» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/07/2021 - දේශය
අභ්‍යවකාශ ප‍්‍රවේශය පොදු ජනයා ගේ අයිතියක් වන දවස

අභ්‍යවකාශ තරණය ඇමරිකාව සහ රුසියාව වන බල කදවුරු දෙක අතර තරගයක් බවට පත්ව තිබුණි. ඇපලෝ සහ සෝයුස් අභ්‍යවකාශ යානා ගැන තොරතුරු එකල වාර්තා කෙරිණ. පසුව චීනය ඇතුළු රටවල් ගණනාවක් විශ්වයට ප‍්‍රවේශ වූහ. දැන් සිය පවුලේ සාමාජිකයන් සමග අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණිය හැකි යුගයකි. බිලියනපතියෙකු වන රිචඞ් බ්‍රෙන්සන් සිය පුද්ගලික අභ්‍යවකාශ සංචාරය සාර්ථකව අවසක් කළේය. අභ්‍යවකාශය සියළුම දෙනාට ප‍්‍රවේශ විය හැකි තැනක් බවට පත් විය යුතු බව එයින් පසුව ප‍්‍රකාශයක් කළේය. හෙතෙම අභ්‍යවකාශ තරණය කළ හැකි යානා අයත් පළමු පුද්ගලික අංශයේ ව්‍යවසායකයාය. වර්ජින් ග්ලැක්ටික් සමාගම රොකට් බලයෙන් ක‍්‍රියාත්මක යානා නිපදවන ලද අතර ඒවා සාර්ථක ලෙස උඩුගුවනට යවා ආපසු ගෙන්වා ගෙන තිබේ. මුදල් පරිත්‍යාග කළ හැකි විශේෂ භාරයක් පිහිටුවන හෙතෙම එයට උපකාර කරන ඕනෑම අයෙකු අතරින් තොරාගන්නා වාසනාවන්තයන්ට වානිජ අභ්‍යවකාශ යානාවකින් සංචාරයක යෙදෙන අවස්ථාව දිනාගත හැකි බව ද නිවේදනය කරයි.

රිචඞ් බ්‍රෙන්සන් පසුගිය දා විශේෂ පුවත් පත් සාකච්ඡාවක් කළේය. සෑම අයෙකුටම තෙරක් නොපෙනෙන තැනක් දක්වා ගමන් කරන සිහිනයක් ඇති අතර අද එය සාක්ෂාත් කරගත හැකි බව කියා සිටියේය. අලූත් අභ්‍යවකාශය යුගයක් ආරම්භ වී ඇති අතර සිහින සෑබෑ වී ඇති බව ද අවධාරණය කළේය.

රිචඞ් බෙන්සන් හා ජෙෆ් බෙසෝස් යන ප‍්‍රකට ධනවතුන් දෙදෙනා අතර අභ්‍යවකාශය තරණය කරන තරගයක් තිබේ. ධනවතුන්ගේ තරගයක් වෙනුවට නවෝත්පාදකයන්ගේ අසමසම උත්සායක් සේ හැදින්වීම සුදුසුය. රිචඞ් බෙන්සන් විසින් වර්ජින් ග්ලැක්ටික් පිහිටුවන විට ජෙෆ් බිසෝස් බ්ලූ ඔරිජින් යනුවෙන් සමාගමක් ස්ථාපිත කර ඇත. පළමුවෙන් බිසෝස් ගේ යානයක් අභ්‍යවකාශයට යන සූදානමක් තිබුණ නමුත් පසුව එය කල් තැබීය. බෙන්සන් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් කැටුව ගමන පිටත්විය. එය සාර්ථක වූ අතර තවත් බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් මෙම සිද්ධි දාමය ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටී. ඔහුගේ එකම අභිලාශය ද නිදහසේ අභ්‍යවකාශයට සංචාරය කර ආපසු පැමිණීමය. ස්පේස් එක්ස් ඔහුගේ අභ්‍යවකාශ නියමු ව්‍යාපෘතියයි. මෙම සමාගම් වල මෙහෙයුම් ඔස්සේ අනාගතයේ දී අමුතුම සංචාරක ගමන් විශේෂයක් සැලසුම් වනු ඇත. මුදල් ගෙවා ආසන වෙන් කරගත හැකි වුවහොත් අභ්‍යවකාශ යානයකින් කරන ගමන අමුත්තක් වෙන්නේ නැත. 2004 කාලයේ දී පමණ මෙම අලූත් සංචාරක ව්‍යුහය ගැන කල්පනා කරමින් තිබුණි.

ලෝකයේ බලවත් රටවල් අභ්‍යවකාශ තරණය ආණ්ඩුවල අයිතියක් බවට නීතිගත කිරීම මෙහි ව්‍යාප්තියට බලපෑ අවහිරයකි. පසු කාලයක ඇමරිකාව පුද්ගලික අංශයට ද අභ්‍යවකාශ ගවේශනය සදහා ආයෝජනයට අවසර නිකුත් කළේය. තොරතුරු තාක්ෂණය ඇතුළු අලූත් ව්‍යාපාරවලින් මහත් ධනයක් උපයන ලද ව්‍යවසායකයෝ නව විභව සොයා වෙනස් අදහස් ඇතිව අලූත්ම සමාගම් පිහිටුවන ලදහ. ස්පේස් එක්ස්, බ්ලූ ඔරිජින් සහ වර්ජින් ග්ලැක්ටික් ඒ අතරින් කිහිපයක් පමණකි.

ජෙෆ් බෙසොස් ඇමේසන්, ප‍්‍රකට ඉ කොමස් ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. ජෙෆ් ඉගෙන ගන්නේ සාමාන්‍ය ආකාරයටය. ඔහු භෞතික විද්‍යාව හදාරයි. පසුව වෝල් ස්ටී‍්‍රට් සමාගමට බැදෙන හෙතෙම පරිගණක වැඩසටහන් සම්පාදකවරයෙකු ලෙස සේවය අරඹයි. ඇමේසන් සමාගම ලියා පදිංචි කර අන්තර් ජාලය හරහා භාණ්ඩ විකුණන සමාගමක් අරඹන්නේ 1994 දීය. එය නොසිතූ විරු ලාභ උපයා දෙයි. මුලින් තමන්ගේ නිවසේ ගරාජයක පවත්වාගෙන ගිය එය 2000 වන විට මේ ලෝක අවධානය දිනාගත් මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සංකල්පය වෙනුවෙන් ස්පේස් එක්ස් සමාගම පිහිටුවන තරමට විශාල ධනස්කන්ධයක් උපයා ගනී. ඊලොන් මස්ක් ටෙස්ලා මෝටර් සමාගමේ ප‍්‍රධාන විධායක ධුරය හොබවයි. ඊලෝන් මස්ක් දකුණු අප‍්‍රිකාවේ උපත ලැබූ, අද වන විට නව සොයා ගැනීම් වෙනුවෙන් වෙහෙසෙන පර්යේෂකයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසු කැනඩාවට පැමිණි හෙතෙම එහි පුරවැසි බව ලබා පරිගණක මෘදුකාංග අංශයට යොමුවිය. සිය සහෝදරයා සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන හෙතෙම පසුව එය දියුණු කරගත් අතර එහි දෙවැනි පියවර බවට පත් කරගත්තේ පේ පැල් නමැති විද්‍යුත් මුදල් හුවමාරු ක‍්‍රමය හදුන්වා දීම බව සදහන් කළ යුතුය. ටෙස්ලා යනුවෙන් නම් කරන ලද විදුලිය බලයෙන් ධාවනය කරන මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමු කරන ලද අතර සූර්ය බලශක්තිය පමණක් භාවිතා කරන සෝලා සිටි සංකල්පය යෝජනා කරන්නේ එයින් ඉනික්බිතිවය. ශ‍්‍රීමත් රිචඞ් බෙන්සන් සමාගම් හාරසියයකට වඩා අයත් ප‍්‍රකට නවෝත්පාදකයෙකි. 1970 ගණන් වල සුළුවෙන් ගමන ආරම්භ කළ හෙතෙම ස්වකීය වර්ජිනියා සමූහ ව්‍යාපාරය විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ මෙහෙයවා තිබේ.

මෑතක් වන තුරු අභ්‍යවකාශ ගත කරන රොකට් නැවත ගෙන්වාගත නොහැකි වූ අතර වායු ගෝලයට ඇතුළු වන විට ගිණිගෙන දැවී ගියේය. ඉතිරි වෙන්නේ කොටස් කිහිපයක් පමණකි. එහෙයින් යානා නැවත නැවතත් භාවිතා කිරීම කළ නොහැකි වූ අතර එහෙයින්ම අභ්‍යවකාශ තරණය අතිශය වියදම් සහගත කාර්යයක්ව තිබුණි. පර්යේෂණ වල නිරත වූ සමාගම් ගණනාවක් දැන් එම අභියෝගය සාර්ථක ලෙස ජය ගෙන තිබේ. ධනවත් ව්‍යවසායකයෝ සිය වත්කම් අලූත් පැති වලට ආයෝජනය කරයි. අලූත් අදහස් නවතම ව්‍යවසායකත්ව බවට පත්කරන ලද ආකාරය අධ්‍යයනය කළ යුතුය. මිනිසුන් කිසිසේත් අපේක්ෂා නොකරන ලද කලාපයකට ජන ජීවිතය යොමු කරන සංකීර්ණ ආයෝජන වශයෙන් ඉතිහාසයට එකතු කරන්නට මෙම විශේෂිත පිරිස සමත්ව තිබේ.

අභ්‍යවකාශ කර්මාන්ත ආයෝජනය සහ එයින් ගොඩ නැගෙන අලූත් වෙළද පොල ගැන ජගත් ප‍්‍රජාව මහත් විශ්වාසයක් ඇතිව සිටී. එපමණක් නොව ලෝක ප‍්‍රජාව ද බලා සිටින්නේ මෙම ව්‍යවසායක ඉලක්ක සාක්ෂාත් කරගන්නා ආකාරය ගැනය. සමාගම් අතර අභ්‍යවකාශ තරණයේ අලූත් යුගයක් ඇති කරන තරගයක් පවතින අතර ඒ වෙනුවෙන් එකිනෙක ආයතනවල වැඩ කරන කාර්ය මණ්ඩලය ගැන පවා දැඩි සෝදිසියක් සහිතව රහස් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන බව පෙනේ. දශක කිහිපයකට කලින් ගුවන් යානයක් ගොඩබැසීම එම නගරය අවට සිටින ජනතාව විමතියෙන් අවධානය යොමු කරන සිද්ධියකි. තවත් දශක පහක් පමණ වන විට මේ යුගයේ ජීවත්වන අයගෙන් යම් කොටසකට සංචාරයක් සදහා උඩු ගුවනට ගොස් දින කිහිපයක් නතර වී ආපසු පැමිණෙන පසුබිමක් හැදෙන්නට බැරි නැත. ආණ්ඩු වලට පමණක් සීමාකර තිබූ කර්මාන්තයක් පුද්ගලික අංශයට පැවැරීමෙන් පසු දැවැන්ත පරිවර්තනයක් සිදුවී තිබේ.