» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/01/2019 - දේශය
වෙළඳ සැලකින් මිල දී ගත හැකි කත්‍රීම මස්

‘‘මස් හෝ මාලූ අනුභව කරන්නේ නැහැ. මම නිර්මාංශිකයි. ඒක මගේ ප‍්‍රතිපත්තියක් ’’ යනුවෙන් ප‍්‍රකාශ කරන කිසිවෙකු වෙත අවන්හලක දී මස් යහමින් යොදා පිලියෙල කළ ආහාරයක් රස විඳින්නට අවස්ථාවක් ලැබෙන්නට බැරි නැත. රසයෙන්, ගුණයෙන් පමණක් නොව පිලියෙල කරන ලද ආකාරයෙන් ද ඒවා හැබෑ මස් නිෂ්පාදනයකි. නමුත් බුද්ධ දේශණාව අනුව උපදෙස් දී ඇති ‘‘ත‍්‍රිකූටික පරිශුද්ධ මාංස’’ ද ඉක්මවා ඇති ආහාරයක් බව සඳහන් කළ යුතුය. සත්ව ගොවිපොලක තර කර, පසුව ඝාතනය කළ අහිංසක සත්වයෙකු ගේ මාංශය නොවේ. පරීක්ෂණාගාරයක දී කෘතීමව නිපදවා වෙළඳ පොලට එවන ලද ඒවාය. ඕනෑම සතෙකු ගේ රහට ගැලපෙන පරිදි පරීක්ෂණාගාර මස් නිපදවීම සාර්ථක වී ඇති අතර දැන් ලෝකයේ ප‍්‍රධාන නගර වල පිහිටි සුඛෝභෝගී අවන්හල් වල අළෙවි කෙරේ. තව නොබෝ දවසකින් ගමේ සිල්ලර වෙළඳ සැලෙන් මිල දී ගත් කෘතීම මස් සහිත දාන වේලක් පෝය දිනයේ සිල් සමාදන් වූ වැඩිහිටියන්ට ලැබෙන්නට බැරි නැත.

කෘතීම බුද්ධිය සහිත රොබෝවරු බිහි කරන්නට සමත්ව ඇති පර්යේෂකයෝ එයින් නතර නොවේ. මානව පැවැත්ම තහවුරු කරනු උදෙසා කෘතීම ආහාර නිපදවන්නට යොමු වී ඇත. පර්යේෂණාගාරයක නිපදවන මස් නිෂ්පාදන එහි එක්තරා විශේෂිත අවස්ථාවකි. තම ආහාරය උදෙසා අන් සත්වයෙකු ගේ සිරුර බුදින්නට අකමැති විශාල පිරිසක් ලෝකයේ ජීවත් වෙති. ආගමික දර්ශනය තදින් අනුගමනය කිරීම එයට එක හේතුවකි. අනෙක මස් බුදින්නට ඇති අකමැත්තයි. ඉතාම සුළු පිරිසකට එය අසාත්මිකතාවයට හේතුවකි. ශරීරයේ වැඞීමට අවශ්‍ය ප්‍රෝටීන ඇතුළු, විටමින් වර්ග රැසක් ලබා ගැනීමේ දී මස් අනුභවය පහසු මගකි. එය රසවත්ය. ධාන්‍ය හා එලවලූ සමග ප‍්‍රධාන ආහාර වේලට මුහු කරගැනීමට නැඹුරු වී සිටිති. එය වඩා නව්‍යකරණය කරන අතර සත්ව හිංසනයට එරෙහි වෙමින් මස් ආහාරයට ගැනීමට ඉඩ දෙන කෘතීම මස් නිෂ්පාදනය අනාගතයේ ආහාර වේල සෑහෙන පරිවර්තනයකට ලක් කරනු ඇත.

2013 වසරේ දී කෘතිම මස් නිෂ්පාදන වෙළඳ පොලට හදුන්වා දෙන ලද බව දක්වයි. ඉතාම සුළු වශයෙනි. පරීක්ෂණාගාරයක සුවිශේෂ තත්ත්ව පරීක්ෂණ යටතේ මස් නිපදවීම අධික වියදම් සහගත කාර්යයකි. එකල කුඩා පීරිසියක මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුන ඉක්මවීය. ධනවතුන් පවා කලාතුරකින් රහ විඳින ආහාරයක් විය. නමුත් 2016 වන විට එය ඩොලර් දාහක් දක්වා මිල පහත වැටී තිබේ. නිෂ්පාදනය බහුලව සිදුවන අතර අලෙවිය ඉහළ නැග තිබේ. තවත් කෙටි කාලයක් ඇතුලත ඩොලර් දහයකටත් අඩු විය හැකි බව අලෙවිකරුවෝ අනුමාන කරති.

ගව, බැටළු, කුකුළු, කළුකුම් පමණක් නොව කහ මදය නැති බිත්තර හෝ බිත්තර සාරය වෙනම නිපදවන්නට සමත්වන පර්යේෂකයෝ එයින් නොනැවතී ඉතාම දුර්ලභ පැන්ඩා වැනි අහිංසක සත්වයෙකු ගේ මස් යැයි සඳහන් කරන කෘතීම දේ නිපදවන්නට සමත් ව ඇත. මෙවැනි නිෂ්පාදන සත්ව හිංසනයට විරුද්ධවන්නන්ගේ අමන්දානන්දයට හේතු වී තිබේ. අනෙක් පැත්තෙන් ලෝක ජනගහනය ඉහළ ආදායම් මට්ටමට එනවිට මස් මාලූ පරිභෝජනය වැඩිවන අතර එයට සරිලන සේ ආහාර පිණිස සතුන් ඇති කරන්නට අවශ්‍ය කරන ඉඩම්, ජලය හෝ සත්ව ආහාර ප‍්‍රමාණය සලකා බලන විට එය විශාල පරිසර ප‍්‍රශ්න ඇති කරන කෘෂිකර්මයකි. විශාල ගොවිපොල පැවැත්මට තර්ජනය කරන සාධකයක් බව ඔප්පු වී තිබේ.

ඇමස්ටඩ‍්‍රෑම් හා ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාල කෘතීම මස් නිපදවන වෑයම කුළුගන්වන තොරතුරු එළි දක්වා තිබේ. ඔවුන් ගේ පරියේෂණ අනුව සාමාන්‍ය සත්ව පාලනයෙන් පරිසරයට සිදුවන හානිය විශාලප‍්‍රමාණයකින් වලකා ගන්නට කෘතීම නිෂ්පාදන බෙහෙවින් උපකාරී වනු ඇත. කෘතීම මස් නිෂ්පාදන රසායනාගාරයක හරිතාගාර වායු විමෝදනය සියයට හතරකි. සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවන හරිතාගාර වායු විමෝචනයෙන් සියයට දහ අටක ප‍්‍රතිශතයක් ගව ගාල් වලින් සිදුවන බව ගණන් බලා තිබේ. එයට අනුව ලෝකයේ පැවැත්මට ඉතාම හිතකරය. ලෝක ප‍්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් නිපදවන මස් ප‍්‍රමාණය කෘතීමව නිපදවීමේ දී එයින් ඉතිරි කරගත හැකි බල ශක්ති ප‍්‍රමාණය සියයට හතලිස් පහක් බව දැක්වේ. ජල සංරක්ෂණය සිතාගත නොහැකි තරම්ය. අනෙක් වැදගත් කාරණය ඉඩම් ප‍්‍රමාණයයි. පශූ සම්පත් හා සත්ව පාලන කටයුතු සඳහා දැනට භාවිතා වන ඉඩම් ප‍්‍රමාණයෙන් සියයට දෙකක් එම කාර්යය කෘතීමව නිපදවන්නට ප‍්‍රමාණවත් බව ගණන් බලා තිබේ.

කෘතිම මස් ආහාරයට ගෙන සින්තටික් කිරි බොන සමාජයක් බිහි කළ හැකි ද? විද්‍යාර්ථීහු ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. ජාන විකෘති කරන ලද ආහාර වලින් කරන නිෂ්පාදන වලට පවා පවතින විරෝධය සලකන විට මස්, මාලූ හෝ කිරි නිෂ්පාදන වල කෘතීම බව සලකා ප‍්‍රතික්ෂේපවීමක් අපේක්ෂා කළ හැකිය. කෘතීම මස් බුදින්නට කැමැති දැයි සමාජ සමීක්ෂණයක් කර තිබේ. ඕලන්දයේ සියයට පනහකට වැඩි ප‍්‍රමාණයක් එයට කැමැතිය. සියයට හැට තුනක් සංකල්පයට කැමැත්ත පළ කර ඇති අතර අඩුම තරමින් රස විඳ තීරණයක් ගැනීමට කැමැතිය. ද ගාඩියන් පුවත් පත කරන ලද අදහස් විමසීමක දී සියයට හැට නමයක පිරිසක් කෘතීම මස් රහ බලන්නට සූදානම් බව කියා තිබේ. එය නව ප‍්‍රවනතාව අවබෝධ කරගැනීමට පහසු කරන වාර්තා බව දැක්විය හැකිය.

කෘතිම මස් මාංශ නිෂ්පාදනය ඇරඹීම සමග ඒවායේ ප‍්‍රමිතිය, නීති රීති හා රෙගුලාසි ගැන ද අලූතින් අවධානය යොමු කිරීම ආරම්භ වී ඇත. පොදු ජනතාවගේ පරිභෝජනය වෙනුවෙන් මහා පරිමානයෙන් නිකුත් කිරීමට කලින් නෛතික ක‍්‍රියාවලියකට යොමු විය යුතුය. සිංගප්පූරුව එයට පියවර ගෙන ඇති අතර තරු හෝටල් වල ලැගුම් ගන්නා සංචාරකයන්ට දැනටත් බාධාවකින් තොරව ඇනවුම් කළ හැකිය. ආහාර තත්ත්ව පර්යේෂණ හා ප‍්‍රමිති අංශ රටට ලැබෙන්නට ඉඩ ඇති කෘතීම මස් ගැන අවධානය යොමු කළ යුතු දිනය ළඟා වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පර්යේෂණාගාරයක් ඉදිකර කෘතීම සත්ව ගොවිපොලක් අරඹන්නට අවස්ථාව ඇත. මෙරට භාවිත නීතිය අනුව එයට ලැබෙන අවකාශය කෙබදු විය හැකිද? නමුත් ජාත්‍යන්තර ප‍්‍රජාව කෘතීම මස් මාංශ භාවිතයට නැඹුරුවන ස්වභාවය අනුව ඉක්මනින් පැතිරෙන්න්ට ඉඩ තිබේ. පරිසරයට ලැදි බෝහෝ පිරිසක් හා සංවිධාන, අවිහිංසාවාදීන් හා එකතුවනු ඇති අතර එය අලූත් අවකාශයක් නිර්මාණය කරනු නිසැකය.