෙඩිට් කාඞ් ගැන සදහන් කිරීම පවා අවශ්‍ය නැති බව පෙනේ. විදේශ රටවල රැකියා කරන පිරිසට පවා සිය නිවෙසට මුදල් එවන බැංකු ගිණුම් භාවිතා කරන්නේ සියයට විස්සකටත් අඩු ප‍්‍රතිශතයකින්ය. අතින් අල්ලා හුවමාරු කරන මුදල හැරුණු කොට වෙනත් දේ ගැන එපමණ තැකීමක් නැති සමාජයකි.

ඩිජිටල් මුදල් ව්‍යවහාරය ගැන කල්පනා නොකරන සමාජයක බිට්කොයින් ගනුදෙනු ඇරඹීම සදහා අන්තර් ජාල ගනුදෙනු කරන එක්තරා කණ්ඩායමක් අලූතින් හදුනා ගැනීමට එල් සැල්වදෝර පාලකයෝ බලාපොරොත්තු වෙති. එය පහසුකරන වේගවත් අන්තර් ජාල සැපයුමක් සදහා චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගැනේ. පසුගිය මාර්තු මාසයේ දී එරට සමාගමක් ජංගම දුරකථනවල භාවිතා කරන ගෙවීම් මෘදුකාංගයක් දුන්වා දුන් අතර එය ඉතාම වේගයෙන් ව්‍යාප්ත වූ අතර දැන් එරට අංක එකට පත්ව ඇති ජංගම මෘදුකාංගයයි. කෙසේ වෙතත් එරට නිති ක්ෂේත‍්‍රයේ ඉහළම පිරිසක් මෙම ඩිජිටල් ගනුදෙනු හදුන්වාදීමට එරෙහිය. අධිකරණ ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව දක්වා තිබේ.

එල් සැල්වදෝරය මධ්‍යම ඇමරිකානු කලාපයේ රටකි. පැසිපික් සාගරයට එක් පැත්තකින් මායිම් වී පිහිටා ඇති අතර හොන්ඩුරාස් රාජ්‍ය හා ගෝතමාලාව අනෙක් පැතිවලින් පිහිටා ඇත. ජනගහනය හැට අට ලක්ෂයක් පමණ වෙයි. ස්පාඤ්ඤය, මැක්සිකෝව හා ඇමරිකාවට යටත්ව තිබී පසුව නිදහස ලබා ඇත. ඒක පුද්ගල ආදායම අතින් ලෝකයේ මැදි ආදායම් රටක මට්ටමක පවතී. ඇමරිකානු ඩොලර් රට තුළ භාවිතා කරන අතර බිට්කොයින් ද ව්‍යවහාර මුදල් වශයෙන් පිලිගැනීම විශේෂත්වයකි. පසුගිය දශක දෙක තුළ තනි ඉලක්කමක සංවර්ධන වේගයක් පැවැති එරට දරිද්‍රතාවයෙන්පෙලෙන ජන කොටස සමස්ථ ජනගහනයෙන් සියයට තිස් හතකි. දුප්පත් අයවලූන්ගේ වත්කම මෙන් පහලොස් ගුණයක ධනයක් සියයට දහයක් පමණ වන පොහොසත් පිරිසට අයත් බව අන්තර් ජාල වාර්තා අනාවරණය කරයි.

ලෝක ප‍්‍රජාව උණුසුම් කරන සංකල්පයක් බවට පත්ව ඇති ඩිජිටල් මුදල් භාවිතය අරඹෙන්නේ 1983 දි පමණ කාලයේ දී ය. ඩිජි කෑෂ් නමැති සමාගමක් පළමු පියවර තබා ඇති නමුත් පසුව බංකොලොත් වී තිබේ. ක‍්‍රමයෙන්, සෙමෙන් ව්‍යාප්ත වූ සංකල්පය 1996 වන විට ඊ ගෝල්ඞ් යනුවෙන් අලූත් බහුලව බාවිතා වූ තැනකට පත්ව ඇති බව දැක්වෙයි. දැන් සමාගම් විශාල ප‍්‍රමාණයක් විවිධ නම් වලින් ගනුදෙනුකරුවන් වෙත ළගා වී තිබේ. බිට් කොයින් ඉතාම ප‍්‍රචලිතය. ලයිට්කොයින්, බිට්කොයින් කෑෂ්, පියර් කොයින්, ග‍්‍රිඞ් කොයින් යනාදී වශයෙන් තවත් නම් සදහන් කරන්නට හැකියාවක් තිබේ. ලෝකයේ මහ බැංකු ඩිජිටල් මුදල් අනුමත නොකරන නමුත් සමහර බැංකු විශාල වශයෙන් ඒවා හුවමාර කරන බව අනාවරණය වෙයි. දැනට වර්ධනය වී ඇති වටිනාකම අනුව සලකන විට මෙම ඩිජිටල් මුදල පුලූල් චිත‍්‍රයක් මවා පෙන්වයි. ශ‍්‍රී ලංකාවේ රුපියල්වලින් සලකා බැලූවහොත් බිට්කොයින් එකක වටිනාකම හැත්තෑ නම ලක්ෂ හැට දහස ඉක්මවන බව කියැවෙයි. කෙසේ නමුත් ඉල්ලූම අනුව මෙම වටිනාකම රදා පවතී. ගැනුම්කරුවන්ට සිය වත්කම ගැන සිහින දැකිය හැකි නමුත් හදිසි අවස්ථාවක දී ඒවා සියල්ල අහිමිවන අවදානමක් ද ඇති බව විචාරකයෝ දක්වති.

විදේශ මුදල් හුවමාරුව හා විනිමය සංචිත ගැන කතා කරන වර්තමානයේ භාවිතාව ඉතා ඉක්මනින් ඩිජිටල් මුදල් වලට වෙනස් වෙන්නට ඉඩ තිබේ. එල් සැල්වදෝරයට පසු ලෝකයේ තවත් රටවල් ස්පර්ශ කළ නොහැකි මුදල් ගනුදෙනුවලට නැඹුරුවුවහොත් මවිත විය යුතු නැත. එල් සැල්වදෝරයේ ජනී ජනයා දුප්පත්ය. රට තුළ භාවිතාවන බැංකු ගිණුම් ප‍්‍රමාණය සීමිතය. මිනිසුන් අතට ලැබෙන කාසි කෙරෙහි විශ්වාසයෙන් පසුවෙති. අනාගතය ගැන කල්පනා කරන එරට ජනාධිපතිවරයා බිට්කොයින් පිලිගැනීමට සූදානම්ය. එමගින් ඇතිවිය හැකි පරිවර්තනය දෙන අවධානය යොමු කිරීම වැදගත්ය.