» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/12/2019 - දේශය
ස්ථුල සිරුර ගැන අසතුටින් පසුවීම

ශරීරයේ බර වැඩිවීම ගැන ලෝකය පුරා විශේෂ අවධානයක් යොමු වී තිබේ. ආහාර ලබාගැනීමේ හැකියාව ආර්ථික තීන්දුවකි. වත්කම් සහිත ජන කොටස් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා භුක්ති විදිති. නැති බැරි පිරිස එදිනෙදා කුසගිනි නිවා ගැනීමට හෝ නොහැකි පසුබිමකය. ජනගහනය වර්ධනය හා සම්පත් අසමානව බෙදීයාම ගැන පර්යේෂකයෝ විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඉදිරි දශක දෙක තුළ මහා පරිමානයෙන් ආහාර නිපදවීම අවශ්‍ය බව ගණන් බලා තිබේ. නිපදවන ආහාර මිල දී ගෙන යැපෙන්නට හැකි අන්දමට වෙළද පොල හසුරුවන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයක් වී ඇත.

සිහින් සිරුර නිසා සතුටුද නැත්නම් සතුට නිසා සිහින් ද?

ආහාර ගැන පවතින විෂමතා කෙසේ වෙතත් අධික තරබාරුව තවත් ගැටළුවක් වී තිබේ. පර්යේෂකයෝ පෙන්වා දෙන අන්දමට සිරුර සිහින් හා මනාන පෙනුමට හේතුව මනා සතුටකින් ජීවත්වීමය. සතුටින් ජීවත් වන බැවින් සිරුර අධික ස්ථුලතාවයෙන් ගැලවී තිබේ ද නොඑසේනම් අධික ස්ථුලතාවයක් නැති නිසා ජනී ජනයා සතුටින් ද යන්න කරුණු විමර්ෂණය කරන පිරිසගේ අවධානයට ලක් වී ඇති දෙයකි.

නොයෙක් රටවල වැඩ කරන ජනතාව ඉතා කාර්ය බහුලය. අවිවේකීය. අධික වැඩකටයුතු හෙයින් කාලය කළමණාකරනය කරගත නොහැකි වී ඇති අතර ආහාර ගැන වැඩි සැලකිල්ලක් නොදක්වති. යන එන අතරතුර කොතැනකින් හෝ දෙයක් ගෙන කුස පුරවා ගනිමින් සිටින අතර එය සෞඛ්‍යයට අහිතකර වී තිබේ. තන්තු සහිත ආහාර ගත යුතු බව පෙන්වා දෙන නමුත් පිශ්ඨය බහුල කෙටි ආහාර එනම් ශෝර්ට් ඊට්ස් ඉතාම නරක බව අවධාරණය වී තිබේ. මෙකී කෙටි ආහාර වල ලූනු හා සීනි බහුල අතර ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවයි. එය ඉතා හානිකර අතර ශරීරයේ බර වැඩි කර තරබාරුව නංවන බව වෛද්‍යවරු කියති. අනෙක වාහන තදබදය හා අධික මානසික විඩාව ආහාර සංකුලතා ඇති කරන අතර එය තරබාරුකම වැඩි කරන හේතුවකි. සතුටින් සිටින ජන කොටස් අතර සිහින් මනා සිරුර නිරීක්ෂණය කළ හැකි බව කියන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙනි.

තරබාරුව දරුවන්ට අපලයක් වී ඇත

ලෝක ජනගහනයේ තරබාරු පිරිස දශක දෙකක් තුළ තුන් ගුණයකින් වැඩිවී ඇත. විශේෂයෙන් දරුවන් මහත් වන බව ඔප්පු වී තිබේ. 2016 වසරේ දී ලෝක ජනගහනයෙන් මිලියන 41 ක් තරබාරුවෙන් මිරිකී ඇති දරුවන් වන අතර එය සෞඛ්‍ය ප‍්‍රශ්න ද ඇති කර ඇත. පාසල් වියේ දී පැවැතිය යුතු කාර්යශීලී බව පැත්තකට තබා පොත පත කෙරෙහි පමණක් නැඹුරුව ද දරුවන්ගේ අධික ස්ථුල භාවයට හේතුවකි. එලවලූ හා පලතුරු බහුලව ආහාරයට ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දෙන අතර දරුවන් දිනකට පැයක් පමණ හා වැඩිහිටියන් සතියකට පැය එකසිය පනහක්වත් ව්‍යායාමවල නිරත විය යුතු බව පෙන්වා දී තිබේ. අද වන විට දෙමාපියෝ දරුවන් අධ්‍යාපනය කෙරෙහි පමණක් පොළඹවන අතර ක‍්‍රීඩාපිටියට යොමු කිරීමට අදහස් නොකෙරේ. වැඩිහිටියෝ පවා ව්‍යායාම වලට වෙලාවක් නැති බව කියති. එය බෝ නොවන රෝග බහුල ජන කොටසක් බිහි කර ඇති බව වෛද්‍ය වාර්තා දක්වයි.

මන්ද පෝෂණය ගැන උනන්දුවක් දක්වන දෙමාපියෝ දරුවන්ගේ කුසට යහමින් දෙයක් දෙන්නට යොමු වෙති. නමුත් මන්ද පෝෂණ තත්ත්වයට වඩා වැඩි පිරිසක් දරුවෝ අධි ස්ථුලතාවය හෙයින් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව තහවුරු වී තිබේ. දරිද්‍රතාවය හෝ මන්දපෝෂණයට වඩා අධි පෝෂණය ගැටළු සහගතය. ලබාගන්නා ආහාර දහනය කරන පියවරකට යොමු නොවුනහොත් දරුවන්ගේ අනාගතය අදුරු බව දැක්වෙයි. එය අවධානයට ගත යුතු කරුණකි.

ආහාර රටාව ගැන අලූතින් හිතන්න

බත් බහුලව ආහාරයට ගන්නා සේ ශ‍්‍රී ලංකාවේ ආහාර රටාව සකස්ව තිබුණි. ගොවිතැනෙහි නිරත කායික වශයෙන් වෙහෙස වෙන ජන කොටසකට කුස පිරෙන්නට ආහාර පමණක් නොව සැහෙන ශක්තියක් ද එයින් සැපයිණ. නමුත් ජීවන රටාව වෙනස් වී තිබේ. මෙරට ජනගහනය කෘෂි ආර්ථිකයෙකින් සේවා ආර්ථිකයකට හැරී තිබේ. කය වෙහෙසනු වෙනුවට මනස වෙහෙසෙන වෘත්තීය ප‍්‍රවේශයක් ඇත. අනාගත පරපුර පවා වඩා පහසු වෘත්තිය ගැන සිතති. එහි දී බත් වැඩිපුර ගැනීම නරක වන අතර ශරීරයට ගැලපෙන ආහාර රටාවකට මාරු විය යුතුව ඇත. එවැනි වෙනස්කමකට බාල වියේ සිට හුරු විය යුතු අතර එය මනා සෞඛ්‍ය සම්පන්න පරපුරක් ගොඩනගන බව සැකයක් නැත.

නූතන අවිවේකී ජීවිතය තුළ පාසල් දරුවෝ පවා කෙටි ආහාර වලට හුරුවී සිටී. සෞඛ්‍ය බලධාරීහු පාසල් දරුවන්ගේ ආහාරවේල ගැන නොයෙක් නිර්දේශ නිකුත් කරන නමුත් එය ප‍්‍රායෝගිකය ක‍්‍රියාවට නැගෙන්නේ නැත. නිවසේ සූදානම් කරන ආහාර වෙනුවට වීදියේ දී ආහාර රැගෙන නිවසට යන සංස්කෘතියකට යොමු වෙමින් සිටී. එය ඉතාම අහිතකර තත්ත්වයක් බව ප‍්‍රකාශ වී තිබේ. නගරයේ අවන් හල් වල සකස් වන ආහාර වලට යොදන රසකාරක හා තෙල් වර්ග අනිසි ප‍්‍රතිඵල ඇති කරයි. අනාගත පරපුර ස්ථුල භාවයට පත් කරන අතර නොයෙක් රෝග තත්ත්වයන්ට ආරම්භයක් විය හැකිය. මුලින් සදහන් කළ ආකාරයට සැහැල්ලූ ජනන ජීවිතයක් රටට අවශ්‍යය. අධික මානසික විඩාව නැති ප‍්‍රශ්න ඇති කරයි. විඩාව සමග එකතුවන ආහාර රටාව ස්ථුලතාවය හා අධිපෝෂණයට හේතුවකි. එය නගර ආශි‍්‍රතව පැතිරෙන අතර පාලනය කළ නොහැකි වාතාවරණයක් නිර්මාණය කර තිබේ. අවබෝධයෙන් හා තේරුමක් ඇති ආහාර සැකැස්මක් හා පරිභෝජනයක් කරා යොමු විය යුතු අතර අන්තර් ජාතිකව පවතින පර්යේෂණ වලින් පාඩමක් ඉගෙන ගැනීම වැදගත්ය. නිරෝගී සිහින් ශරීරයකට හේතුව සතුටින් පසුවීම ද නැත්නම් සතුටින් පසුවන සමාජයක් නිරෝගී ද යන්න සාකච්ඡා කළ යුතුය.