» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/08/2019 - දේශය
මිනිස් මොලය පරදවන පරිගණක

පරිගනකයේ පාලනයට මනුෂ්‍යයා යටත් වනු ඇතැයි භීතියක් වර්තමානයේ සෑම ජන සමාජයකම තිබේ. මිනිසා විසින් නිපදවන පරිගණකයක් පනවන විධි විධාන අනුව හැසිරන්නට සිදුවිය හැකි අතර එය හුදෙක් පරිනත නායකයෙකු ගේ පරිපාලන ව්‍යහුයට වඩා සංකීර්ණ වනු ඇති බව උපකල්පනය කෙරේ. එහෙත් එවැනි අනියක බියක් පර්යේෂණ අංශ සතුව නැත. ඉතාම ඉක්මනින් මනුෂ්‍ය මොලය අභිබවා යන කෘතීම බුද්ධිය සහිත මෙවලමක් නිපදවා ගත හැකි වෙතැයි අනුමාන කෙරේ.

වසර හතරකට කලින් කැලිෆෝනියාවේ සෙන් ෆැන්සිස්කෝ හි කෘතීම බුද්ධිය ගැන පර්යේෂණ කරන සමාගමක් පිහිටුවාගෙන තිබේ. විශාල ධනවතුන් හා අලූත් දේ සොයා යන නවෝත්පාදකයන් වශයෙන් සැලකෙන ඊලොන් මස්ක්, පීටර් තීල් සහ රෙයිඞ් හොෆ්මන් වැනි විද්වත්හු එයට මූලික වී ඇත. ඉනික්බිතිව තවත් සමාගම් ගණනාවක් කෘතීම බුද්ධියෙන් අනූන යන්ත‍්‍රයක් නිපදවීම තරඟයක් කරගෙන තිබේ. පසුගියදා මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් යොදවා ඇති බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කළේය. එය අති විශාල ධනයක් බව කල්පනා කරන මෙම ක්ෂේත‍්‍රයේ පර්යේෂණ අංශ ඉදරි පස් වසර තුළ කෘතීම බුද්ධිය සම්බන්ධයෙන් කරන සොයා ගැනීම් වෙනුවෙන් එය බලවත් ශක්තියක් වනු ඇති බව පෙන්වා දෙයි. මනුෂ්‍ය මොලය හා සමානව සිතුම්, පැතුම් හා පරිකල්පනයක් ඇති පරිගණකයක් නිපදවනු හැකි වනු ඇතැයි එහි නිරත පර්යේෂකයෝ බලාපොරොත්තු පළ කර තිබේ.

සමහර පර්යේෂකයන්ට අනුව පරිගණකයෙහි අනාගතය අනුව මිනිස් මොලය පරාජය කළ හැකි වුවත්, නැතත් දැනට භාවිතා වන පරිගණක වල ධාරිතාවය අනුව සලකන විට අසමසම තත්ත්වයක් ඉක්මනින් ළඟා කරගත හැකි වනු නිසැකය. ගැඹුරු පරිකල්පනන ශක්තියක් සහිත උපකරණයක් නිපදවිය හැකි බව කියැවේ. එහෙත් තොරතුරු ග‍්‍රහනය කරගැනීමට ඇති වන අපහසුතා සහ භාෂාව ඉගෙන ගැනීමට ඇති බාධා නිසා මිනිස් මොලය සහසමාන වන්නට තවමත් අවස්ථාව නැති බව හිතන විද්වතුන් කණ්ඩායමක් ද ලෝකය පුරා සිටී. එහෙත් එම පිරිස පවා වැඩි දියුණු කෘතීම බුද්ධිය ගැන කරන පර්යේෂණ අත්හරින්නට සූදානමක් නැත. කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු අනාගතයේ දී පැවැතිය හැකි බුද්ධියෙන් පොහොසත් කෘතීම පරිගනකයක බලය කොපමණ විය යුතුදැයි හිතා ගැනීමට අසමත් බව ඔහු පළ කරන කෘතියකින් අලූතින් අනාවරණය කර තිබේ.

කෘතීම බුද්ධිය ප‍්‍රයෝජනවත් වෙන්නේ කා හටද? ඒවාට වියදම් කරන ධනය අපේක්ෂිත ප‍්‍රතිඵල අත්කරදෙනවා ද යන්න ගැන තවත් විවාදයක් තිබේ. කෘතීම බුද්ධිය බිහි කරන පර්යේෂණ වෙනුවෙන් සමාගම් ධනය වියදම් කරන නමුත් අවසානයේ දී එය එක සමාගමකට, එක රටකට ලැබෙන යහපතක් නොම සමස්ථ මනුෂ්‍ය සංහතිකයට අත්පත්වන වාසියක් බව එය වෙනුවෙන් කැපවන පුද්ගලයෝ කියති. ඇපලෝ සඳ ගමන විශාල විද්‍යාත්මක සොයා ගැනීම් ප‍්‍රමාණයකට හේතු විය. එය ලෝකයේ ඕනෑම රටක සාමාන්‍ය ජනතාවට පවා දැනෙන වෙනසක් කරන සොයා ගැනීම් වලට පදනම වූ බව ඔවුහු පෙන්වා දෙති. කෘතීම බුද්ධියෙන් ලැබෙන පිටිහවල ගැන පුරෝකතන දක්වන්නට සූදානම් නැති එම පර්යේෂණ අංශ එය විශ්වයට එකතු වන අලූත් දැනුම් සම්භාරයක් වනු ඇති බව එකහෙලා කියා සිටී.

වසර දෙකකට කලින් ඇමේසන් විද්්‍යුත් විකිණුම් සේවාව ආශ‍්‍රිතව ලැබෙන සේවාදායක ප‍්‍රතිචාර විශ්ලේෂණය කරන්නට සමත් පරිගණක පද්ධතියක් භාවිතා කර තිබේ. එයට අනුව ගනුදෙනුකරුවෝ දක්වන අදහස් පරිගණකයට දැනෙන අතර සමහරවිය එම ප‍්‍රතිචාරයට පරිගනකයෙන් පිලිතුරු යැවූ විට එන උත්තරය අනුමාන කරන්නට සමත් වී ඇත. පරිගණකයට ලැබෙන ප‍්‍රතිචාර හොඳ ඒවා ද නැත්නම් නරක ඒවා දැයි ස්වයං විනිශ්චයකට එළැඹෙන හැකියාව තිබෙන බව ප‍්‍රකාශ වෙයි. එම පරම්පරාවේ කිසිම පරිගනකයකට නොතිබුණ බලවත් කල්පනා ශක්තියක් සහිත බව එය අනාවරණය කරයි.

අප හිතනවාට වඩා ගැඹුරු පරිකලපන ශක්තියක් සහිත පරිගණක ලෝකය පුරා භාවිතා වන දිනය වැඩි ඈතක නොවේ. දත්ත ගලපා මිනිසෙකු අනුමාන කරන තරමට දෙයක් ගැන හිතන්නට හැකි ආකාරයේ පරිගණක දැන් බිහි වී තිබේ. මේවා භාවිතා කරන විට මිනිස් ශ‍්‍රමය යෙදවිය යුතු අංශ සීමා වනු ඇත. පසුගිය වසරේ දී චීනයේ ක්ෂින්හුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය පිරිමි රොබෝවරයෙකු ප‍්‍රවෘත්ති කියැවීමට යොදා ගත් අතර මෙම වසරේ මාර්තු මාසයේ දී පරිගණකයකින් පාලනය වන කාන්තා රොබෝවරියක් ද ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයේ දී සහාය වූ බව ලොව පුරා අනාවරණය විය. එය සෑහෙන අලූත් අත්දැකීමක් බවට පත් වූ අතර ප‍්‍රවෘත්ති විකාශය වැනි අවධානය යොමු වන වැඩ සටහනක් රොබෝ පාලනයට යටත්වීම විශේෂ සිද්ධියකි.

පරිගණක වල බලය සෑම වසරකම දෙගුණ වී තිබේ. එය අලූතින්ම වාර්තාවන කරුණකි. 2012 වසරේ දී භාවිතා වූ පරිගණක වලට වඩා තුන් ලක්ෂ වාරයක් බලවත් පද්ධති වලින් සමන්විත පරිගනක අද වන විට භාවිතා වන බව මෙම අංශය ගැන සොයා බලන අංශ පෙන්වා දෙන කරුණකි. ජංගම දුරකතනයක භාවිතා වන බැටරිය කෙරෙහි මෙවැනි දියුණුවක් ඇතිවූයේනම් කෙබදු පරිවර්තනයක් වනු ඇත් දැයි පරිගණකයේ මතකය ගැන සංසන්දනය කරන පිරිස අවධානය යොමු කර ඇති පැත්තකි. ඔවුන්ට අනුව මෙම ධනය හා ශ‍්‍රමය වියදම් කර ජංගම දුරකථන වල බැටරිය වැඩි දියුණු කළේ නම් අද වනවිට බැටරියක් එක වතාවක් ආරෝපනය කිරීමෙන් පසු වසර අටසියයක් භාවිතා කළ හැකි වනු ඇත. තවත් වසර පහක් මෙම දියුණු කිරීම කරගෙන ගියහොත් එම වසර පහ තුළ දුරකතනයේ බැටරියේ වරක් ආරෝපනය කළ පසු ආයු කාලය වසර මිලියන 100 ඉක්මවන්නට ඉඩ තිබේ.