» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/01/2020 - දේශය
කියැවීමෙන් සම්පූර්ණ වන බව නොසිතන පරපුරක්

කියැවීමෙන් මිනිසා සම්පූර්ණ වන බව පැරණි සමාජය විශ්වාස කළ දෙයකි. අතට ලැබෙන ඕනෑම දෙයක් නොකියවා ඉවත නොදමන සේ වැඩිහිටියෝ අවවාද කළහ. පුස්තකාලයට ඉහළ තැනක් ලැබුණ අතර පොත පත පරිහරණය හොද බුද්ධිමතෙකු බවට පත් වන පළමු පියවර සේ සලකන ලදහ. කියැවීම ගැන තිබුණ සංකල්ප වෙනස් වෙමින් තිබේ. අලූත් පරම්පරාවේ දරුවෝ කියවන්නේ නැත. ඔවුහු තාක්ෂණික යුගයක ජීවත්වෙති. පත්තරයක් හෝ පොතක් අතින් අල්ලා කියවන්නට සූදානමක් නැති ඔවුන් ගේ අතැගිලි අග දැනුම දෙන මෙවලම තිබේ. ස්මාට් දුරකතනයෙන් තොරතුරු පිපාසය සංසිදුවා ගන්නා බව පළවෙයි.

කියවන උනන්දුව අඩුවන තරම

අද යුගයේ දරු දැරියෝ කියැවීමට දක්වන අඩු උනන්දුව බලවත් ප‍්‍රශ්නයක් බව අන්තර් ජාතිකව බලවත් අවධානයට ලක් වූ කරුණකි. එල් සැල්වදෝර් ජනාධිපතිවරයා මෑතක දී මෙම පැත්ත ගැන අදහසක් පළ කර තිබුණි. හෙතෙම එක්සත් ජාතීන් ගේ සැසිවාරයේ දී කතාවක් කර එය ඔහුගේ සමාජ මාධ්‍ය මගින් බෙදා හැරියේය. එහෙත් මෙම දේශනය නොකිය වූ බොහෝ දෙනා ඔහු මෙම සැසිවාරයේ දී ලබාගත් සෙල්ෆි ඡායාරූපය ගැන අවධානය දක්වන ලද බව අනාවණය විය. ජනාධිපති නයිබ් එය ගැන අදහස් දක්වන්නේ කනස්සල්ලෙන්ය. එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසිවාරයට සහභාගී වූ බව දන්නා නමුත් එහි දී කතා කළේ මොනවාදැයි නොතකන සමාජයක් බිහි වී ඇති බව හෙතෙම ප‍්‍රකාශ කර ඇත. ඉතාමත් වැදගත් කරුණු සාකච්ඡා වන නමුත් තරුණන් එය ගැන දක්වන අවධානය අඩුය. ලෝකයේ වෙන්නේ මොනවාදැයි කල්පනා නොකරන අලූත් පරම්පරාව තමන්ට උවමනා දේ තෝරාගෙන හදාරන්නට පෙළැඹී සිටිති. සමාජ මාධ්‍යයෙන් එවන අති විශාල පණිවුඩ ප‍්‍රමාණයෙන් තමන්ට කැමැති දේ පමණක් සොයා ගන්නා තරුණ පෙළ ඒවා කියවති. නරඹති. එය දැනුම අවබෝධය ඇති කරන කාර්යයක් ද නැත්නම් තාවකාලිකව සතුටු විය හැකි විනෝදයක් ද යන්න සාකච්ඡා වෙමින් තිබේ.

පැය ගණන් ජංගම දුරකතනයේ තිරය දෙස බලා සිටින තරුණ තරුණියන්ගෙන් ලෝකයේ සිදුවන දේ ගැන බුද්ධිමත් අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිද? සරල සංසිද්ධි බෙදාහරින සමාජ මාධ්‍ය ජාලා ඒවායේ ග‍්‍රහනයට නතු කරගැනීමෙන් විශාල වෙළද පොලක් සකස් කරගෙන ඇති බව පැහැදිලිව පෙනෙන අතර එය වලක්වා ගත නොහැකි විපතක තැනට පත්ව ඇත.

පුවත් පත ගැන කරන සදහනක තරම

දියුණු රටවල තරුණ තරුණියන් 2009 සිට 2018 කාලය තුළ පුවත්පත් කියැවීම සියයට හැටක සිට සියයට විස්ස දක්වා අඩුවී ඇති බව අන්තර් ජාතික ශිෂ්‍ය වැඩසටහන සිය පර්යේෂණයක් පෙන්වා දී තිබේ. වයස අවුරුදු 15-16 අතර පිරිස මෙහි දී සලකා බලා ඇත. ඉන්දියාවෙන් අනාවරණය වන පරිදි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියට එන තරුණ ප‍්‍රතිශතය වැඩිහිටි ජනගහනයෙන් අඩක් බවට පත්ව ඇති බව හෙළිදරව් වන තවත් කරුණකි. එය ඉන්දියාවේ විශාලතම ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවන පුවත් පතක වෙබ් අඩවියයි. පුවත් පතම පණක් නොව පුවත් පතක අන්තර් ජාල පළ කිරීම පවා කියවන්නට නැඹුරුවක් නැත. කියවන තරුණ පිරිස පවා වඩා නැඹුරු වීඩියෝ හා බොලිවුඞ් තොරතුරු වලට බව සනාථ වී තිබේ. යූ ටියුබ් හා නෙට් ෆිලික්ස් යන ඉතා මෑතක දී ඉදිරියට පැමිණි සන්නාම වලට බි‍්‍රතාන්‍ය තරුණයෝ නැඹුරුය. ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන සන්නාමයක් වන බී.බී.සී. එපමණකට අවධානයට නොගැනේ. මෙම ස්වභාවය අනුව විශේෂයෙන් ප‍්‍රජා හිතකාමී සන්නිවේදනය අනතුරකට මුහුණ පා ඇති බව දැක්වේ. බි‍්‍රතාන්‍ය මාධ්‍ය නියාමන අංශ වැඩිදුරටත් දක්වන අන්දමට තරුණ ප‍්‍රජාවගේ අවධානය ලබා ගැනීමට මාධ්‍ය අංශ යුහුසුළු නොවුනහොත් අනාගතය තීරණාත්මක තැනකට යොමු වන බව ද දක්වා තිබේ.

මැද පෙරදිග රටවල වයස අවුරුදු 18-24 අතර පිරිස අතරින් සියයට අසූවක් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ සමාජ මාධ්‍යවලින් බව දැක්වෙයි. දකුණු කොරියාවේ තරුණන්ගෙන් තුනෙන් දෙකක් අන්තර් ජාලයේ සැරි සරන අතර පුවත් පත් කියවන්නේ නැත. මෙයින් සියයට 97 ක ප‍්‍රතිශතයක් සෙවුම් යන්ත‍්‍ර භාවිතා කරන අතර එයින් තහවුරු කරන කාරණය ගැන ද අවධානයක් යොමු කිරීම සුදුසුය. එනම් තමන් බලන්නට, කියවන්නට කැමැති දේ සෙවුම් යන්ත‍්‍ර වලින් සොයා ගනී. වාර්තාකරන දෙයට වඩා තමන්ට අවශ්‍ය දෙය කියවන නැඹුරුවක් පවතී. ඇමරිකානු තරුණන්ගෙන් සියයට අනූ පහක් ස්මාට් දුරකතන භාවිතාකරන අතර එයින් හරි අඩක් නිරතුරුව අන්තර් ජාලයේ සිටී. තොරතුරු ගන්නේ අන්තර් ජාලයෙන්ය. පත්තරය ගැන හිතන්නේ නැත. පොත කියවන අදහසක නැති බව ද සනාථ වී තිබේ.

තාක්ෂණය ගැන ඇති අවබෝධය හේතුවකි

ලෝකයෙන් හරි අඩක් අන්තර් ජාලය හා සම්බන්ධ බව තොරතුරු වාර්තා පෙන්වයි. එය ක‍්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක කොටසක් වයස අවුරුදු විස්සට අඩු පිරිසකි. මෙම පිරිස තොරතරු තාක්ෂණ යුගයේ උපත ලැබූ අය වන අතර දුරකතනය, පරිගනකය හෝ ටැබ් යන මෙවලම් ඉතාම හුරුය. මෙම පැති සලකන විට අනාගතයේ දී මාධ්‍ය වෙළදාම සම්පූර්ණයෙන්ම වෙස් මුහුණුවරකට පත් වනු ඇතැයි සැලකේ. 2012 වසරේ දී ඉන්ටග‍්‍රෑම් සමාජ මාධ්‍ය පැත්ත තමන්ගේ අයිතියට මිල දී ගන්නට ෆේස් බුක් ව්‍යාපාරය සමත් වූ අතර එයට පසු වසරේ දී ස්නැප් චැට්යන සමාජ මාධ්‍ය අඩවිය මිල දී ගන්නට තැත් දැරීය. බටහිර පමණක් නොව චීනය වැනි රටවල ද මෙයට සමාන තත්ත්වයක් මතු වී තිබේ. වී චැට් එහි ඉතා ජනප‍්‍රිය අංශයකි. බටහිර ප‍්‍රචලිත ගූගල් සෙවුම් යන්ත‍්‍රයට දොරටු වසා ඇති අතර ඡී මේල් අවහිර කර තිබේ. එහෙත් චීන ආකෘතිය අනුව සකස් වූ වී චැට් මගින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට ද ඉඩකඩ සකස් කරගෙන ඇත. ලෝකයේ නොයෙක් රටවල් මුදල් හුවමාරුව සීමා කරන ක්‍රමයක් වශයෙන් ස්මාට් දුරකතනයෙන් කරන ගනුදෙනු වලට අවසර දී ඇත.

තාක්ෂණය කර ඇති පෙරැලිය ඉතාම සියුම්ය. තමන්ට අවශ්‍ය දේ තෝරා බේරාගෙන අධ්‍යයනය කරති. සම්ප‍්‍රදායික මාධ්‍ය මගින් ඇමේසන් වනාන්තරයේ පැතිරෙන ගින්න ගැන වාර්තා කරන විට ලෝකයේ නොයෙක් රටවල තරුණ පිරිස ඒවා කියවන්නටත් කනින් සිදුවීම් දැනගෙන තිබුණි. සම්ප‍්‍රදායික මාධ්‍ය වලින් එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසිවාර කතාව අවධානයට නොගැනුන හේතුව එක් සැල්වදෝරයේ ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බව නිසැකය. ඔහුගේ කතාව නොකියවන පිරිස ඇමේසන් සිද්ධිය ගැන සම්ප‍්‍රදායික මාධ්‍ය අවදි වෙන්නට කලින් දැනගෙන ඇත. එය සිදුවන අවස්ථාවේ ලැබුණ වීඩියෝ අපි බෙදා ගත්තා යැයි තරුණයෝ කියා තිබේ. මෙයය වටහා ගැනීමට අපහසු මාධ්‍ය පරිවර්තනයක් සිදුවන යුගයකි. අනාගතයේ දී තවත් තීරණාත්මක තැනකට පත්වනු නොඅනුමානය.