» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/04/2021 - දේශය
සත්ත්ව ආහාර වශයෙන් මුහුදු පැලෑටි සපයා මීතේන් ප‍්‍රතිශතය අඩු කිරීම

සත්ත්ව පාලනය ආහාර වෙනුවෙන් කරගෙන යන විශාල ව්‍යාපාරයකි. කිරි ආහාර නිෂ්පාදනය මස් සඳහා වැඩිම අවධානයක් යොමු කෙරේ. ගවයන් ඇති කිරීම සත්ත්ව පාලනයේ සෑහෙන කොටසක් ආවරණය කරයි. කාලගුණ විපර්යාස ගැන අවධානය යොමු කරන විද්‍යාඥයෝ ඕසෝන ස්ථරයට හානි කරන එක හේතුවක් වශයෙන් හරිතාගාර සත්ත්ව පාලනය නම් කරති. එයින් ද බලවත් හානිය ගවයන් ඇති කිරීමේ දී සිදුවන බව පෙන්වා දෙති.

ලෝක ජනගහනය වැඩිවන අතර එයට සරිලන පරිදි ප්‍රෝටීන අවශ්‍යතා සම්පාදනය පහසු කාර්යයක් නොවේ. කිරි හා මස් නිෂ්පාදනය එයට එක විකල්පයකි. සංවිධානාත්මකව කරන පිරිවැය අඩු ගව පට්ටි පාලනයේ දී මහා පරිමානයෙන් පරිසර හානියක් සිදුවෙයි. ගවයන් නිකුත් කරන මීතේන් වායුව එයට හේතුවයි. ශාඛ භක්ෂක ගවයෝ සිය ආහාර ජීර්ණ ක‍්‍රියාවලියේ දී මයික්‍රොබැක්ටීරියා පැසවීමක නිතර වන අතර එම ශෛලීය වියෝජනයේ දී මීතේන් වායුව නිදහස් වෙයි. මීතෙන් වායුව පරිසරයේ පවතින කාලය අඩු නමුත් එය ආශ්වාස කිරීම නරක ප‍්‍රතිඵල ඇති කරයි. අනෙක වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ්, මීතේන් ඇතුළු විෂ වායු ප‍්‍රතිශතය වැඩිවන විට එය ඔසෝන පද්ධතියට බලපෑමක් බව දැක්වෙයි. ඕසෝන පද්ධතියට හානි කර තත්ත්වයක් ඇති කරයි.

ගවයන්ගේ ආහාර වලට මුහුදු පැලෑටි එකතු කිරීමෙන් ක‍්‍රමානුකූලව මයික්‍රොබැක්ටීරියා තත්ත්වය පාලනය කරගත හැකි බව පර්යේෂණ වල දී සනාථ වී තිබේ. තෝරා ගත් ගවයන් ප‍්‍රමාණයකට දෙන ආහාරයට මුහුදු පැලෑටි එකතු කර තිබේ. එයින් ලැබී ඇති ප‍්‍රතිඵලය ආස්වාදනීය එකකි. මීතේන් ජනනය අවම වී ඇත. ලෝකයේ මීතෙන් වායු නිෂ්පාදනයේ දී වැඩිම කොටසක් හරිතාගාර ආවරණ තුළ කරන ගවයන් ඇති කිිරීම ඔස්සේ සිදුවන බව දැක්වෙයි.

ලෝක ජනගහනයෙන් යම් ප‍්‍රතිශතයක් ඉහළ ආදායම් මට්ටමට එන විට මස් මාලූ පරිභෝජනය වැඩිවෙයි. එයට සරිලන සේ ආහාර පිණිස සතුන් ඇති කරන්නට අවශ්‍ය කරන ඉඩම්, ජලය හෝ සත්ව ආහාර ප‍්‍රමාණය සලකා බලන විට එය විශාල පරිසර ප‍්‍රශ්න ඇති කරන බව අනාවරණයවී තිබේ. විශාල සත්ත්ව ගොවිපොල පරිසරික සාධක වෙනස්කර පැවැත්මට තර්ජනය කරන බව ඔප්පු වී තිබේ. හරිතාගාර වායු විමෝචනය පරිසරයට කරන හානියෙන් සියයට දහ අටක ප‍්‍රතිශතයක් ගව ගාල් වලින් සිදුවන බව ගණන් බලා තිබේ. එයට ලෝකයේ පැවැත්මට ඉතාම අහිතකර තත්ත්වයකි. ස්වභාවික මස් හා මානව විද්‍යාගාරයක කෘතීම මස් නිපදවීමට පර්යේෂකයෝ සමත් වී ඇත. ඇමස්ටඩ‍්‍රෑම් හා ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අනුව සාමාන්‍ය සත්ව පාලනයෙන් පරිසරයට සිදුවන හානිය විශාල ප‍්‍රමාණයකින් වලකා ගන්නට කෘතීම නිෂ්පාදන උපකාරී වී තිබේ. කෘතීම මස් නිෂ්පාදන රසායනාගාරයක හරිතාගාර වායු විමෝචනය සියයට හතරකි. ජල සංරක්ෂණය සිතාගත නොහැකි තරම්ය. අනෙක් වැදගත් කාරණය ඉඩම් ප‍්‍රමාණයයි. පශූ සම්පත් හා සත්ව පාලන කටයුතු සඳහා දැනට භාවිතා වන ඉඩම් ප‍්‍රමාණයෙන් සියයට දෙකක් එම කාර්යය කෘත‍්‍රීමව නිපදවන්නට ප‍්‍රමාණවත් බව ගණන් බලා තිබේ. අනෙක සත්ව ආහාර සඳහා මුහුදු පැලෑටි සැපයීම තවත් පැත්තකින් වාසිදායකය. ගෝලීය උණුසුම ඉහළ යන ප‍්‍රතිශතය අවම කරගනු සඳහා වෑයම් කරන පර්යේෂකයෝ කෘතීම මස් නිෂ්පාදනයට අත ගසා ඇති අතර අනෙක් පැත්තෙන් සත්ත්ව ආහාර වෙනස් කර තිබේ.

සත්ත්ව පාලනයෙහි වැඩිම වශයෙන් නිරත කලාපය ලතින් ඇමරිකාවය. දකුණු ආසියාව, ඊසාන හා වයඹ ආසියානු කලාපයේ රටවල ද සත්ව පාලන කටයුතු සාපේක්ෂව ඉහළ මටට්මකය. මෙම රටවලට මීතේන් වායුව අවම මට්ටමකට කැඳවන වගකීමක් ඇත. පිලියමක් වශයෙන් සාගර ආශ‍්‍රිතව මුහුදු පැලෑටි වගා කළ හැකිය. ලෝකයේ මුහුදු පැලෑටි වර්ග තුනකි. රතු, දුඹුරු හා කොළ පැහැයෙන් යුක්තය. වාර්තා වලට අනුව ලෝකය පුරා වසරකට මුහුදු පැලෑටි මෙටි‍්‍රක් ටොන් මිලියන 25 ක් පමණ නිපදවයි. එයින් වැඩිම කොටසක් එනම් සියයට අසූවක් ආහාර වශයෙන් වෙන් කරගැනීමට මිනිස් ප‍්‍රජාව කටයුතු කරන බව දැක්වෙයි. තවත් කොටසක් එකිනෙකට වෙනස් නිෂ්පාදන වලට යෙදවෙයි.

චීනය මුහුදු පැලෑටි වගා කරන රටවල් අතර පෙරමුණ ගෙන තිබේ. එහෙත් ඒවා ජනතාවගේ ආහාර පිණිසය. ඉන්දුනීසියාව ඒවා වැඩිම නිෂ්පාදනයෙහි ලා ලෝකයේ රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ. මෙම මුහුදු පැලෑටි භාවිතා කර අතිරේක නිපැයුමක් වශයෙන් ජෛව ප්ලාස්ට්ක් නිෂ්පාදනය අරඹා ඇත. තිරිඟු, උක් දඩු සහ මයියොක්කා භාවිතා කර දැනට ජෛව ඇසුරුම් නිපදවන අතර ආහාරයට ගත හැකි ද්‍රව්‍ය යෙදවීම මිල අධික හා ලෝක ආහාර හිඟයට ගැටළුවකි. ජෛව ප්ලාස්ටික් එයට කදිම උත්තරයකි.

ඉන්දුනිසියාව දූපත් දහ හත් දහසකින් සමන්විත අතර අති විශාල වෙරල තීරයක් හිමිය. හොඳින් හිරු රැස් වැටෙන නොගැඹුරු මුහුදේ වගාකරන මුහුදු පැලෑටි නිෂ්පාදනය එරට කාන්තාවන් අතර ප‍්‍රචලිත වී ඇත. මුහුදු පැලෑටි නිෂ්පාදන දෙගුණ තෙගුණ කරන අතරවාරයේ ඒවායෙන් රටට අවශ්‍ය ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීම එරට අදහස වී ඇත. එම අතරවාරයේ දී සත්ත්ව පාලනයේ දී යොදවා ගත හැකිවීම තවත් වාසියකි. මුහුදු පැලෑටි වගා කරන රටවලට එම අදහස අලූත්ය.

මනුෂ්‍ය ආහාරයක් වශයෙන් වෙන් කරගන්නා අතර ගවයන් ගේ ආහාරවලට එකතු කර මීතේන් අඩු සත්ව පාලනයක් කරා අවතීර්ණ වී සිටී. ලෝකයේ පාරිසරික සංරක්ෂණ අදහස් හා ආහාර නිපදවීම ගැන කල්පනා කරන විට මුහුදු පැලෑටි වලට ලැබෙන ඉල්ලූම වේගයෙන් ඉහළ යන්නට ඉඩ තිබේ. මීතේන් වලකන පියවරක් වශයෙන් තවත් වටිනාකමක් එකතු වන හෙයින් පරිසරයට ද හිතකරය.