» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/01/2021 - දේශය
නිල කාලයට පසු ගෙදර යවන දිනය ඉක්මන් වෙයි

අප සියළු දෙනාටම වගකීම් පවරන නිල කාල පරාසයක් තිබේ. වැඩ කළ හැකි කාල සීමාවක් නිශ්චිතය. රැකියාවකට බෙදන විට විශ‍්‍රාම ගත යුතු නියමිත දිනය නියම කර ඇත. කාන්තා හා පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවෙන් වයස් සීමා වෙනස්ය. ඇතැම් රටවල් විශ‍්‍රාම ගත යුතු දිනය අවස්ථාවෝචිතව වෙනස් කරන බව වාර්තා වෙයි. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකාය තුළ තරුණ පිරිස ප‍්‍රතිශතයත් සේ ක‍්‍රමානුකූලව පහත වැටී ඇති බව පර්යේෂණ අනාවරණය කරයි. වයස් ගත පිරිස වැඩි වෙමින් තිබේ. එය නිෂ්පාදන කටයුතු වලට බාධාවකි. විශ‍්‍රාම යන වයස මෑතක දී වෙනස් කරන්නට මෙම තොරතුරු පදනම් කරගත් බව නිසැකය. විද්‍යාඥයෝ ලෝකයේ භ‍්‍රමණය වන වේගය වෙනස් වී ඇති බව සොයාගෙන තිබේ. දවස ගෙවී යන කාලය වැඩි වී ඇත. එහි ප‍්‍රතිඵලය ගැන කල්පනා කිරීම උචිත බව සදහන් කළ යුතුය.

තාරකා විද්‍යාඥයෝ සදහන් කරන අන්දමට මෙම වසර තුළ ලෝකයේ කරකැවෙන සාමාන්‍ය වේගය මයික්‍රෝ තත්පර දශම බිංදුවයි පහකින් (0.05) වැඩි වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් අනුව වසර 2021 සාමාන්‍යයෙන් වසරකට ඇති තත්ත්පර ගණනකට වඩා අඩු ගණනකින් ගෙවී යයි. හිරු උදා වී දවස ගෙවෙන කාලය ඉක්මන් වන විට අපට පැවැරී ඇති වගකීම් ඉටුකරන්නට කාලය සීමා වෙයි. මෙම සියවසේ කාලය අඩුම වසර වශයෙන් මෙම අවුරුද්ද ඉතිහාසයට එක් වනු ඇති බව කාල ගණනය කරන විද්‍යාඥයන්ගේ තීරණය වී තිබේ. ඉතිහාසයේ කාල හෝරාව ගණනය කර ඇති අතර එහි සංසන්දනය අනුව මෙවැනි අඩුවීමක් වාර්තා කරන්නේ 1937 වර්ෂයට පසුව බව දැක්වෙන අතර එය විශේෂත්වයකි.

කෙසේ වෙතත් වේගය වැඩිවීම පදනම් කරගෙන මිහිතලයේ පැවැත්මට බරපතල තර්ජනයක් නැත. විශාල අවාසියක් සිදු නොවන බව තහවුරු කර තිබේ. කෙසේ වෙතත් තව දුරටත් කාලවේලාවන් වෙනස් වුවහොත් දින දර්ශනය නියම ප‍්‍රමිතියකට පවත්වාගැනීම සම්බන්ධයෙන් වෙනස්කම් කරන්නට පියවර ගැනීමට සිදුවිය හැකිය. ගණන් බැලීම අනුව ජූලි 19 වැනිදා කෙටි දවසක් සේ සැලකේ. තත්පර දශම ගණනකින් අඩු දවසක් ගත කරන්නට ලෝක වාසීන්ට සිදුවීම අමුතු එහෙත් දැනෙන්නේ නැති තීරණයක් විය හැකිය. මෙම කාල රාමුව දිගටම පැවැතියහොත් ලෝකයේ ඔරලෝසු නැවත වතාවක් ආපසු කරකැවීමට සිදුවෙයි. එය එසේ වනු ඇතැයි තවමත් තීරණය කර නැත. නමුත් ලෝකයේ භ‍්‍රමණ වේගය සමග ගෝලීය උණුසුම වැඩිවීමට බලපානු ඇති බව දැක්වෙයි. පරිසර විනාශය ඇතුළු සාධක පදනම් කරගෙන සෑම වසරක් පාසා උණුසුම ඉහළ නැගෙන අතර එය ද්‍රැව ප‍්‍රදේශවල අයිසි දියැවී මුහුදු මටට්ම ඉහළ නගින අනතුරකි. සෑහෙන ගොඩබිම් ප‍්‍රමාණයක් අහිමිවනු ඇති බවට අනතුරු අගවා තිබේ. පැරිස් සම්මුතිය අනුව උණුසුම වැඩි කරනහේතු පාලනය කිරීමට ලෝකයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක් එකග වී ඇත. මීතේන් වායුව උත්පාදනය කරන්නට බලපාන මනුෂ්‍ය සාධක පාලනය එයින් ප‍්‍රධාන කාරණයකි.

කාලය සීමාවන බව තේරුම් ගැනීම එදිනෙදා පැවැත්මට බලපාන කරුණකි. අප සියළු දෙනා දෛනික කාලය ප‍්‍රමාණවත් නැති තරමට කාර්ය බහුල ජීවිතයක් ගත කරන පිරිසකි. ආර්ථික සහ සමාජ දියුණුව සමග එවැනි වාතාවරණයක් උදා වෙයි. විශාල වේගයකින් ගමන් කරමින් තිබුණ සමාජ පසුගියවසරේ දී යම් ප‍්‍රමාණයකට නිසොල්මන් විය. එයට හේතුව කොවිඞ්-19 වසංගත තත්ත්වයයි. මහත් ධාවනකාරී ස්වභාවයක් ගෙන තිබුණ පැවැත්ම පාලනය කරන සොබා දහමේ පණිවුඩයක් සේ මෙම වයිරසය ගැන අවධානය යොමු කරන්නට ඇතැම් ජන සමාජ නැඹුරු විය. මනුෂ්‍යයා මහ පොලවේ පවතින සම්පත් වේගයෙන් පරිභෝජනය කරමින් සිටි අතර එයින් සමස්ථ පැවැත්මට බරපතල තර්ජනයක් එලල් වෙමින් තිබුණි. කාර්මීකරණය හා සොබා දහම ගැන නොසලකා ගන්නා සංවර්ධන තීරණ මහත් විවේචනයකට හේතු වී තිබුණි. කොවි ඞ්වයිරසය සමග සමාජ දුරස්ථබාවය සහ ශ‍්‍රී ලංකාව ඇතුළු සමහර රටවල් සෑහෙන කාලයක් වසා තිබීම ගමන ගැන අලූතින් හිතන තරමට සංකීර්ණ පසුබිමක් සකස් කළේය. කෙසේ වෙතත් කොවිඞ් සදහා එන්නතක් සොයා ගැනීම සමග පැවැති ව්‍යුහයට නැවතත් ඇතුළුවනු ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙන කරුණකි. එම පසුබිම තුළ ලෝකයේ භ‍්‍රමණ වේගය ගැන එන අලූත් තොරතුර වෙනත් මානයකින් පවා අවධානයට ගැනීම සුදුසුය.

ඇතිවීම හා නැතිවීම ලෝක ස්වභාවයයි. විශ්වයේ පවතින පොදු ධර්මතා වලට අනුකූල විය යුතුය. ආගම් වලින් සපයන දර්ශනය පැවැත්ම කෙරෙහි ඉතා වැදගත්ය. ලෝකයේ භ‍්‍රමණ වේගය සුළු වශයෙන් වෙනස්වීම කෙසේ නමුත් රට හා සමාජය වෙනුවෙන් පැවැරී ඇති වගකීම් වෙනුවෙන් වේගයෙන් තීරණ ගත යුතු අවධියකි. පසුගිය වසර ගත වූ වේගය අප කිසිවෙකුට හිතා ගැනීමට හෝ පුලූවන්කමක් නැත. දින ගෙවීගියේ වේගයෙන්යැයි අපටම දැනේ. ඉලක්ක කරන ලද කාර්යයන්ගෙන් සෑහෙන් කොටසක් සාක්ෂාත් කරගත නොහැකිවිය. වසර 2021 උදා වූ දිනයේ සිට අවසන් වූ දවස් ගණන අප නොසලකා හරින වැදගත්ම සාධකයක් වන කාලය ගතවීම ගැන පාඩමකි. අප සියළු දෙනාව වියපත්වන හා රාජකාරි ජීවිතය අවසන් කරන මොහොත තත්ත්පරයක් පාසා ළගා වෙමින් තිබේ. නවීන විද්‍යාව එය තවත් තහවුරු කරමින් සිටී.