» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/07/2019 - දේශය
කාන්තාර සාරවත් කරන නැනෝ මැටි

ලෝකය පුරා කාන්තාර සාරවත් කරනු සදහා නැනෝ මැටි භාවිතා කරන්නට පර්යේෂකයෝ සූදානමින් සිටී. එය අලූතින් සොයා ගත් අපූරු තාක්ෂණයකි. කාන්තාරවල තෝරා ගත් ප‍්‍රදේශයන්හි පොලව කැන එහි අභ්‍යන්තරයට නැනෝ මැටි එන්නත් කරන අතර එය මහ පොලව සාරවත් කරන පියවරක් වශයෙන් යොදවා ගැනේ. නැනෝ මැටි ජල සංරක්ෂණ ස්ථරයක් වශයෙන් ක‍්‍රියාකරන අතර එය කාන්තාරයකට ජලය පොම්ප කරනු වෙනුවට උපයෝගී කරගත හැකි නවීන සොයා ගැනීමක් වශයෙන් භාවිතයට ගෙන ඇත.

වගාකරන ඉඩම් ප‍්‍රමාණය වැඩි කරගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් වී තිබේ. වැඩිවන ජනගහනයට ආහාර අවශ්‍යය. පවතින ඉඩම් ප‍්‍රමාණය ආහාර නිපදවන කාර්ය වෙනුවෙන් ප‍්‍රමාණවත් නැත. එක්සත් ජාතීන් ප‍්‍රකාශයට පත් කරන වාර්තාවකට අනුව දැන් පවතින ජනගහන බිලියන 7.6 ක ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩිවෙන බව තහවුරු කර ඇත. වසර 2050 වන විට එය බිලියන 9.8 ඉක්මවනු ඇති අතර සමහරවිට වසර 2100 වන විට බිලියන 11.2 තෙක් වැඩි විය හැකි බව ගණන් බලා තිබේ. අවම වශයෙන් පානීය ජලය හා ආහාර නිසි පරිදි සැපයිය යුතුය. ජීවත්වීම සඳහා මනා වාතාශ‍්‍රයකින් යුතු භූමි ප‍්‍රදේශ උවමනා කෙරේ. ලෝක ගෝලයේ පවතින ස්වභාවය අනුව ඉඩම හා ජලය ඉතාම සීමිත සාධකයකි. අනාගත මනුෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පරිසර සාධක සකස් කරන්නේ කෙසේද? එය පර්යේෂකයෝ ගැඹුරින් හිතා බලන කාරණයකි.

ඉඩමක් රහිතව වාසස්ථාන හා ආහාර වෙනුවෙන් වෙහෙසෙන්නට පුලූවන්කමක් නැත. එක පැත්තකින් කාන්තාර ප‍්‍රදේශ ප‍්‍රයෝජනයට ගත හැකි සේ සකස්කරන්නට අලූත් ක‍්‍රම අත්හදා බලන අතර මෙතෙක් ආහාරයට නොගත් කෘමි සතුන් පවා මිනිස් ආහාරයට උචිතදැයි සොයා බලමින් සිටී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය දා අලූතින් ආහාරයට ගත හැකි කෘමි සතුන් ගැන අනාවරණයක් කළේය. එකී කෘමීන් දැනට ආහාරයට නොගන්නා නමුත් ප්‍රෝටීන් බහුල කිසි අවැඩක් රහිත ආහාර බව නිවේදනය කළේය. ලෝකයේ වගා කළ හැකි ඉඩම් වලින් සියයට හැත්තෑවක් කෘෂි කටයුතු හා සත්ව පාලනයට වෙන් කර ඇති අතර එය ප‍්‍රමාණවත් නොවන තැනට පත්ව තිබේ. සෑම රටකම ජනී ජනයාගෙන් සෑහෙන කොටසක් නිරාහාරව රාත‍්‍රියේ නින්දට යති. එයින් පෙන්වන්නේ ඉඩම හා වගාව කොපමණ බලවත් අවශ්‍යතාවයක් ද යන්නය.

නැනෝ තාක්ෂණය අනුව නිපදවන ලද මැටි අලෙවියට සූදානම් කර ඇති අතර කම්හල් ඒවා ප‍්‍රවාහනය කර අවශ්‍ය තැන් වලට එන්නත් කරන්නට සූදානම්ය. එකවරක් පොලව කැන සෙන්ටිමීටර් 40-70 පමණ ඝනකම ස්ථරයක් තැනූ පසු වසර පහක් දක්වා සරු පසක් තැනිය හැකි බව ගණන් බලා තිබේ. සාමාන්‍යයෙන් කාන්තාර ප‍්‍රදේශවලට ජලය යෙදවීමේ දී අවශ්‍ය වන ප‍්‍රමාණයෙන් හරි අඩක් හෝ ඇතැම්විට තුනෙන් දෙකක් ජලය සංරක්ෂණය කරගන්නට මෙමගින් හැකිවනු ඇත. මහ පොලවේ දැනට පවතින භාවිතා කළ හැකි ජල සම්පත ප‍්‍රමාණවත් නැත. ඇන්ටාක්ටිකාවෙන් හිම ග්ලැසියර සාගරය ඔස්සේ ඇදගෙන එන දැවැන්ත ව්‍යාපෘතියක් ද අරඹා තිබේ. එසේ ඇදගෙන එන හිම ග්ලැසියර පොලව තෙත් කරන අතර අලූතින් යොදන නැනෝ මැටි එම පිරිවැය යම් ප‍්‍රමාණයකට කලමණාකරනය කරනු ඇත. එයට හේතුව මෙම නැනෝ මැටි කාන්තාර ප‍්‍රදේශවල ස්පොන්ජ් ක‍්‍රියාවලියක නිරත වනු ඇතැයි සැලකෙන බැවිනි. ලැබෙන සෑම ජල බිංදුවක්ම උරා ගන්නා අතර ඒවා සියුම් මැටි කුහර වල ගබඩා කර ගැනේ. කාන්තාර ප‍්‍රදේශවල වගා කරන විට මෙම මැටි ස්ථරය තුළ පවතින ජලය ප‍්‍රයෝජනයට ගත හැකිවනු ඇත. ඉතාම ඉහළ තාක්ෂණයකින් යුතු සෙවණ දැල් හා පොලිතීන් භාවිතා කරන හරිතාගාර සහිතව මෙම නැනෝ මැටි එන්නත් කළ ප‍්‍රදේශවල වගා කටයුතු සාර්ථකවන විට අනාගතයේදී මනුෂ්‍ය පරිභෝජනය උදෙසා ආහාර නිෂ්පාදනය එපමණ ගැටළුවක් විය නොහැකි බව සැලකේ.

නැනෝ මැටි ක‍්‍රමය සොයා ගන්නේ නෝර්වේ ජාතික ක‍්‍රිස්ටියන් ඔලෙසෙන් ගේ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙනි. 2005 දී කරන ලද අනාවරණ අනුව එක්සත් ආරාබි එමීර් හි කාන්තාර ප‍්‍රදේශයක දී සාර්ථකව අත්හදා බලා තිබේ. තෝරා ගත් භෝග වර්ග සමාන භූමි වල සිටුවන ලද අතර නැනෝ මැටි එන්නත් කර මහපොලව සකස් කරන ලද භූමියේ ජලය පරිහරණය අවම වන වගාවක් සාර්ථකව කරගෙන යන්නට හැකියාව ලැබුණ බව පර්යේෂණ වාර්තා දක්වයි.

ලෝකයේ විශාලතම කාන්තාරය වන සහරා ප‍්‍රදේශය වර්ග සැතපුම් මිලියන 3.5 ක් ඉක්මවයි. අප‍්‍රිකා, ඔස්ට්‍රේලියා, ඇමරිකා සහ මැදපෙරදිග කාන්තාර ප‍්‍රදේශවල පවතින කාන්තාර භූමිය ප‍්‍රයෝජනගයට ගත හැකි වුවහොත් ලෝකයේ සිදුවිය හැකි පරිවර්තනය බලවත්ය. ඇන්ටාක්ටිකා ප‍්‍රදේශයේ හිම කදු සහිත කලාපය සහරා කාන්තාරයට වඩා විශාල වන අතර එයින් කොටසක් කාන්තාර වල නැනෝ මැටි වෙනුවෙන් උපයෝගී කරගත හොත් මනුෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කිසිසේත් අපේක්ෂා නොකරන ලද ආහාර ප‍්‍රමාණයක් වගා කළ හැකි වනු ඇත. නමුත් මේවා තවමත් ආදර්ශ අත්හදා බැලීම් වශයෙන් පවතී. අධික වියදම මුහුණ දිය යුතු ගැටළුව වී තිබේ. නමුත් තාක්ෂණය දියුණූවන අතර යෙදවුම් පහසු වන විට වැලිතලාවෙන් යට වී ඇති කාන්තාර වල යම් කොටසක් සරු සාර වගා බිම් බවට පත් වෙන්නට බැරි නැත.