» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/11/2019 - දේශය
එසැනින් මතුවෙන ආර්ථීක අවස්ථා

එසැනින් මතුවෙන ආර්ථීක අවස්ථා ගැන ලෝකය පුරා අලූත් උනන්දුවක් තිබේ. එය තාක්ෂණික යුගයේ නිර්මාණය වූ ධනය උපයා ගැනීමේ නවතම ප්‍රවනතාවයකි. ගිග් ඉකොනොමි Gig economy යනුවෙන් හැදින්වෙයි. ලෝකයේ නොදන්නා කෙළවක සිට පවරන කාර්යයක් තවත් කෙළවරක සිටින වෘත්තිකයෙකු අතින් ඉශ්ඨ වන අතර එයට ගෙවීමක් තිබේ. වාර්තා කරන අන්දම අනුව මෙම කාර්ය අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කරන්නේ ‘සුදු කරපටි’ නිලධාරීන්ය. සේවය සම්පාදනය කරන්නේ දෛනික කොන්ත්‍රාත් ක්‍රමයට නොඑසේනම් ‘කෑලි ගණනට’ වැඩ කරන පිරිසකි.

කාර්ය පවරන පුද්ගලයා රාජකාරිය අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කළ වහා ගිග් ආර්ථීකයේ නිරත දස ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් අයෙකු වහා ඉදිරිපත් වී කාර්යය භාර ගනී. වෙන්දේසියක් ආකාරයෙන් සිදුවෙයි. මිලක් නියම වන අතර සමහර අවස්ථාවල අඩු ගෙවීමක් ඉල්ලන පුද්ගලයා අතට ලැබේ. මෙවැනි සේවාවන් හි නිරත එයින් ආදායමක් උපයා ගෙන යැපෙන පුද්ගලයෝ කොතැනකින් හෝ දෙයක් මතුවෙන තෙක් පරිගණක තිරය දෙස නෙත් අයා ගෙන බලා සිටිති. ඉවසිල්ලෙන් කළ යුතු රාජකාරියක් ලෙස නිරීක්ෂණය වී තිබේ.

ගිග් ආර්ථීකය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙනේ. දැනට කරන ගණන් බැලීම අනුව මෙම වසරේ ලෝකය පුරා ක්‍රියාත්මක වන සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පනහක් විය හැකි බව දැක්වෙයි. අති විශාල සේවා ප්‍රමාණයක් ලෝකය පුරා සේවා කණ්ඩායම් අතට පත්වන අතර ඒවා දෛනිකව සේවා සපයන කණ්ඩායම් වල ප්‍රධාන ආදායම් මාර්ගයවීම විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

එක පැත්තකින් දුප්පත් රටවල තොරතුරු තාක්ෂණ අවබෝධය ඇති කණ්ඩායමක් මෙකී ගිග් ඉකොනොමි ක්ෂේත්‍රයට සම්බන්ධ වී තිබේ. හො`දම උදාහරණය කෙන්යාවයි. කෙන්යාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිස් වැඩිම ප්‍රමාණයක් ජීවත්වන මුඩුක්කු ප්‍රදේශයේ තරුණන් දිනකට ඩොලර් කිහිපයක් ලැඛෙන කුලී වැඩ උපයා ගැනීම සදහා වීදි පුරා ඇවිදිමින් සිටිති. එයින් ගැලවුණ අලූත් තරුණ කණ්ඩායමක් ගිග් ආර්ථීකය හා සම්බන්ධ වී ඇති අතර ඔවුහු සතියකට කැලී වැඩ දහයක් දොලහක් ලබා ගැනීමට සමත්ව තිබේ. දත්ත ඇතුලත් කිරීමේ සිට සාමාන්‍ය තොරතුරු විශ්ලේෂණය දක්වා නොයෙක් දේ මෙම ඇනවුම් වලට ලැබී ඇත. එම රාජකාරි වල අඛණ්ඩව නිරතවීම කෙන්යාවේ තරුණන් අතර ජනප්‍රිය වී තිබේ. ස්ථීර රැකියාවක් යන අදහස වෙනස් වී ඇති අතර නොදන්නා තැනකට කරන රාජකාරිය වෙනුවෙන් ගිණුමට ලැඛෙන මුදල් තෘප්තිමත් ජීවිත නිර්මාණය කර ඇත.

ගිග් ඉකොනොමි සංකල්පයේ අනෙක් පැත්ත දියුණු සමාජය දක්වා එය ව්‍යාප්තවීමයි. පසුගිය වසරේ හාවඩ් විශ්ව විද්‍යාලය ඉදිරිපත් කළ පත්‍රිකාවකට අනුව උතුරු ඇමෙරිකා සහ බටහිර යුරෝපා රටවල පිලිගත් ස්ථීර රැකියාවල නිරතව සිටි මිලියන 150 ක පමණ පිරිසක් එයින් ඉවත් වී ඇති බව අනාවරණය කර ගෙන තිබේ. දිනපතා ආදායමක් උපයා ගත හැකි ගිග් ඉකොනොමි රාජකාරි වලට වැඩි මනාපයක් ඇති බව එයින් පෙන්වා දී ඇත. ගිග් සේවා වල නිරත හැට පස්දෙනෙකු සමග සාකච්ඡාවකින් ගැඹුරු අධ්‍යයනයක් ද කර තිබේ. සම්ප්‍රදායික රස්සාවට වඩා සමාජ ආර්ථීක භාවිතාවක් සහිත බව එම පිරිස එක හෙලා පෙන්වා ඇති කරුණකි. වෘත්තීය නිදහස ගැන ඛෙහෙවින් පැහැදී ඇති අතර ගිග් සේවා වලින් ලැඛෙන ඉහළ ආදායමට වඩා සතුටක් දැනෙන කාරණයක් බව වාර්තා කර ඇත. අනපේක්ෂිත අවස්ථාවල ලැඛෙන වැඩ ගැන සහ සමහර ගෙවීම් ප්‍රමාණාත්මකව අඩු බව කණස්සල්ල ඇති කරන නමුත් නිතිපතා සේවය සදහා ඇති ධෛර්යය හා පිලිගත් සමාගමක හෝ දෙපාර්තමේන්තුවක වැඩ කිරීමේ දී ලැඛෙන මාසික වේතනයට වඩා වැඩි යමක් මහන්සි වී උපයා ගත හැකි වීම ජයග්‍රහණයක් බව පෙන්වා දී තිබේ. අනාගත ලෝකයේ රැකියා වෙළද පොල බිහිවන ආකාරය මෙයින් සංකේතවත් කෙරේ. ස්ථීර ආදායම් මාර්ගයක් ලැඛෙන, දිනපතා කාර්යාලයට යන සුරක්ෂිත වෘත්තිය සංකල්පය යම් ප්‍රමාණයකට අහෝසි වනු ඇත.

ගිග් ඉකොනොමි කොටස්කරුවෝ වශයෙන් වැඩ කරන පිරිස තුළ ලිබරල් අදහස් තිබේ. සම්ප්‍රදායික කම්කරු අයිතිවාසිකම් හා ස්වාමි, සේවක අරගල නැත. සේවය දෙන කොටස හා සේවය ලබා ගන්නා පිරිස අතර ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ගැන සතුටක් පවතින බව නිරීක්ෂණය කළ හැකි කරුණකි. නියමිත වේලාවට කාර්යාලයට පැමිණ නිසි විනයකට අනුව නියමිත තැනක සිට කාර්යයක් කරනු වෙනුවට කොතැනක හෝ ඉඩක් ඇති තැනක සිට රාජකාරිය අහවර කර එයට ගෙවීමක් ලබා ගැනීම වාසි දායක වී තිබේ.

ගිග් ඉකොනොමි සංකල්පයට අවනත වන උසස් අධ්‍යාපනය ලැබූ පිරිසක් නිර්මාණය කිරීම අනාගත අභියෝගය බව විශේෂඥයෝ දක්වති. විශ්ව විද්‍යාල පද්ධතිය එයට අනුගත විය යුතු බව පෙන්වා දී තිබේ. ඇමරිකානු විශ්ව විද්‍යාල වලින් උපාධි ලබන තරුණන් අතරින් සියයට 30-40 පමණ පිරිසක් මෙම ගිග් ඉකොනොමි ක්‍රමයට නැඹුරුවන බව දැක්වෙයි. උපදේශකයන්, කොන්ත්‍රාත් ක්‍රමයට සේවය කරන්නන් සහ අතරමැදි රැකියා කරන්නන් වශයෙනි. ගූගල් සමාගමේ සේවය කරන ස්ථීර සේවක පිරිස හා සලකන විට එය මෙන් කිහිප ගුණයක් ස්වාධීන හා තාවකාලික සේවකයන් වශයෙන් ලෝකය පුරා සෑම රටකින්ම පාහේ බදවාගෙන තිබේ. දිනපතා ගූගල් සමාගමට ලැඛෙන තොරතුරු සම්පිණ්ඩනය කර යාවත්කාලීන කිරීම විශාල ව්‍යාපාරයක් වී ඇත. එක තැනෙක එක පාලකයෙකුගේ නියමයෙන් නිදහසේ සේවය කිරීම ගූගල් වැනි සමාගම් වල සාර්ථකත්වයට බලපා ඇති බව ද ප්‍රකාශ වෙයි.

අධ්‍යාපනය පමණක් නොව තාක්ෂණය ද ගිග් ඉකොනොමි වෙනුවෙන් වේගයෙන් අනුවර්තනය වෙමින් තිබේ. ප්‍රකට ඌබර් සමාගම ගිග් ආර්ථීකයෙහි සේවා සම්පාදකයන් වෙනුවෙන් ඇප් එකක් නිර්මාණය කර ඇත. එය තවත් පියවරකි. නුදුරු කාලය තුළ ආයතනයකට ස්ථීර සේවයට බදවා ගැනීමට වෘත්තිකයෝ නැතිවනතරමට ස්වභාවය වෙනස් වෙන්නට බැරි නැත.