» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/03/2019 - දේශය
මස් නැති මස් බර්ගර් - ඊ.සී.ජී ඔරලෝසු

ඇමරිකානු ව්‍යවසායකයෙකු හා තාක්ෂණය ගැන විශාල අවධානයක් සහිත දර්ශනවාදියෙකු සේ සැලකෙන බිල් ගේට්ස් ලෝකයේ අලූත්විය හැකි අංශ ගැන වැදගත් තොරතුරු දහයක් අනාවරණය කර තිබේ. මෙම වසර තුළ ඒවා හැබෑ ජීවිතයේ දී අත්දැකීම් වලට එකතුවනු ඇති අතර යතාර්ථයක් වනු ඇත. සුප‍්‍රකට ප‍්‍රකෝටිපති බිල් ගේට්ස් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය ධනය පරිත්‍යාග කරයි. මැලේරියාව තුරන් කිරීම හා ඒඞ්ස් රෝගය පාලනය කිරීම සඳහා විශාල මෙහෙවරක නිරත විය.

2019 වසරේ දී වාර්තා බිඳ හෙළමින් ජාත්‍යන්තරය කළඹන්නට සමත්වන අලූත් විද්‍යා හා තාක්ෂණ සොයා ගැනීම් ගණනාවක් ගැන ගේට්ස් අනාවරණය කරන සිය තාක්ෂණික විවරණිකාවේ පළමුවැන්න තාක්ෂණික අතින් උසස් රොබෝවරු ගැනය. ඇඟිලි හසුරුවන්නට හැකි, යම් ප‍්‍රමාණයකට ස්වයං තීරණ ගත හැකි හා කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන රොබෝවරු මෙම අවුරුද්දේ දී කර්මාන්තශාලා වල භාවිතාවට ගැනෙණු ඇත. අනෙක දැනට අනතුරුදායක බව හිතන පරමාණු බලයෙන් විදුලිය නිපදවීමය. එය අලූත් රැල්ලක් වශයෙන් ලොව පුරා පැතිරෙනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි. එයට අනුව ලෝකයේ විදුලිය බලය නිපදවීම සම්බන්ධව පැවැති යම් ගැටළු නිරාකරණය කෙරේ. දරුවෙකු මවකගේ ගැබ තුළ හැදී වැඩෙන අවස්ථාවේ දී ම දරුවාගේ කායික මානසික වර්ධනය ගැන සොයා බලන තාක්ෂණය දියුණුවීම ද මෙම වසරේ දී සාර්ථක වනු ඇත. එමගින් ඉතා නිරෝගී, අබල දුබලතා නැති පරිපූර්ණ දරුවන් ලෝකයට දායාද වනු ඇතැයි සැලකේ. කුස තුළින් යැවිය හැකි බෙහෙත් කරලක් වැනි කැමරාවක් භාවිතාවට එනු ඇත. කුස තුළ හෝ බඩවැල් ආශි‍්‍රත රෝග තත්ත්ව ඉතා පැහැදිලිව දැක ගැනීමට වෛද්‍යවරු මෙම කැමරාව රෝගියාට ගිලින්නට සැලැස්වීමෙන් සමත්වනු ඇතැයි ප‍්‍රත්‍යක්ෂ වී තිබේ.

පිළිකාව මර්දනය කළ යුතුම එකකි. පිළිකාවේ පැතිරීම හා එයින් සිදුවන ජීවිත හානි දෙස අවධානය යොමු කර ඇති ජාත්‍යන්තර පර්යේෂණ ආයතන, එය ඇති වෙන්නට කලින් වලක්වා ගන්නේ කෙසේදැයි සොයා බැලීම ආරම්භ කර තිබේ. බිල් ගේට්ස් එකී පර්යේෂණ වෙනුවෙන් කතා කර තිබේ. සාමාන්‍ය එන්නතක් ලෙස ශරීරයට ලබාගත් පසු පිළිකා වෛරස සෛල ඇතිවිය හැකි අවදානම විනාශ කරන එන්නතක් වනු ඇති අතර එය 2019 වසරේ දී භාවිතා වනු ඇති බව සඳහන් කරන විට බලවත් අස්වැසිල්ලක් බව නොඅනුමානය.

හැබෑ ගවයන්ගේ මස් රහිතව කෘතිමව නිපදවන ලද හරක් මස් බර්ගර් අලෙවි කරන දිනය ද වැඩි ඈතක නොවේ. සත්ව පාලනයේ දී පරිසරයට වන බලපෑම හා වායුගෝල උණුසුම ඉහළ නැගීම ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ. සත්ව පාලනයට සැපයිය යුතු ආහාර හා ජලය ප‍්‍රමාණය සලකන විට මස් වෙනුවෙන් ගවයන් ඇති කිරීම අසාර්ථක ව්‍යාපාරයකි. කෘතිමව ගව මස් නිපදවන පර්යේෂණය එයට උත්තරයක් වී තිබේ. වසර 2050 වන විට වැඩි වන ලෝක ජනගහනයේ ආහාර හිගයට ද එය විසදුමක් වනු ඇත. වායු ගෝලය උණුසුම පමණක් නොව මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය සීමා වීම අති විශාල ගැටළුවකි. වන විනාශය නිසා ස්වභාවික පරිසරයෙන් සිදුවන කාර්යය සීමා වී තිබේ. පර්යේෂකයෝ කාබන්ඩයොක්සයිඞ් උරා ගන්නා කෘතීම උපකරණ හදන්නට සමත්ය. ඒවා ලෝකයේ ප‍්‍රධාන නගර වල අපිරිසිදු වාතය පිරිසිදු කරන දිනය මෙම වසර අවසන්වීමට කලින් දැකගත හැකිවන දෙයකි. අතේ බැඳගෙන යන ඔරලෝසුව අද පලක් නැති මෙවලමකි. වෙලාව දැනගන්නට ජංගම දුරකතනය තිබේ. මෙම අවුරුද්ද තුළ අතේ බැඳ ගෙන යන මෙවලම තමන්ගේ ඊ.සී.ජී. නිතර පරීක්ෂාවට ලක්වනු ඇත. ඒවා වෛදවරු වෙත නිරායාසයෙන්ම යොමුවන අතර සෞඛ්‍ය දියුණුවට බෙහෙවින් අදාල කාරණයකි.

වැසිකිලි සම්බන්ධයෙන් ද අලූත් පර්යේෂණ සිදුවෙයි. ලෝකයේ සෑහෙන පුරවැසියන් ප‍්‍රමාණයක් මූළික වැසිකිලි පහසුකම් රහිතව සිටින වකවානුවක මළ අපද්‍රව්‍ය බැහැර කරන ඒවා එකතුකර වියෝජනය කරන හා බලශක්තිය වෙනුවෙන් භාවිතාකරන පර්යේෂණ නතර නැත. අඩු ජල පරිහරණයක් සහිතව මිනිස් මළපහ පිරිසිදු කිරීම අලූත් භාවිතාවක් වශයෙන් මෙම වසරේ දී හදුන්වා දෙන බව ද බිල් ගේට්ස් ඔහුගේ අනාවරණ අනුව පෙන්වා දී ඇත. පර්යේෂණ අනුව ලෝකයේ මිනිසුන් මිලියන 844 ක් පිරිසිදු පානීය ජලය නැත. එය බලවත් ප‍්‍රශ්නයකි. පිරිසිදු ජලය සම්පාදනය කරන අතර ජල මුද්‍රිත වැසිකිලි සඳහා ද ජලය සැපයීම වෙනුවට වෙනත් විකල්ප ලෝකය භාවිතා කරන්නට ඉඩ තිබේ. බිල් ගේට්ස් ගේ දර්ශනය අනුව මෙම කරුණු වලට අමතරව ලෝකය දැන් හිතන තරමට වඩා මෘදු තැනක් හා හොඳ භාවිතාවන් සහිත පරිසරයකට හැරවෙනු ඇත. ඒවා විශාල බලාපොරොත්තු වශයෙන් දැක්විය හැකිය.

මෙකී තාක්ෂණ කරුණ එකින් එක ගෙන විමසා බැලීමේ වගකීමක් අප සියළු දෙනාටම තිබේ. දියුණු සමාජ 2019 වසර තුළ හැබෑ කරගන්නා මෙම හීන වලින් ලාංකේය ජන සමාජයට අත් විඳීය හැකි කොටස කොපමණද? ඉහළ ධනවත් සමාජය ලෝකයේ දියුණු තැන් වල දී මෙම පහසුකම් අත් විඳිනු ඇත. එය වෙනස් කරන්නට අවශ්‍යය. යහපත් සෞඛ්‍ය, නිෂ්පාදනයේ නව කලමණාකරනය, අලූත් හුස්මක් ගැනීමේ අයිතිය මෙරට පොදු ජනතාවට තිබිය යුතුය. ප‍්‍රධාන ධාරවේ දී මෙම වැදගත් කරුණු ගැන සාකච්ඡා කරන්නේ නැත. එය දුබලතාවයකි. ඉදිරියට යන ගමන අතරතුර ලෝකයේ සිදුවන වෙනස්කම් වලින් ශ‍්‍රී ලංකාවට අත් පත් කරගත හැකි අවස්ථා ගැන පුලූල් සංවාදයක් අවශ්‍යය.