» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/02/2019 - දේශය
ඉබ්බන්ගෙන් හා කැරපොත්තන්ගෙන් ඉගෙනගැනීම

අප‍්‍රිකානු ඉබ්බන් විශේෂයක හැසිරීම ඇමරිකානු රසායනාගාර විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. එයින් ආදර්ශයක් ගෙන අලූත් එන්නතක් නිපදවන්නට සමත්ව ඇති බව අනාවරණය වෙයි. ඉබ්බා උඩ පැත්තට පෙරලා තැබූ විට ඉක්මනින්, කෙසේ හෝ නිවැරදි පැත්තට හැරේ. එය උත්සාහයකින් පසු කෙරෙන කාර්යයකි. පූසන්ගේ හැසිරීම ද මෙයට සමාන්තරය. නිරීක්ෂණය කර ඇති බව සැකයක් නැත. ඉහළ සිට වැටෙන පූසෙකු අන්තිමේ දී පොලවට පතිත වෙන්නේ කකුල් හතරම පොලවට ස්පර්ෂ වන පරිදිය.

ඉබ්බා ගේ ආදර්ශය අනුව අවධානය යොමු කළ ඇමරිකානු පර්යේෂකයෝ කළේ අලූත් අත්හදා බැලීමකි. අත්හදා බැලීම අවසානයේ බෙහෙත් කරලක් නිපදවීය. නමුත් එය ගිලින එන්නතකි. රෝගියා සාමාන්‍ය තරමේ බෙහෙත් කරලක් ගිලින අතර එය සාමාන්‍ය බෙහෙත් කරලක් නොවේ. ගලනාලය හරහා ආමාශයට ගමන් කරන බෙහෙත් කරල රුධිර නාලයක් අසල දී එන්නතක් බවට හැරේ. එහි ඇති සියුම් තුඩක් නිසි තැන සොයා ගෙන රුධිර නාලය සිදුරු කර කරලේ ඇති බෙහෙත් ප‍්‍රමාණය රෝගියා ගේ සිරුරට ඇතුළු කරන්නට සමත් වෙයි. එය වෛද්‍ය විද්‍යාවේ අලූත් සොයා ගැනීමකි. ක්ෂණයකින් ඖෂධ සාන්ද්‍රණය රුධිරයට එන්නත් කෙරේ. එය සාමාන්‍ය එන්නතක ක‍්‍රියාකාරීත්වය අභිබවා යන තත්ත්වයකි. රෝගී අවස්ථාවක දිගින් දිගටම එන්නත් ගැනීමට මැලිකමක් දක්වන රෝගීන්ට මෙම අලූත් එන්නත අස්වැසිල්ලක් වනු ඇතැයි සැලකේ.

දිනපතා, දවසට කිහිප වතාවක් එන්නත් ගත යුතු ජන කොටසක් ලෝකයේ සිටී. උග‍්‍ර දියවැඩියා රෝගය වැළදුන ජන කොටස ඒ අතර ප‍්‍රධානය. බෙහෙත් පෙති වලින් රුධිරයේ ඉන්සියුලින් පාලනය කළ කොහැකි අවස්ථාවක එන්නත් ගැනීම හැර අන් විකල්පයක් නැත. දිනපතාම පාහේ තම සිරුර විද ගෙන තමන්ටම එන්නතකින් බෙහෙත් ඇතුළු කරගැනීම මානසික වශයෙන් දරාගත නොහැකි ස්වභාවයක් බව පර්යේෂණ වාර්තා දක්වයි. එවැනි රෝගීන් ගේ අස්වැසිල්ලට මෙම නව එන්නත හේතු වනු ඇත.

ජාත්‍යන්තර සෞඛ්‍ය වාර්තා අනුව ලෝකය පුරා දියවැඩියා රෝගීහු මිලියන 422 ක් සිටිති. මෙයින් කොටසක් මූලික අවධියේ පසුවන අතර තවත් කොටසක් මුල් අවධිය පසුකර උග‍්‍ර දියවැඩියා ගණයට භාජනය වී සිටිති. ආහාර රටා වල දුබලතා සහ දෛනික පැවැත්ම අතර ඇති ගැටළු දියවැඩියා තත්ත්වය බරපතල ගැටළුවක් බවට හරවා තිබේ. දියුණු වන සමාජ වල ජීවත්වන්නන් දියවැඩියාවට බහුලව ලක් වන බවට මතයක් ඇත. කාර්ය බහුලබව, අධික ආතතිය හා ව්‍යායාම වලින් තොර බව ඇතුළු කාරණා දියවැඩියාව වැළඳීමට බලපාන කරුණු අතර වන බව දැක්වෙයි. ඒවා වලක්වා ගැනීමට නොයෙක් ආකාරයෙන් දැනුම්වත් කරන නමුත් ප‍්‍රථිඵල අත්වී නැත. 1980 සිට 2011 දක්වා කාලය තුළ දියවැඩියා රෝගීන් වාර්තාවීම සියයට 8.5 ක වර්ධනයක් බව ප‍්‍රකාශ වෙයි. මෙවැනි පසුබිමක් මත අලූත් එන්නත් කරල් විශේෂයට ඉතාම හොඳ වෙළඳ පොලක් බිහිවනු ඇත. රෝගීන් අතර බහුලව භාවිතා විය හැකිය. සාමාන්‍ය එන්නත් ගැනීමට මැලිකමක් දක්වන අයවලූන්ට මෙම ඉබ්බාගේ පර්යේෂණයෙන් නිපදවන කරල් එන්නත ගිලින්නට කැමැති වනු ඇත.

ඉබ්බා ගේ පැත්ත පෙරැළිමේ හැකියාව අනුව කරල් එන්නතක් හැදූ පර්යේෂණය හැර කැරපොත්තාගේ ගමන අනුව ප‍්‍රවාහනයේ නව මං පෙත් සොයා යන අත්හදා බැලීමේ අවස්ථාවක් ද අනාවරණය වෙයි. ජර්මනියේ විශ්ව විද්‍යාලයක් කරන ලද පර්යේෂණයක් අනුව කැරපොත්තාගේ පාද චලනය ඉතාම වේගවත්ය. රෝදය සොයා ගැනීමෙන් මිනිසා ගේ ජීවිතය විශාල විප්ලවයක් කළේය. ප‍්‍රවාහනය දියුණු විය. රෝදය රවුම් කිරීමෙන් වේගයෙන් පෙරැලී යනු ඇති අතර එය ගමන ඉක්මන් කිරීමට හේතුවක් යැයි තවමත් විශ්වාස කෙරේ. නමුත් ඇත්ත එය නොවේ. රවුම් රෝදයට වඩා කැරපොත්තාගේ කකුල් ස්වභාවය වේගවත්ය.

අලූත් සොයා ගැනීම අනුව කැරපොත්තාගේ පාද ආකාරයට සැකිල්ලක් තැනුවහොත් රවුම් රෝදය අභිබවා යන වේගයක් ලබා ගත හැකිය. රෝදයෙන් සිදුකරන ලද ප‍්‍රවාහනයේ පරිවර්තනය අනාගතයේ දී කකුල් සවි කරන ලද වාහන වලින් සිදුවන්නට බැරි නැත. විශේෂයෙන් අඩු බලශක්ති පිරිවැයකින් සෑහෙන දුරක් ගමන් කරන්නට හැකි රොබෝවරු නිපදවීමේ දී රෝදය වෙනුවට කැරපොත්තාගේ කකුල් භාවිතා කරනු ඇත. දැනටමත් සටන් බිමට යන සෙබලූන්ගේ ගමන් මළු කැටුව යනු සඳහා නිර්මාණය කරන කුඩා රොබෝ යන්ත‍්‍රවලට කැරපොත්තාගේ ආකාරයේ පාද සවිකර තිබේ. සටන් බිමට යන හවුල්කාර සෙබලෙකුගේ අවශ්‍යතාවය මෙමගින් තුරන් කරයි. දුෂ්කර තැන් වල නොවැටී, ඕනෑම තැනක් තරණය කර වේගයෙන් ගමන් කරන්නට කරුපොත්තාගේ ගමන ආදර්ශයට ගෙන ඇත. නුදුරු අනාගතයේ දී රෝදය භාවිතා කිරීම සීමාවිය හැකි අතර වඩා වේගයෙන් යන වාහන වලට කැරපොත්තාගේ ස්වභාවයේ දිග වේගවත් කකුල් සවි කරන්නට ඉඩ තිබේ.

ජීවයේ පැවැත්මට කරන පර්යේෂණ වල අවසානයක් නැත. දිනපතා ලෝකයේ කොතැනක හෝ අලූත් යමක් සොයා ගැනෙති. මනුෂ්‍ය සංහතිකයේ අලූත් ගමනක් වෙනුවෙන් යම් යම් මෙවලම් ගැනන පරීක්ෂණ කරති. මේවායෙන් ලැබෙන නවප‍්‍රවනතා අභිවෘද්ධියට හේතු වෙයි. පරිනාමයේ දී ලෝකයේ සත්ව හා ශාඛ පද්ධති වලින් උකහා ගන්නා දැනුම අලූතින් අත්හදා බැලීම ප‍්‍රයෝජනවත් වී ඇති බව පෙනේ.