» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/02/2020 - දේශය
කෘතීම ඉස්සන් ආහාර වේලට එකතුවන දිනය

ඉස්සන් ආහාරයට ගැනීමට අකමැති අය විරලය. නිර්මාංශ හෝ ආසාත්මිකතාවයක් සහිත පිරිස විය හැකිය. සමහරවිට මෙම දෙකොට්ඨාශයටම ආහාරයට ගත හැකි පරිදි ඉස්සන් විශේෂයක් කෘතීමව නිෂ්පාදනය කර තිබේ. බ්‍රේන් වේව් නමැති සමාගමක් දක්වන පරිදි පර්යේෂණය සාර්ථක වී ඇත. ලෝක අවශ්‍යතා වලට සරිලන පරිදි ඉස්සන් කෘතිමව නිපදවිය හැකි වන අතර එය පරිසර ප‍්‍රශ්න වලට ද විසදුමකි. කෘතීම හරක් මස් නිපදවන්නට සමත් වී ඇති ව්‍යවසායකයෝ තවතවත් පියවර ඉදිරියට තබන අතර ඉස්සන් නිෂ්පාදනය එහි නවතම අත්හදා බැලීම වී ඇත.

ඉස්සන් ගොවිපොල පරිසර ප‍්‍රශ්නයක්

අන්තර් ජාතික වාර්තා අනුව ඉස්සන් වගාව වඩා ප‍්‍රචලිත ආසියානු කලාපයේය. මුල් කාලයේ දී මුහුදෙන් හෝ ගංගාවලින් ඉස්සන් අල්ලාගත් අතර එය පහසු වූයේ නැත. අනතුරුව 1970 කාල වකවානුවේ මිනිසුන් තැනූ වගා පද්ධති වල ඉස්සන් බෝ කරන්නට පටන් ගෙන තිබේ. අද වන විට එය පරිසර ප‍්‍රශ්නයක් බවට හැරී ඇත. මහත් ආන්දෝලනයක් වී ඇති කඩොලාන ශාඛ විනාශයට ද බලපාන හේතුවකි. කලපු ආශ‍්‍රිතව පොකුණු සකස් කරන ඉස්සන් ගොවිපොල හිමියෝ ඒ වෙනුවෙන් විශාල පරිසර විනාශයකනිරත බව පෙන්වා දී තිබේ. ඉස්සන් වගාවට යොදා ගන්නා ක‍්‍රම හෙයින් වායුගෝල වායු විමෝචනය ද ප‍්‍රශ්නයක් වී තිබුණි. ඉන්දියාව, වියට්නාමය හා බ‍්‍රසීලය මහා පරිමානයෙන් ඉස්සන් වගා කරන ලද රටවල් වශයෙන් සදහන්ය. ආසියාව ලෝක අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑ පහක් සපයන බව දැක්වෙයි.

ඇමරිකාව, ජපානය හා යුරෝපා රටවල වැසියෝ ඉස්සන් බහුලව සිය ආහාරයට එකතු කරගනිති. එක ඇමරිකානුවෙක් වසරකට ඉස්සන් කිලෝ තුනකට වඩා ආහාරයට ගන්නා බව වාර්තා දක්වයි. එයට අවශ්‍ය ප‍්‍රමාණයට වගා කරන ලද ඉස්සන් තොග වෙළද පොලට සැපයීම ප‍්‍රශ්නයක් වී තිබුණි. 2018 වසරේ ලෝකයේ අලෙවි කරන ලද ඉස්සන් ගෙන් උපයා ගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 54 ක් බව දැක්වෙයි. වසරක් පාසා සියයට පහකින් ඉල්ලූම ඉහළ යන බව ද ප‍්‍රකට අනාවරණයකි.

කැලිෆෝනියාවේ පර්යේෂණ සිංගප්පූරුවෙන් එලියට

පරීක්ෂණාගාරයක නිපදවන ඉස්සන් ගැන මුලින් කරුණු වාර්තා වෙන්නේ කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන්ය. වසර ගණනකට කලින් කරන ලද අත්හදා බැලීම් සාර්ථක වී තිබුණි. ස්වභාවික ඉස්සන් හා පරීක්ෂණාගාරයක කෘතීමව තැනූ ඉස්සන් වෙන වෙනම පිස ආහාරයට පිරිනමන ලද අවස්ථාවක දී සෑහෙන පිරිසකට වෙනස හ`දුනා ගැනීමට පුලූවන් වී නැත. එය විශාල ජයග‍්‍රහණයක් බව පර්යේෂකයෝ කියති.

පරීක්ෂණ තහවුරු වන තරම අනුව ඉස්සන්ගේ කවචය රහිතව පමණක් නොව ඔලූව හා අනෙක් ඉවත දමන කොටස් රහිතව ද කර්මාන්ත ශාලාවේ නිදවන්නට හැකියාව ලැබී තිබේ. මෙම නිපදවන ඉස්සන් කිසිම ආසාත්මිකතාවයකට හේතු නොවන අතර එලවලූ පමණක් ආහාරයට ගන්නා පිරිසට ද කැමැති විය හැකි නිපැයුමක් වනු ඇති බව ප‍්‍රකාශ වී තිබේ. දැනට අනාවරණය වන පරිදි කම්හලක නිපදවන ඉස්සන් කිලෝවක මිල ඇමරිකානු ඩොලර් 5,000 ක් පමණ වෙයි. එහෙත් අනාගතයේ දී මෙම මිල ගණන් බෙහෙවින් අඩුවිය හැකි අතර සමහරවිට ඉස්සන් ගොවිපොල ක‍්‍රමය අතහැර කම්හලකින් ඉස්සන් හැදෙන යුගයක් බිහිවනු ඇති බව ට පුරෝකතනය වී තිබේ.

වැඩිවන ජනගහනයට කෘතීම ආහාර සැපයේ

ජනගහනය වැඩිවීම සමග අනුභවයට ප‍්‍රමාණවත් ආහාර හිඟ වනු ඇත. ලෝක ආහාර සංවිධානය මෙතෙක් පිලිකුල් කරන ලද කෘමි විශේෂ ගණනාවක් මිනිස් ආහාරයට සුදුසු බව මෑතක දී නිර්දේශ කළ අතර එම කෘමීන් භෝජනයට සකස් කරන ආකාරය ජනප‍්‍රිය කිරීමට පියවර ගෙන තිබේ. කෘමීන් භෝජනයට සකස් කරගන්නා ක‍්‍රම හදුන්වා දෙන නමුත් ලෝක ප‍්‍රජාව මාංශ අනුභවය ප‍්‍රතික්ෂේප කරන ප‍්‍රමාණය වැඩිවී ඇති බව අනාවරණය වෙයි. ඇමරිකාවේ වයස අවුරුදු 16-35 අතර අයගෙන් සියයට දහසයක පිරිසක් මස් සහිත ආහාර මිල දී ගැනීමෙන් වැලකී සිටින තත්ත්වයක් උදා වී ඇති බව ස්වාධීන පර්යේෂණ වාර්තා දක්වා තිබේ. එය නිෂ්පාදකයන්ට ද ගැටළුවකි.

මස් මාංශ අනුභව නොකරන හේතුව මසට සතුන් මැරීම පමණක් නොව සත්ව පාලනය පදනම් කරගෙන ලෝකයේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනය බව ද සඳහන් කළ යුතුය. අලූත් වාර්තා පෙන්වා දෙන පරිදි ඕසෝන ස්ථරයට හානි කරන හරිතාගාර වායු විමෝචනය ගැන සලකා බැලීමේ දී කෘතීමව කරන සත්ව පාලනය එයට සියයට 14.5 ක ප‍්‍රතිශතයකින් වගකිව යුතු බව අනාවරණය වී තිබේ. මහා පරිමාන සත්ව පාලන ගොවිපොල වලින් නිකුත්වන වායු ඉතා අහිතකර තත්ත්ව ඇතිකර තිබේ. එය තේරුම් ගත් තරුණ ප‍්‍රජාව නිර්මාංශාහාර වන ලකුණු පෙන්නුම් කර ඇත.

මස් මාලූ නොවන දේ අලෙවි කරන ප‍්‍රතිපත්ති

සත්ව පාලනය පරිසර ප‍්‍රශ්න ඇති කරන නමුත් විද්‍යාගාරයේ නිපදවා පසුව කම්හල් වල මහා පරිමානයෙන් නිපදවන මස් හෝ මාලූ වලින් ලෝකයේ පැවැත්මට අහිතකර ස්වභාවයක් ඇති නොකරන බව සනාථ වී ඇත. ගව මස් හා සමාන පෙනුමකින් හා එක හා සමාන රසකින් යුතු කෘතීම මස් නිපදවන්නට සමාගම් නැඹුරු වී තිබේ. බර්ගර්, සොසේජස් හෝ මීට් රෝල් යනුවෙන් නම් කර විකුණන නමුත් ඇත්තටම ඒවායේ ස්වභාවික මස් නැත. සත්ව පාලනයෙහි නිරත පිරිස් එවැනි ඇඟවීම නොකළ යුතු බවට කියා සිටිති. එයට හේතුව කෘතීම දේ වලට නැඹුරුවුවහොත් ගොවිපොල පැවැත්මට එල්ල වන තර්ජනයයි. ඇමරිකාවේ පරිපාලන ඒකක තිහක් මස් නොවන ආහාර වලට ‘මස්’ යන වචනය භාවිතා නොකළ යුතු බවට නීති පනවා ඇති අතර එයට හේතු වූයේ සත්ව පාලනයෙහි නිරත පිරිස ගෙන ගිය උද්ඝෝෂණ බව සඳහන්ය. නියම මස් ආහාරයක අන්තර් ගත නොවන විට මස් යැයි ඇඟවෙන ලේබල් සකස් කිරීම තහනම් කරන නියෝග පනවන සූදානමක් සමහර යුරෝපා රටවල තිබේ.අනාගතයේ දී ඉස්සන් බහුලව වෙළද පොලට එන විට ස්වභාවික හා වගා කරන පිරිස් කම්හලක කෘතීම ඉස්සන් ගැන ද විරෝධයක් ඇති කරන්නට බැරි නැත.

වගා කිරීමට වඩා කර්මාන්ත ශාලාවක තැනීම සුදුසුය

සත්ව පාලනය හා ඉස්සන් වගා කොටු ඇති කරන පරිසර ප‍්‍රශ්න ලෝකයේ විවේචනයට හේතු වී ඇත. අලූත් පර්යේෂණ පෙන්වා දෙන පරිදි සත්ව පාලනයෙහි නිරත ගොවිපොලක් එක මස් කිලෝ එකක් නිපදවීමේ දී හරිතාගාර වායු විවෝචනය කරන ප‍්‍රමාණය මෙන් හතර ගුණයක් ඉස්සන් කිලෝ එකක් වගා කොටුවක හැදීමේ දී පරිසරයට එකතු කරයි. අනෙක මුහුදු යාත‍්‍රාවකින් අල්ලා ගන්නා ඉස්සන් කිලෝවක දී ඇමරිකාව හරහා පෙට‍්‍රල් කාර් එකක් ධාවනයේ දී දහනය කරන ඉන්ධන ප‍්‍රමාණ හා සමාන වායු දුෂණයක් සිදුවේ. එවැනි පසුබිමක් තුළ මස් පමණක් සහිත කුඩා කවචයකින් ආවරණය කරන ලද ඉස්සන් කර්මාන්ත ශාලාවක කෘතීමව හැදීම ගැන පරිසර ලෝලීහු මහත් සතුටට පත්වනු නිසැකය.