» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/10/2020 - දේශය
අතීත උරුමය ඉල්ලන සටන ඉදිරියේ නෙදර්ලන්තයේ තීරණය

ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යය ජාතිකයෝ අවසන් පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිර භාරයට ගත්හ. රාජසිංහ රජු ගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු රාජකීය සංකේත සෑහෙන ප‍්‍රමාණයක් බ්‍රිතාන්‍යයට ගෙන ගියේය. එම සිද්ධියට පෙර හා පසු මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු, සිහිවටන යනාදිය සවිස්තරාත්මකව සොයා ගැනීමට පුලූවන්කමක් නැත. බි‍්‍රතාන්‍ය පමණක් නොව පෘතුගීසි හා ලන්දේසි පාලන කාලයේ දී ද නොයෙක් පුරාවස්තු රැගෙන ගොස් ඇති බව කියැවෙයි. බටහිර ජාතීන් පමණක් නොව ඉන්දියාව, මැදපෙරදිග රටවල් හෝ චීනය සතුව ශ‍්‍රී ලංකාවට අයත් දේ ආරක්ෂා කරගෙන ඇති බවට සැකයක් නැත.

ඉතිහාසය පෙන්වා දෙන පරිදි නොයෙක් අවස්ථාවල රටට අයත් ඓතිහාසික වටිනාකමක් ඇති දේ ආපසු බාර දී තිබේ. පස්වැනි ජෝර්ජ් රජු ගේ කැමැත්ත ඇතිව ග්ලූස්ටර් ආදිපාදවරයා 1934 වසරේදී ශ‍්‍රී වික‍්‍රම රජුගේ ඔටුන්න හා සිංහාසනය ලංකාවට නැවත භාර දී තිබේ. එය ආදිපාදවරයා මෙරට සංචාරය කිරීම නිමිති කරගෙනය. නිදහස ලබන විට උරුමයේ වැදගත්ම සංකේතයක් ආපසු ලබා ගන්නට ලාංකිකයෝ සමත් වූහ. ලෝකයේ නොයෙක් තැන් වලින් වාර්තා වන පරිදි එක යුගයක යටත්ව සිටි කාල වකවානුවේ අහිමි වූ කෞතුක වස්තු නැවත ආපසු ඉල්ලන සටනක් ආරම්භ වී තිබේ. සෑහෙන කාලයක් පුරා ලෝකයේ විවිධ තැන් වලින් ස්වකීය උරුමය සම්බන්ධ මතවාද හටගෙන තිබුණි. අප්‍රිකානු සහ ආසියානු කලාප ඒ අතර ඉදිරියෙන් සිටී.

උරුමය ඉල්ලා කරගෙන ගිය සටන එක්තරා තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නෙදර්ලන්තයේ ප‍්‍රසිද්ධ කෞතුකාගාර දෙකක් තමන් සතු එහෙත් වෙනත් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාර දෙන්නට තීරණය කර ඇත. නීත්‍යානුකූල ක‍්‍රමවේදයක් සකස් කළහොත් ලක්ෂයක පමණ භාණ්ඩ ප‍්‍රමාණයක් ආපසු දෙන බව එම කෞතුකාගාර ප‍්‍රධානීහු ජාත්‍යන්තර මාධ්‍යයට කියා තිබේ. එය ඉතා වැදගත් සදහනක් බවට පත්ව ඇත. රටවල් යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීහු එම රටවල නටඹුන්, චිත‍්‍ර, ස්මාරක හා පැරණි කෘති රැගෙන ගියේය. මෙසේ රැගෙන ගිය සමහර ඒවා පොදු ස්ථාන වල ප‍්‍රදර්ශනය කෙරේ. තවත් කොටසක් පුද්ගලික අයිතියක් හෝ ආයතන වල වත්කම් වශයෙන් පවතී. වෙනත් රටවල් අයිතිකරගෙන සිටින තම ඓතිහාසික හා සංස්කෘතිත මෙවලම් ගැන ශෝක වන අලූත් පරපුර ඒවා ආපසු ඉල්ලා සිටිති. එය බලහත්කාරකමක් වශයෙන් අද නිර්වචනය කෙරේ.

නෙදර්ලන්තය නොඑසේනම් ලන්දේසී ජාතිකයෝ රටවල් යටත් කරගත් බලවත් ජාතීන් අතර එක කොටසක් පමණකි. පෟතුගීසි සහ ඉංග‍්‍රීසි ජාතිකයෝ පමණක් නොව පෙරදිග හා අපරදිග බලවත් රටවල් ද වෙති. ශ‍්‍රී ලංකාවට අයත් ඉතා වටිනා පුරාවස්තු හා ලිපි ලේඛන සැහෙන ප‍්‍රමාණයක් යටත් විජිත කාලයේ අධිරාජ්‍යවාදීහු අයිතිකරගෙන ඇති බව නොරහසකි. අපට අයත් උරුමය නැවත රටට අවශ්‍ය බව නොයෙක්වර ප‍්‍රකාශ කර ඇති නමුත් නොයෙක් හේතු අනුව ඇතැම් දේ ලැබී නැත. සංකේතාත්මකව සමහර දේ නිල වශයෙන් භාර දී තිබේ. මුලින් දක්වන ලද ඔටුන්න හා සිංහාසනය එයින් එකකි. අතීත උරුමයේ කොටස් ආපසු ලැබිය යුතු බව අවිවාදිතය. එහෙත් ඒවා ආපසු ලබාගැනීමට සකස්විය යුතු ක‍්‍රමවේදය ඉතා සංකීර්ණය.

අතීත උරුමය ඉල්ලා ගෙන යන සටන අවසානයේ කෞතුක භාණ්ඩ අයිතිකරගැනීම පමණක් වැදගත් නැත. ඒවා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට ද නිසි වැඩ පිලිවෙලක් තිබිය යුතුය. පැරණි දේ ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අද රට තුළ විශාල සාකච්ඡාවක් තිබේ. පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ගැන අවධානය යොමු වී ඇත. වටිනා භාණ්ඩ ගැන සංවාදයක් තිබේ. විමර්ෂණය කරනවිට නොයෙක් ස්ථානවල කෞතුක වටිනාකමක් ඇති දේ තිබේ. ආරක්ෂා කරගත යුතු දේ රකින පිලිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථකයැයි සදහන් කරන්නට නොහැකිය. වටිනා ලිපි ලේඛන, පුස්කොල පොත් චිත‍්‍ර සහ ශිලා ලේඛන ඇතුළු දහසකුත් දේ නිසි සේ සංරක්ෂණය නොවෙන බව පෙනේ. වෙනත් රටක බලවත් පරිශ‍්‍රමයකින් ආරක්ෂා කරන දෙයක් නැවත ලබා ගැනීමෙන් පසු එවැනිම අවධානයකින් රැකබලා ගන්නට ඒවා ඉල්ලන රටවලට හැකියාවක් තිබේද යන්න ප‍්‍රශ්නයකි. දැනට අයිති කරගෙන ඇති රටවල් එසේ නොකළේ නම් මෙම සදහන් කරන වටිනාකමක් ඇති දේ වලට අත්විය හැකිව තිබුණ ඉරණම ද කණගාටුදායක වෙන්නට ඉඩ තිබුණ බව අමතක කළ යුතු නැත. විශේෂ ලැදියාවක් තිබුණ පිරිස් මේවා රැගෙන ගොස් මතු පරපුර වෙනුවෙන් රැකබලාගෙන ඇති බව දැක්විය යුතුය. අයිතිය පමණක් නොව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ද කෘතවේදීවීම සුදුසුය.

ඉතිහාසය අනාවරණය කරගැනීම හා ආරක්ෂා කිරීම විශේෂ විෂයයකි. ඉතිහාසයට අයත් වැදගත් දේ රැකබලාගැනීම පහසු කාර්යයක් නොවේ. නොයෙක් රටවල් විශාල ප‍්‍රයත්නයක නිරතය. විශාල ධනයක් හා ශ‍්‍රමයක් වැය කළ යුතුය. බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර නඩත්තුවට ගෙන යන පියවර එයට දැක්විය හැකි එක උදාහරණයකි. බ්‍රිතාන්‍යය රජය කරන වියදම පමණක් ප‍්‍රමාණවත් නැත. පුද්ගලික පරිත්‍යාග වලට අමතරව විශේෂ ලොතරැයියක් පවත්වාගෙන යයි. එයින් උපයන ධනය අරමුදලකට බැර වන අතර කෞතුකාගාර නඩත්තුවට එම මුදල් වැය කෙරේ. කෞතුකාගාර, පුස්තකාල හා ලේඛනාගාර වල ඇති ඉතා වටිනා දේපොල එම මුදල් වැය කර ආරක්ෂා කෙරේ. ලොතරැයි දිනුමකින් වාසි ලබන තරමටම එයින් සැලසෙන සමාජයීය යුතුකම ගැන විශාල උනන්දුවක් බ්‍රිතාන්‍යයට තිබේ. නෙදර්ලන්තය ගෙන ඇති පියවර ලෝක අවධානයට යොමු වී ඇත. කෞතුකාගාර දෙකක් නම් කර ඇති ලක්ෂ ගණනක පැරණි දේ අතර තමන්ගේ උරුමය තිබේදැයි විමසිලිමත් වෙති. සමහර රටවල් ස්වකීය උරුමය නැවත ලබා ගැනීමේ ප‍්‍රයත්නයක නිරතය. මෙවැනි අලූත් ප‍්‍රවණතා සම්බන්ධව අවධානය යොමු කිරීම සුදුසුය. අතීතය සොයා පියවර ගැනීම පමණක් නොව පවතින දේ ආරක්ෂා කරගැනීමට අනුගමනය කරන පියවර එයටත් වඩා වැදගත්ය.