» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/11/2020 - දේශය
ඖෂධ මාෆියාව, පසු ආබාධ සහ තවත් කතාන්දර

එක්තරා රෝගියෙක් වෛද්‍යවරයෙකු හමුවිය. දීර්ඝ කාලයක් පීඩා විඳින, බරපතළ රෝගයකට හෙතෙම ප‍්‍රතිකාර ගනිමින් සිටී. වෛද්‍යවරයා අමතා තමන්ට ඇති ගැටලු විමසීම අයිතියකි. මෙකී රෝගියා තමන් ගන්නා බෙහෙත්වලින් ශරීරයට අතුරු ආබාධ හෝ නරක තත්ත්වයක් ඇති විය හැකිදැයි ප‍්‍රශ්න කළේය. දිගටම පෙති හා කරල් ගිල දැමීමෙන් අසාමාන්‍ය තත්ත්වයක් ඇති විය හැකි බව හෙතෙම සැකකරන ලද බව පෙණින. වෛද්‍යවරයාට දෙන්නට උත්තරයක් නැත. අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන් ඔහු කෙළින්ම උත්තරයක් සැපයීය. තමන්ගේ තීරණය ගැන සැකයක් ඇත්නම් බෙහෙත් නොගෙන ඉන්න වෛද්‍යවරයා අවවාදයක් කළේය. එම අවවාදය අපගේ පෞද්ගලික ජීවිතයට ගැලපේ. නිව්ටන් විද්‍යාඥයාගේ නියමය මතක් කළහොත් සෑම ක‍්‍රියාවකටම ප‍්‍රතික‍්‍රියාවක් ඇත. ප‍්‍රතික‍්‍රියාව අවම කරන්නට ලෝකයේ නොයෙක් අසාමාන්‍ය මිනිස්සු බලවත් සේ මහන්සි වෙති.

කොවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන්ද මෙම න්‍යාය වෙනස් නැත. ප‍්‍රතිකාර විවිධය. ඇතැමකු වාෂ්පීකරණය ගැන විශ්වාසය තබා ඇත. තවත් අයකු කල්පනා කරන්නේ කොත්තමල්ලි, වෙනිවැල්ගැට පමණක් නොව පෙරුම්කායම් වැනි දේ සම්බන්ධවය. දෙවියන්ට භාරකිරීම හෝ නොපෙනෙන බලවේගවලින් පිළිසරණක් පැතීම ද ධෛර්යය ඇති කරන පියවරක් විය හැකිය. බලි තොවිල් හා ශාන්ති කර්ම කෙරෙහි අසාමාන්‍ය විශ්වාසයක් තබා ඇති පිරිස් ඇප නූලක් කර බැඳගෙනය. කොව්ඩ් වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පරාජය කරන්නට මෙම එකම පියවරකටවත් හැකියාවක් ලැබී නැත. ලෝකයේ බලවත්ම රාජ්‍යය සම්පූර්ණයෙන් අසරණ කර ඇති අතර කුඩා සහ බලය අඩු දුප්පත් රටවල් කරකියා ගත නොහැකි ස්වභාවයකය. දිනපතා ලක්ෂ ගණනින් රෝගීන් වාර්තා වන, දස දහස් ගණනින් මියයන අවස්ථාවක කොවිඩ් වයිරසය සඳහා එන්නතක් සොයාගෙන ඇති බවට පළවන වාර්තා ස්වර්ණමය එකකි.

ලෝකයේ බලවත් රටවල් හා වෛද්‍ය පර් යේෂණ සංවිධාන විශාල ප‍්‍රමාණයක් කොවිඩ් වයිරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ක‍්‍රියා කළේය. එය හුදෙක් පර්යේෂකයන්ට පමණක් වූ සීමා වූ කාර්යයක් වූයේ නැත. ධනය ඇති රටවල් සහ පරිත්‍යාගශීලීහු එකී වැදගත් කටයුත්ත සඳහා ධනය පරිත්‍යාග කළහ. දේශසීමා රහිතව දැනුම හා අත්දැකීම් බෙදා හදා ගත්හ. පර් යේෂණ සාර්ථක වුවහොත් සොයා ගන්නා එන්නත වාණිජ වශයෙන් නිපදවන්නට රටවල් ගණනාවක් යන්ත‍්‍ර සූත‍්‍ර සූදානම් කළහ. ඉන්දියාව හා ඉන්දුනීසියාව එහි පෙරමුණ ගත් බව සඳහන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පසෙකට වී සිටියේ නැත. අලුත් බෙහෙතක් නිපදවුවහොත් එය සමාජ සාධාරණත්වය අනුව ලෝකයේ ලොකු පොඩි සෑම සියලුදෙනාටම හැකි පමණින් බෙදාදෙන්නට සැලසුම් සකස් කළහ. කොවිඩ් මරණය අභිමුවෙහි සිටින අවස්ථාවක එයින් ගැලවෙන්නට එන්නතක් සොයා ගතහොත් ඕනෑම මිලක් ගෙවා අයිතිකරගන්නට සමත් සුපිරි ජන කොටස් ලෝකයේ ජීවත් වෙති. පැවැත්ම ආත්මාර්ථකාමීය. අනෙක් පුද්ගලයාගේ හුස්ම උදුරාගෙන ජීවත්විය හැකි මොහොතක එයට ද සූදානම් වනු නිසැකය. එබඳු පරිසරයක සෑම රටකටම, ප‍්‍රමුඛ අවශ්‍යතා සලකා කොවිඩ් ප‍්‍රතිකාර සැපයීමට රාමුවක් සකස් කිරීම වැදගත් තීරණයකි.

දැන් කොවිඩ් එන්නත ලබාදීම ගැන සාකච්ඡා ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වටයේදී අවදානමක් ඇති ජනකොටස තෝරා එන්නත්කරණය වැදගත් බව පෙන්වා දී ඇති අතර ශ‍්‍රී ලංකාවට එන්නත් මාත‍්‍රා මිලියන පහක් වෙන්කර තිබේ. එය ජනගහනයෙන් සියයට විස්සකට ප‍්‍රමාණවත් වනු ඇත. මෙම සියයට විස්සගේ ජීවිත බේරාගැනීම ගැන උද්දාමයට පත්වීම පැත්තක තබන මෙරට ඇතැම් කොටස් එම එන්නත ගැන අප‍්‍රමාණ ඕපාදූප පතුරවන හා භීතියක් මතුකරන බව පෙනේ. ඖෂධ සමාගම්වල පර්යේෂණ අත්හදා බලන තැනක් බවට ශ‍්‍රී ලංකාව පත්විය යුතු නැති බවට හඬක් නැගෙමින් තිබේ.

එකඟතාවයක් නැතිකම රටට අවාසනාවකි. ජනතාව තද පාලකයෙක් සහ අලුත් නායකත්වයක් ආයාචනා කළේ අරමුණක් ඇතිවය. තීරණ ගැනීම අරභයාය. දුර්දාන්ත, අනේකවිධ විවේචන මැද පවා නොසැලී පෙනී සිටින්නටය. මෑත ඉතිහාසය තුළ මෙරට කිසිම දෙයක් යහතින් සිදුවූයේ නැත. ණය ගැනීමට එරෙහිය. ආධාරත් එපා කියති. කොවිඩ් වයිරසය ශරීරගත වී ඇත්ද යන්න සොයා බලන පී.සී.ආර්. පරීක්ෂණ දිනකට කරන ගණන ප‍්‍රමාණවත් නැත. කරනු ලබන පරීක්ෂණවල දෝෂ තිබේ. නිරෝධායනයට පසු පරීක්ෂාවකින් තොරව නිවසට යැවීම වරදකි. පී.සී.ආර්. පරීක්ෂණ සඳහා වියදම කොවිඩ් අරමුදලෙන් ගැනීම සුදුසු නැත. එහි වියදම් ගැන බලවත් සැකයක් තිබේ. ඇන්ටිජන් ටෙස්ට් සුදුසු නැත. ඖෂධ මාෆියාවකි. පෞද්ගලික අංශය මහා බිල්ලෙකි. ආණ්ඩුව ආනයනය කළ ඇන්ටිජන් ටෙස්ට් රේගුවේ හිර වී තිබේ. ඖෂධ ආනයනයට ටෙන්ඩර් කැඳවීම මගඩියකි. ගෙන්වන ඖෂධ බාල ඒවාය. ලෝකයේ කොතැන ඉහළම අනුමැතිය ඇති බෙහෙතක් නමුත් ඒවා ගෙන එන්නට කලින් මෙරට වෛද්‍යවරු ඒවා ගැන පරීක්ෂණ කර අනුමැතිය සැපැයිය යුතුය. නැත්නම් ආනයනික බෙහෙත්වල දක්වන ජාත්‍යන්තර ප‍්‍රමිතිය සැකසහිතය. ඒවායෙන් මහා ධනයක් කොල්ලකන අතර අතිවිශාල දූෂණ සිදුවෙයි. කොවිඩ් සඳහා අලුතින් සොයාගත් එන්නත බලවත් සැකයකි. ඒවා තවමත් පරීක්ෂණ මටට්මකය. විවිධ මතධාරීන්ට අනුව මෙම එන්නත, පරීක්ෂණ අවසන් කර, ජාත්‍යන්තරව අනුමත කිරීමෙන් පසු නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ආණ්ඩුවෙන් ගෙන්වීමෙන් ඉනික්බිතිව නොමිලේ මුළු රටවැසියන්ටම එන්නත් කළ යුතුය.

කොවිඩ් වසංගතය වෙනුවෙන් ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් ඇඟිලි ගනිමින් සිටි ලෝකවාසීන් මෙම විෂම ව්‍යුහය ගැන නොදැන සිටීම සුදුසුය. කොවිඩ් වසංගතයේ ප‍්‍රතිකාර හා එන්තත්, ඒවා මිලදී ගැනීම ගැන ඉදිරියේදී සෑහෙන වාද විවාද තිබේ. වෛද්‍ය විශේෂඥයන්, වෘත්තීය සමිති පමණක් නොව දේශපාලනඥයෝද එහි කොටස්කරුවෝ වී සිටිති. හැම දෙයක් ගැනම විශේෂඥයන් බවට පත්ව ඇති සමහර කණ්ඩායම් මාධ්‍ය ඉදිරියේ ඇතිතරම් වචන නාස්ති කරමින් සිටිති. මෙම කිසිම පිළිවෙළක් නැති හරඹය අවසානයේ සිදුවන එක දෙයක් තිබේ. කැපවීමෙන් යමක් කරන්නට, රටක් ගලවා ගන්නට දිවා රාත‍්‍රී කැපවන පිරිස අධෛර්යයට පත්වනු ඇත. මෙරටට සේවයක් කරන්නට වෙහෙසීමේ පලක් නැති බව හිතන්නට ඉඩ තිබේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවුලවන මෙකී කිසිම පදනමක් නැති ව්‍යාකූලභාවය අවසානයේ ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකිය. පටු ආකල්පයෙන් කරන අවලාද අවංක අභිලාශයන්ද අධෛර්යයට පත් කරන්නට ඉඩ තිබේ.

එය තීරණාත්මක අවස්ථාවේ දී අනවශ්‍ය වාද අතහැර ජනතාවගේ ජීවිත ගැන තීරණ ගැනීමට දෙවතාවත් කල්පනා කළ යුතු නැත. නැත්නම් කළයුතු එක දෙයකි. පසු ආබාධ, වංචා, අකටයුතුකම් හා ඖෂධ මාෆියාව ගැන කතා නොකරන්නට ඉඩ ලැබෙන පරිදි මුලින් සඳහන් කරන ලද වෛද්‍යවරයාගේ ප‍්‍රකාශය පරිදි බෙහෙත් නොගෙන සිටීමය.