» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/05/2019 - දේශය
රෝග විනිශ්චය තමන්ටම කරගත හැකි යුගයක්

මෙරට ප‍්‍රකට මාධ්‍යවේදියෙකු නොබෝදා සිය සාමාන්‍ය පරික්ෂණයකට වෛද්‍යවරයකු හමු විය. බැලූ බැල්මට ඔහුට මතු පිටින් දැක ගත හැකි බරපතල තත්ත්වයක් නොතිබිණි. නමුත් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා වහා රෝහල් ගත වන සේ උපදෙස් දුන් අතර හදිසි ප‍්‍රතිකාර ආරම්භ කළහ. හදවතේ අවහිර වී තිබුණ රුධිර නාල යථා තත්ත්වයට පත් කරනු සදහා පියවර ගත්හ.

එදිනෙදා සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටි මෙම තරුණ මාධ්‍යවේදියා තමන් ගේ හෘදයේ ලේ සැපයුම අවහිර වී සිටි බව කිසිසේත් නොදැන සිටි අතර අහම්බෙන් හෝ වෛද්‍යවරයා හමුනොවිණි නම් ස්වභාවය තවත් බරපතල වනු නිසැකය. වාසනාව හැම දෙනෙකුටම උදා වෙන්නේ නැත. එදිනෙදා කටයුතු කරගෙන යන අප සියළු දෙනා ශරීරයේ ඇති අඩු ලූහුඞුකම් ගැන හිතන්නේ නැත. නිතිපතා අනිවාර්යයෙන් නිරත විය යුතු වැඩ කටයුතු ගොඩ ගැසී තිබේ. දවසක් හෝ නිවාඩු ගත නොහැකිය. සමහරවිට නිවාඩු ගැනීම ආර්ථික අතින් අවාසියකි. නොදැනුවත්වම ශරීරයේ තතත්වය අසතුටුදායක බවට හැරේ. විශේෂයෙන් වසර හතලිහ ඉක්මවන විට දෛනිකව අවධානයෙන් සිටිය යුතු අතර ආහාර පාලනය හා නිසි ව්‍යායාම ඉතාම වැදගත්ය.

ඉතාම අවිවේකී, වෛද්‍යවරයෙකු හමුවී සැලසුමකට අනුව උපදෙස් ගෙන ශරීරය ගැන පරීක්ෂණ කරගන්නට අපහසු අයට වැදගත් වන අලූත් තොරතුරක් වාර්තා වෙයි. ඇමරිකාවේ බටර්ෆ්ලයි නමැති පර්යේෂණ ආයතනයක් හුරුබුහුටි අල්ට‍්‍රාසවුන්ඞ් මෙවලමක් නිෂ්පාදනය කර තිබේ. එය අතේ ගෙන යාහැකි, සාක්කුවේ බහා ලිය හැකි තරමේ කුඩා ස්කෑන් යන්ත‍්‍රයකි. එය කෙලින්ම තමන්ගේ ස්මාට් දුරකතනයට සම්බන්ධකරගත හැකිය. එමගින් තමන්ගේ සම්පූර්ණ සිරුර තමන්ටම පරීක්ෂා කරගත හැකිය. බටර්ෆ්ලයි නෙට්වර්ක් ආයතනයේ ප‍්‍රධානී ජියෝල් මොලිනාරී සඳහන් කරන අන්දමට අනාගතයේ දී මෙම මෙවලම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතාම වැදගත් එකක් බවට පත්වනු නිසැකය. මෙම ස්කෑන් යන්ත‍්‍රයට සවිකර ඇති මෘදුකාංගය තුන් ආකාරයකින් ක‍්‍රියාත්මක වන අතර සිරුරේ අභ්‍යන්තරය ඕනෑම වාර ගණනක් ඕනෑම පැත්තකින් නිරීක්ෂණය කර වාර්තා සකස් කරන්නට සමත්ය.

අවසාන අරමුණ මෙම මෙවලම වෙනුවෙන් වෙනම ඇප් එකක් හඳුන්වාදීමය. එයට අනුව රෝගී විනිශ්චය වාර්තා කෙලින්ම නිරීක්ෂණය කෙරේ. අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා වුවහොත් අන්තර් ජාලය ඔස්සේ ලෝකයේ ඉහළම පෙලේ වෛද්‍යවරයෙකුට කෙලින්ම යොමු කළ හැකිය. ප‍්‍රමාද නොවී වෛද්‍ය ප‍්‍රතිකාර වලට පහසුකම් සැපයෙන මගකි. රෝගියා ගේ හා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කරන අතර අනවශ්‍ය පීඩනය ඉවත් කරයි. මෙම සොයා ගැනීම සෞඛ්‍ය සේවාවේ දැන් පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි විශ්වාස කෙරේ. අතේ ගෙනයා හැකි කුඩා ස්කැන් යන්ත‍්‍රය දැනට ඇමරිකාවේ භාවිතා වන අතර මෙම මෙවලම නිපදවන්නට වෙහෙස වූ වෛද්‍යවරු සිය උත්සාහයේ ප‍්‍රතඵලයක් වශයෙන් නිසි සෞඛ්‍ය පහසුකම් නැති බිලියන 4.7 ක පමණ ලෝක ජගහනයකට සෙතක් අත්වනු ඇතැයි ප‍්‍රකාශ කර තිබේ.

වෛද්‍ය විද්‍යාව ගැන පර්යේෂණ පවත්වන සමාගම් අලූත් සොයා ගැනීම් කරයි. සිරුර ස්කෑන් කරනු අමතරව මයික්‍රෝ ඉඳීකටු ස්වභාවයේ එන්නත්කරණයක් ද සොයා ගෙන ඇත. එය සාමාන්‍යයෙන් අලවන කුඩා ජෙල් පැලැස්තරයක් වන අතර ඉතා සියුම් ඉඳීකටු වලින් සමන්විතය. රෝගියාට වේදනාවක් නොදැනෙන සේ සිරුර පසාරුකරගෙන යන මෙම ඉඳීකටු ඒවායේ ඇති ඖෂධ රෝගී වී ඇති ස්ථානය කරා ගොස් නිදහස් කරන තරමට වැඩි දියුණු කර තිබේ. එම ප‍්‍රතිකාර විධි තවමත් අත්හදා බලන මට්ටමේ පවතී. නමුත් ඉතාම ඉක්මනින් භාවිතාවට එනු ඇත. පර්යේෂකයන් සඳහන් කරන අන්දමය ඔසු අපතේ යෑමක් නොවන හා කෙලින්ම ප‍්‍රතිකාර අවශ්‍ය තැනට යොමු වන නිසා මෙය පෙරැුලිකාර සොයා ගැනීමක් වනු නොඅනුමානය.

අලූත් ප‍්‍රතිකාර, අතේ ගෙන යන රෝග හදුනා ගැනීමේ මෙවලම්, ලෝකයේ හොඳම වෛද්‍යවරයා අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ කරගැනීම වැනි මේ කියන ප‍්‍රතිකාර සාමාන්‍ය ජනතාවට සමීප වන දිනය ගැන ප‍්‍රශ්නයක් තිබේ. පස්වන පරම්පරාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය අවශ්‍යය. පස්වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය ගැන ලෝකය පුරා තද බව ප‍්‍රශ්න මතු වී තිබේ. ශ‍්‍රී ලංකාව වැනි රටක සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට සෑහෙන කලක් ගත විය හැකිය. දැනට පවතින තුන් වන හෝ හතරවැනි පරම්පරාවේ සන්නිවේදනය මෙහෙයවන සමාගම් පවා ව්‍යාපාර මෙහෙයවන්නේ පහසු නැති පරිසරයකය. අලූත් තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය දිරි ගන්වන්නේ නැත. වෙළඳ පොල කුඩාවීම හා විශාල බදු ප‍්‍රතිශත සමාගම් අධෛර්යවත් කර තිබේ. සන්නිවේදන සමාගමවලට පමණක් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නට පුලූවන්කමක් නැත.

එක පැත්තකින් දියුණු වන සන්නිවේදන පරිසරයේ වාසි අත්කර ගැනීමට හා ලෝකයේ වේගයෙන් වර්ධනය වන පුද්ගලික සෞඛ්‍ය මෙවලම් පරිහරණය වෙනුවෙන් ඉතාම දියුණු සන්නිවේදන ජාලා තිබිය යුතුය. ඒවා පොදු ජනතාවට දරාගත හැකි මිලකට තිබීම අවශ්‍යය. එම විප්ලවය කළ හැකි නම් අද පවතින රෝහල් වල තත්ත්වය සහමුලින්ම වෙනස් කළ හැකිය. ඉතාම අත්‍යවශ්‍ය දෙයකට රෝගියා රෝහලට එන අතර එන්නේ ඉතාම විශිෂ්ඨ රෝග නිධාන වාර්තා ද සහිතවය. රට තුළ නිදුක් නිරෝගී පරපුරක් ඇති කරන්නට නම් ගත යුතු ප‍්‍රතිපත්ති තීරණ ගැන විශාල සංවාදයක් අවශ්‍යය. නීති රීති වෙනස් කළ යුතුය. ආණ්ඩුව සතු කාර්ය භාරය බරපතලය. නොඑසේනම් අතේ ගෙන යන ස්කෑන් යන්ත‍්‍ර ලෝකය පුරා භාවිතා වන නමුත් මෙරට ජනතාව තව දුරටත් චැනල් පෝලිමේ ඉන්නට ඉඩ තිබේ.