» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/06/2019 - දේශය
කෘතීම හදවතක් ; අසීමිත ජීවිතයක්

වයසට යන විට ජීවිතය ගැන අලූත් බලාපොරොත්තු ඇති වෙයි. එය ස්වභාවිකය. තව වැඩි කාලයක් ජීවත් වී ඉටු කරන්නට අසමත් වූ, මගහැරුණ යුතුකම් හා වගකීම් සාක්ෂාත් කරන්නට අකමැති අයවලූන් නැත. ලෝකයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු අසූ ගණනකි. අවුරුදු සියයක්, නැතිනම් එයටත් වඩා දීර්ඝ කාලයක් ජීවත් වී හොඳට වැඩ කරන්නට පුලූවන්කමක් ඇත්නම් එය මහඟු අවස්ථාවකි.

පළමු හුස්ම ගත් අවස්ථාවේ සිට ගැහෙන හදවතේ ක‍්‍රියාකාරීත්වය නතරවෙන්නේ අවසන් හුස්ම හෙළන මොහොතේ දී ය. හදවත අක‍්‍රීය වන විට ජීවිතයෙන් සමුගන්නට සිදුවෙයි. හදවත නිරෝගීව, යහපත් ක‍්‍රියාකාරීත්වයෙන් පවත්වා ගැනීම දීර්ඝායුෂ ලබාගත හැකි එකම ක‍්‍රමයයි. නමුත් අලූතින් එන වාර්තා අනුව අවශ්‍ය අයෙකුට හදවතක් මිල දී ගත හැකිය. එය වෛද්‍ය විද්‍යාවේ දියුණුවයි. නොයෙක් ශරීර අවයව කෘතීමව නිපදවන ආකාරයට හදවත ද සම්පූර්ණයෙන් බාහිරව නිෂ්පාදනය කරන්නට සමත්ව තිබේ. අත්හදා බලන මට්ටමේ කෘතීම හදවත් අවස්ථා ගණනක දී ලෝකයේ නොයෙක් තැන් වලින් අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් වූ නමුත් 2006 වසරේ දී ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය අනුමත කරන ලද හෘදය ප‍්‍රායෝගිකව මනුෂ්‍ය ශරීරයට බද්දකර තිබේ. පහලොස් දෙනෙකුට පමණ බද්ධ කරන ලද නමුත් ඒවා එපමණ ප‍්‍රතිඵල අත්පත් කර දුන්නේ නැත. ප‍්‍රමාණයෙන් විශාල වූ අතර නිතර පරීක්ෂාකාරීව සිටින්නට සිදුවිය. දරුවන්ට හා කාන්තාවන්ට බද්ධ කිරීම අපහසු වූ අතර එයට හේතුව ප‍්‍රමාණයේ විශාලත්වයයි.

දිග කාලයක් ජීවත්වන්නට කැමැති නූතන ධනවතුන් සිය ධනයෙන් සෑහෙන කොටසක් වයසට නොගොස් වැඩි කාලයක් ජීවත් විය හැකි ආකාරය ගැන කරන පර්යේෂණ වලට පරිත්‍යාග කරන බව අනාවරණය වෙයි. කෘතීම හෘදය ඇතුළු අවයව නිෂ්පාදනය එහි එක පැත්තක් පමණකි. ගූගල් හි ඇල්ෆබට් නමැති සමාගමේ ප‍්‍රධානීහු මහළු නොවී වැඩිකල් ජීවත්වීමේ පරීක්ෂණ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් පරිත්‍යාග කර තිබේ. ජෙෆ් බිසෝස්, පාවුල් ඇලන් වැනි බිලියනපතියන් ද එයට එකතු වී සිටී. සියව්‍යාපාර වලින් අති විශාල ධනයක් උපයන ප‍්‍රධාන පෙලේ සමාගම් ඒවායේ ලාභයෙන් කොටසක් කෘතීම බුද්ධිය බිහිකරන පරීක්ෂණ, පිලිකා සංහාරක වැඩසටහන්, දීර් ගායුෂ ලැබිය හැකි ආකාරය අනාවණය කරන සොයා ගැනීම් වෙනුවෙන් සෑහෙන ධනයක් පරිත්‍යාග කර තිබේ. කෘතීම හදවත් සාර් තකව නිපදවුවහොත් වසර දාහක් පමණ නව අවයව බද්ධ කරගනිමින් ජීවත්විය හැකි බව ඔවුන්ගේ තක්සේරුවයි.

සම්පූර්ණයෙන්ම කෘතීම හදවතකින් ජීවත්වන යුගයක් උදා වුවහොත් එය ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක අනාවරණ වල අලූත්ම පරිඡේදයක් වනු ඇත. හදවත ආශ‍්‍රිත රෝග වල දී සැත්කමක් කරන්නට පළමුවෙන් බාධාවක් වූයේ ශරීරයේ ඉහළ කොටස විවෘත කිරීමෙන් පසු පෙනහලූ වලට බලපවත්වන පීඩනය පාලනය කරගැනීමට අසමත් වීමයි. කෘතීම හුස්ම පොවන මෙවලමක් නිපදවා පෙනහළු වල ක‍්‍රියාකාරීත්වය යන්ත‍්‍රයට බාර දිය හැකි වූ අවස්ථාවේ දී වෛද්‍ය පර්යේෂණවල අරමුණ වූයේ හදවත විවෘත කිරීමයි. 1960 ගණන් වල අග භාගයේ පළමුවෙන් හදවතක් බද්ධ කරන ලද අතර එතැන් සිට විවිධ පැති වලින් හදවත ගැන කරන නව සොයා ගැනීම් වේගයෙන් වර්ධනය විය.

හොඳ සෞඛ්‍ය පිලිවෙත් පවත්වා ගනිමින් පුරවැසියන්ගේ ජීවිත දිග ආයුකාලයක් විඳීන්නට සලස්සවනු සඳහා ලෝකයේ නොයෙක් රටවල් පියවර ගනිමින් සිටී. ස්විට්සරලන්තය, ජපානය, සිංගප්පූරුව වැනි රටවල වයස අවුරුදු සියය ඉක්මවන ජන කොටස ප‍්‍රතිශතයක් වශයෙන් වැඩි වෙමින් තිබේ. ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් බිලියන 2.1 ක පමණ පිරිසක් අවුරුදු හැට ඉක්මවූවෝ වනු ඇත. වැඩි කාලයක් ජීවත්කරවීම රටක ගෞරවය හා අභිමානය ඇති කරන තත්ත්වයක් උදා කරනු නිසැකය. ධනවත් පුද්ගලයෝ කෘතීම හදවත ගැන හා දීර්ඝ කාලයක් ජීවත්වන අන්දම ගැන සොයන්නට වෙහෙසෙන පර්යේෂණ වලට පරිත්‍යාග කරන්නේ සිය අභිලාශයන් මුදුන් පත් කැර ගැනීමේ අරමුණ ඇතිවය.

ලෝකයේ ධනය ඇති සමාජය තුළ නවතම විද්‍යාත්මක පර්යේෂණ වලින් ඉහළ ප‍්‍රතිඵල අත්පත් කරගන්නා අවස්ථාවක දුප්පත් ජන සමාජ සහිත රටවලට සිදුවන්නේ කුමක්ද? එය සාකච්ඡා කළ යුතුය. විශේෂයෙන් අප රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම් ගැන අවබෝධයක් අප සියළු දෙනාටම තිබේ. රෝගීව රෝහලකට ඇතුළු වුවහොත් නිසි ප‍්‍රතිකාර නොමිලේ ලැබෙන්නේ වාසනාව අනුවය. රෝහල්වල පවතින තදබදය හා ප‍්‍රමාණවත් පහසුකම් රහිත භාවය ඉදිරියේ වැඩි වයස්ගත ජනගහනයක් අපේක්ෂා කිරීම ගැටළුවකි. ලෝකයේ ඇතිවන අලූත් ප‍්‍රවනතා අනුව සමාජයට යහපත ඇති කරන්නේ කෙසේ ද යන්න ගැන අවධානය යොමු කිරීම මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. කෘතීම හදවත්, පිලිකා පරදවන එන්නත්, අන්තර් ජාලයෙන් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු ඇතුළු නොයෙක් නවතම වාර්තතා ගැන අනාවරණය කළ හැකිය. ඒවා ජනතාව තුළ සිහින වශයෙන් පමණක් පවතින්නට ඉඩ හැරිය යුතු නැත.