» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/09/2019 - දේශය
අතීතය අදට ගලපන්නට හදන චීනය

තාක්ෂණික හා විද්‍යාත්මක අතින් ලෝකය සෑහෙන ප‍්‍රගතියක් කරා ගමන් කරමින් සිටී. ස්වයංක‍්‍රියව ධාවනය වන වාහන භාවිතාවට පැමිණ ඇත. කෘතීම බුද්ධියෙන් අනූන පරිගණක, විද්‍යාගාරයේ තනන මිනිස් අවයව පමණක් නොව රසායානාගාර වල නිපදවන ආහාර ද අමුතු දේවල් නොවේ. බලවත් රටවල් අතර සිදුවන යුද අභ්‍යාස හා රසහ්‍ය තොරතුරු අධ්‍යයනයට ද තොරතුරු තාක්ෂණය එකතු වී තිබේ. කිසිම මනුෂ්‍ය ඝාතනයක් නොවන ආකාරයට රටවල් සම්පූර්ණයෙන් අකර්මන්‍ය කළ හැකි තරමට යුද තාක්ෂය ද දියුණු වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ චීනයේ සූදානම කුමක්ද? පැරණි ‘‘කුබ්ලායි ඛාන්’’ ආක‍්‍රමණික කලාව භාවිතා කරන්නට සූදානම් වන බව මතයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිර්මාණය කර ඇත. මෙම ආක‍්‍රමණික අදහස එල්ල කරන්නේ හොංකොං හි පවතින නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සදහා බව දැක්වෙයි.

හොංකොං හි පවතින අරගලකාරී තත්ත්වය තුළ ස්වාධීනත්වය අරමුණු කර තිබේ. හොංකොං වැසියෝ පසුගිය මාස තුනක පමණ කාලය තුළ විරෝධතා රැල්ලක නිරතව සිටියහ. නගරයේ තැනින් තැන ඇවිලෙන උද්ඝෝෂණ සදහා නූතන සමාජ මාධ්‍ය භාවිතා කරන බව පැහැදිලිව පෙණින. තරුණයන්ගේ සංවිධානශීලී විලාශය හා අදහස් පතුරවන අන්දම සම්ප‍්‍රදායික අරගල වලට වඩා වෙනස්ය. වහා ඇවිලන සුළු වූ මෙම අරගල හදිසියේ හටගෙන හදිසියේ විසිරී යන අතර එය මහත් නොසන්සුන් තත්ත්ව ඇති කර තිබේ. හොංකොං ප‍්‍රදේශය පාලනය කරන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි. එය චීනයට අයත් වෙනම කලාපයක් සේ සැලකෙයි. හොංකොං නගරය වඩා ලිබරල් ක‍්‍රම යටතේ වෙළද පොල මුහුණුවරක් යටතේ පවතී. එය චීනයේ දැනට පවතින කොමියුනිස්ට් පක්ෂ පාලනයට හාත්පසින්ම වෙනස්ය. බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා හොංකොං ප‍්‍රදේශය චීන සමූහාණ්ඩුව භාරගත් කාලයේ දී එවකට ජානාධිපතිවරයාව සිටි ඩෙන්ෂියාවෝ පෙන්ග් හොංකොං පාලනය ගැන සදහන් කරන ලද අදහස අවධානයට ගත යුතුය. හෙතෙම ‘‘එක රටක් ක‍්‍රම දෙකක්’’ යන සංකල්පයෙහි පිහිටා තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය. අද වන විට අරගල කරන එහෙත් එපමණ දාමරික ස්වභාවයකින් හැසිරෙන්නේ නැති පිරිස අරභයා කුබ්ලායි ඛාන් කලාව අනුගමනය කරන බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දී තිබේ.

කුබ්ලායි ඛාන් චීනයේ යුආන් අධිරාජ්‍යයේ පළමු වැනි පාලකයා වශයෙන් අභිෂේක ලබා සිටියේය. ඔහුගේ පාලන කාලය 1271-94 දක්වා බව ප‍්‍රකාශ වෙයි. දක්ෂ සටන්කාමියෙකු වූ හෙතෙම සිය බලය හා ප‍්‍රතාපවත් බව පෙන්වා කලාපයේ ප‍්‍රභූන් දණ ගැස්සවූ ආකාරය ලිඛිත ඉතිහාසය තුළ වාර්තාකර තිබේ. විශාල සේනා පිරිවරාගෙන ආක‍්‍රමණයකට සූදානම් වන කුබ්ලායි ඛාන් ගේ සේනාංක තමන් ළගාවන බව සන්නිවේදනය කළේ ඊතලයක අමුණා යවන තර්ජනාත්මක පණිවුඩයක් ඉලක්කයකට යැවීමෙන් බව සදහන්ය. එම පණිවුඩය ලැබුණ වහා අසරණ වන පාලකයෝ තැති ගන්නා අතර කළ හැකි අන් දෙයක් නැති තැන සිය වස්තුව ද රැගෙන වහා ආරක්ෂිත තැන් සොයා පලා යති. පාලනයෙන් තොර නගර කරා ළගා වන කුබ්ලායි ගේ සේනාංක කලබලයක් රහිතව ප‍්‍රදේශයේ අනසක ඔවුන් යටතට පත් කරගනිති. මෙම උපාය මගින් අධිරාජ්‍යයේ වපරිසය නංවා ගන්නට කුබ්ලායි ඛාන් සමත් වී ඇති අතර එය ප‍්‍රකට දූරදර්ශී පිලිවෙතක් බවට ප‍්‍රකාශ වී තිබේ. සටන් කර ජීවිත හා දේපොල වැනසීම වෙන්වට භීතිය ඇති කර අවනත කරගැනීම සටන්කාමී උපක‍්‍රමය විය.

හොංකොං හි අරගලය හමුවේ කුබ්ලායි ඛාන් ගේ පැරණි ව්‍යුහය නැවත පනගන්වා ඇති බව විචාරක අදහසයි. චීනය සකස් කළ වීඩියෝ දර්ශන හොංකොං වෙත ලැබෙන්නට සලස්වා ඇත. ඒවායේ හමුදා සේනාංක වල ජයග‍්‍රාහී විලාසය මැනැවින් දැක්වෙයි. සටන් බිමට යන අන්දම හා සමහර අවස්ථාවල කරන ලද අරගල මැඩ පවත්වන ප‍්‍රහාර ගැන දර්ශන ද ඒවායේ ඇතුලත්ය.

ස්වාධීනත්වය පතා හොංකොං නගරයේ ඇවිලෙන විරෝධතා ප‍්‍රකට සටන් ශූරයෙකු වූ බෲස් ලී ගේ දර්ශනය සමග ගැලපෙන බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය මෑතක දී පෙන්වා දුන්නේය. බෲස් ලී ට අනුව සටන අවස්ථාවේ දී වතුර මෙන් හැසිරිය යුතුය. කෝප්පයකට දමන වතර ස්වල්පයක හැඩය කෝප්පයට සමානය. බෝතලයකට හෝ පිඟානකට දැමුවහොත් එම භාජන වල හැඩය ගනී. පාලකයන් සමග කරන සටනේ දී අනුගමනය කරන උපක‍්‍රම අවස්ථාවෝචිත විය යුතු බව හොංකොං අරගලකාමීහු අනාවරණය කර ඇති බව ඇම්නෙස්ටි සංවිධානය නිකුත් කරන පණිවුඩය අවධාරණය කරයි. ‘‘අයිස් වගේ ශක්තිමත් වෙන්න. වතුර වගේ ගලා යන්න. පිණි මෙන් එකතු වෙන්න. මීදුම වගේ පහව යන්න’’ සටන්කාමී බෲස් ලී කියා තිබේ. හොංකොං ප‍්‍රජාව විශේෂයෙන් සටන්කාමී තරුණයෝ අයිස් මෙන් ශක්තිමත් අතර නගරයේ තැනින් තැන ගලා යමින් නොනවතින අඛණ්ඩ අරගලයකය. සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන මෙම විරෝධතාකරුවෝ නොදන්නා ස්ථානයක හදිසියේ එකතු වෙති. පිණි වැටෙන සේ එකා දෙන්නා පැමිණ ජල දහරාවක් සේ එකතු වී අයිස් කැටයක් සේ ශක්තිමත්ව ගැටෙති. හොංකොං ආරක්ෂක අංශ විසුරුවා හරින්නට ප‍්‍රහාර එල්ල වන මොහොතේ මීදුමක් සේ අතුරුදහන් වෙති.

මෙම සංවිධාන ක‍්‍රම උදෙසා සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන බව ඔප්පු වී තිබේ. නියම නායකත්වයක් හදුනාගැනීමට අපහසුය. හොංකොං හි අරගල පාලනය කරනු සදහා නායකයෝ සොයා ගැනීමට නොහැකිවීම චීනයට ප‍්‍රශ්නයක් වී තිබේ. මුළු ලෝකයටම අභියෝග කරන්නට තරම් බලසේනා සහ නූතන අවි ආයුධ වලින් සන්නද්ධ චීනය දැන් හොංකොං හි විරෝධතාකරුවන් හමුවේ කුබ්ලායි ඛාන් ප‍්‍රතිපත්තියට මාරු වී තිබේ. එය අලූත් අවස්ථාවකි. හුදෙක් කැරලිකරුවන්ට ගිනි අවි එල්ලකර තද මර්දනයක් වෙනුවට ඔවුන්ට පලා යන්නට මගක් හැදීම ද බුද්ධිමත් තීරණයක් විය හැකි බව පෙනේ.