» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/07/2020 - දේශය
ආදර්ශයක් විය යුතු නායකයන්ගේ වගකීම් විරහිත හැසිරිම

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළැදීම ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් ප‍්‍රවෘත්තියක් විය. ලෝකයේ සෑම මාධ්‍යයක්ම පාහේ එය විසුරුවා හැරියේය. ලෝක බලවතා වශයෙන් සැලකෙන ඇමරිකාවේ ප‍්‍රධාන පුරවැසියා කොවිඞ් -19 වයිසරය ගැන එකිනෙකට වෙනස් විවිධ මත දරන ලද බව නොරහසකි. හෙතෙම මෙම වයිරසය චීන රෝගයක් සේ නම් කළේය. වතාවක් විෂබීම නාශක ගැන හා වෙනත් එන්නත් ගැනීම සුදුසු බව කියා සිටියේය. තවත් අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස් පවරන ලද අතර එයින් ඉවත් වන බව දැක්වීය. අර්බුදකාරී අවස්ථාවක නායකයන් ගේ හැසිරීම විමසා බලන්නට මෙය එක්තරා අවස්ථාවකි.

කොවිඞ්-19 වයිරසය මනුෂ්‍ය ප‍්‍රජාවට බලවත් ප‍්‍රශ්න ඇති කර තිබේ. ලක්ෂ එකසිය තිහකට අධික පිරිසකට රෝගය වැළදී ඇත. ජීවිතක්ෂයට පත් වූ ගණන ලක්ෂ හයකට ආසන්නය. පැතිරීම හා මරණ වාර්තා නතර වී නැත. අලූත් සමීක්ෂණ වාර්තා අනුව මරණයට පත්වන අයවලූන් ගෙන් සියයට අනූපහකට වඩා වෙනත් රෝගයකින් පෙලෙමින් සිටි බව අනාවරණය වන කරුණකි. කෙසේ වෙතත් මෙම රෝගය භයානක උවදුරකි. ප‍්‍රතිකාර සොයා ගන්නා තෙක් පැවැත්ම ඉතා දුෂ්කරය. වයිරසය බෝ කරගැනීමෙන් වැලැකී සිටීම ඉතාම වැදගත්ය. සෞඛ්‍ය විශේෂඥයෝ නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒවා අනුගමනය කිරීම සුදුසුය. සමාජ දුරස්ථභාවයක් සහිතව එදිනෙදා කටයුතු වල නිරත විය යුතුය. නිතර අත් සෝදා ගැනීම, මුහුණු ආවරණ පැළැද සිටීම සහ ජනාකිර්ණ ස්ථාන මගහැරීම ඉතාම වැදගත්ය.

ලෝක නායකයන් අතරින් ඇතමෙකු කොවිඞ් -19 වසංගතය හමුවේ ක‍්‍රියා කර ඇති ආකාරය ගැටළු සහගතය. තවත් නායකයෝ විශිෂ්ඨ ගති ලක්ෂණ හුවා දක්වා තිබේ. මෙම සිද්ධි දකින ජනතාව එහිලා දක්වන ප‍්‍රතිචාර ද සැලකිල්ලට ගත යුතු කරුණකි.

චීන ජනාධිපති ක්ෂී ජින්ග් පින්ග් වුහාන් ප‍්‍රාන්තය වෙුනවෙන් යුහුසුළුව තීරණ ගත්තේය. පැතිරීම එක කොටසකට සීමා වන පරිදි නගර විලංගු ලා තද තීරණ ගත්තේය. ඇමරිකානු ජනාධිපතිවරයාට එය බරපතල සේ පෙනුණේ නැත’. බ‍්‍රසීලය ද වඩා සැලකිල්ලක් නොදැක්වීය. පසුව ජනාධිපති ජායිර් බොල්සොයනාරෝ ට පවා රෝගය වැළදී තිබේ. ඉන්දියාව තද තීරණ ගෙන රට තුළ පැවැත්ම සීමා කළේය. ජනතාව ගම් බිම් බලා යන්නට උද්ඝෝෂණය කරන විට ආරක්ෂක අංශ මෙහෙයවා පාලනය කරන්නට සමත් වූ නමුත් අනතුර පහ වී නැත. වියට්නාමය, කාම්බෝජය වැනි රටවල් තද නීති පනවා තත්වය පාලනය කර තිබේ.

නවසීලන්තයේ සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක් ගේ ඉල්ලා අස්වීම කොවිඞ්-19 සිද්ධි අතර කැපී පෙනෙන එකකි. නවසීලන්ත රජය තද පාලන නීති ක‍්‍රියාත්මක කර සංචරණය සීමා කර තිබුණ අවස්ථාවක හෙතෙම සිය පවුලේ සාමාජිකයන් සමග වෙරළ ප‍්‍රදේශයකට සංචාරය කළ අතර එය ජනතා විරෝධයට හේතු විය. එයට කලින් හෙතෙම සිය පාපැදියෙන් නගරය පුරා සංචාරය කළ බව හෙළි විය. එය නරක ආදර්ශයක් වූ අතර ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් පසු අගමැතිනිය එය භාරගෙන තිබේ. බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ උපදේශකයෙකු ද එරට කොරෝනා-19 පැතිරීම වලකන සංචරණ නීති උල්ලංඝනය කරන ලද බවට අන්දෝලනයක් ඇති වූ අතර ඔහු ද ධුරය හැර ගියේය. ස්කොට්ලන්ත සෞඛ්‍ය ප‍්‍රධානියෙකු ද ඉල්ලා අස්වූවන් අතර සිටී. නෙදර්ලන්ත අගමැති මාක් රූටේ මෙවැනි ආන්දෝලනාත්මක සහ අහංකාර සිද්ධි අතර සුවිශේෂී චරිතයකි. ඔහු ගේ මව ජීවිතක්ෂයට පත් වූ අතර නිරෝධායන නීති වලට අවනතව අවමගුලට සහභාගී නොවීය. දින ගණනක් අසනීපයෙන් සිටි මව ජීවතුන් අතර සිටිය දී දැකගන්නට නොලැබීම ගැන කණගාටුවට පත් හෙතෙම එය කොවිඞ්-19 වසංගතය ඇති කරන ලද පීඩනය බව කියා සිටියේය. ලොව පුරා ලක්ෂ ගණනාවක් ජනතාව මෙම සිද්ධිය මානුෂීය පැත්තකින් කල්පනා කළ අතර අවසානයේ දී මහත් කම්පාවට පත්වූහ. නීති නොසලකා අභිමතයෙහි හැසිරෙන වගකිවයුතු නායකයන් ඉදිරියේ මාක් රූටේ අගය කළ යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය වර්ණනා කළේය.

නීති කඩන්නට ලජ්ජාවක් බයක් නැති නායකයන් ගෙන් කිසිම පලක් නැත. ලෝකයේ තැනින් තැන අධිපතිවාදී බලවතුන් ගේ නොහොඹිනා හැසිරීම නිර්දය සේ විවේචනය කරති. විශේෂයෙන් ජනතාව ගේ කැමැත්තෙන් බලයට පත් වූ පසු හැසිරෙන ආකාරය හෙලා දකිති. සම්ප‍්‍රදායික මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය මෙවැනි සිද්ධි වල දී ඉදිරියට පැමිණ තිබේ. ස්වකීම මතය කෙලින්ම ඉදිරිපත් කරන නිර්භීත පුද්ගලයෝ නායකයන් ක‍්‍රියා කරන අන්දම ගැන අභියෝග කරන බව පෙනේ. ලෝකය පුරා පැතිරෙන භයානක වසංගතය අභිමුවෙහි වගකීමක් රහිත හැසිරීම මෑත කාලයේ අවධානයට ගැනුණ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් වශයෙන් දැක්විය හැකිය.

කොවිඞ්-19 වසංගතයෙහි දෙවැනි රැල්ලත් ගැන දැන් අවධානය යොමු කර ඇති අතර සමහරවිට තුන්වැනි රැල්ලකට පවා පසුබිම සකස්වන බව ජාත්‍යන්තර විශේෂඥයෝ දක්වති. එදිනෙදා හැසිරෙන ක‍්‍රියා කරන ආකාරය ගැන පරෙස්සම් විය යුතුය. ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු, ආදර්ශවත් විය යුතු නායකයෝ රෝගයෙන් වැලකීම හෝ වලක්වා ගැනීම ගැන ගැඹුරු අවධානයක නැත. එය අනුචිතය.

දරුවන් ඉගෙනගන්නේ වැඩිහිටියන්ගෙනි. සමාජය බලා සිටින්නේ නායකයන් දෙසය. දේශපාලන පමණක් නොව සියළු නායකයන් පූර්වාදර්ශය සපයන්නන් විය යුතුය. ආගමින නායකයන්ට බලවත් වගකීමක් තිබේ. ගුරුවරුන් ඉදිරියට පැමිණ කරුණු පෙන්වා දිය යුතුය. සමාජ නායකයන් පෙරමුණ ගත යුතු මොහොත උදා වී තිබේ. දේශපාලනය වැදගත්ය. රටට පාලකයන් පත් කරගැනීම නිසි අවස්ථාවේ දී සිදුකිරීම අවශ්‍ය කරුණකි. වසංගතයකට ඉහළින් පැන කලකෝලාහල කර මනාප සොයන දේශපාලනඥයන් රටට දෙන පණිවුඩය කුමක්ද? රට අන්තරායකාරී තැනකට පත් කර තමන්ගේ අභිලාශ සාක්ෂාත් කරගැනීම සුදුසුද? අර්බුදයක දී හැසිරෙන අන්දම නායකයන්ගේ තරම දැකිය හැකි අවස්ථාවකි. ප‍්‍රශ්නයක් ඇති අවස්ථාවක ක‍්‍රාය කරන ආකාරය නායකත්ව හදුනා ගන්නට ඉඩ දෙයි. අනතුර හදුනාගෙන වගකීමකින් ක‍්‍රියා කරන සේ ඇතැම් පක්ෂ නිල වශයෙන් දන්වා තිබේ. පහල තලයේ දී එවැනි සංයමයක් නැත.