» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/06/2020 - දේශය
පැය 24ම වැඩ කරන කාර්යාල

යුගය අනුව අනුවර්තනය විය යුතුය. පරිනාමය අනුව ජීවය පවතී. වෙනස් නොවන දෙයක් නැත. වෙනස්වීම තුළ අලූත් දෙයක් නිර්මාණයවෙයි. සාමාන්‍යයෙන් පවතින ව්‍යුහයක් වෙනස් කිරීම අභියෝගයකි. එකම ක‍්‍රමයකට හිරවී තිබුණ සමාජයක් ගතානුගතිකය. වෙනස් කිරීම පහසු නැත. පැරණි ආකල්ප වලට හිර වී සිටී. විශේෂයෙන් දීර්ඝ ඉතිහාසයක් සහ සංස්කෘති පැවැත්මක් සහිත රටවල ජන සමාජවල අලූත් මුහුණුවරක් ඇති කිරීම බලවත් ගැටළු ඇති කරයි. කොව්ඞ්-19 වයිරසය ලෝකයේ මෙතෙක් පැවැති රාමුව තර්ජනයකට ලක් කළේය. හදිසි වේගයකින් යුහුසුළුව හඹා ගිය ජන සමාජ නිසොල්මන් කරන ලදී.

ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඇතිකරන්නට හේතුවෙන කණ්ඩායම් හැගීමෙකින් වැඩ කිරීම වෙනුවට සමාජ දුරස්ථභාවය ඉතා වැදගත් බව පවතින ව්‍යසනය ජන සමාජයට උගන්වා ඇති පාඩමකි. එතැනින් ලැබූ අත්දැකීම වැදගත්ය. නැවත නැගී සිටින අවස්ථාවේ දී අමතක කළ යුතු නැත. දුරස්ථභාවය ආරක්ෂා කරගෙන වැඩිපුර වැඩ කරන්නට තාක්ෂණය භාවිතා කළ හැකිය. මෙහි දී වෙනස් කළ හැකි පැති ගැන රාමුවෙන් ඔබ්බට හිතන්නට අවශ්‍යය.

කාර්යාල සංකල්පය තවදුරටත් වලංගු නැත. ආපසු හැරී බලන විට කාර්යාල ක‍්‍රමය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයකි. කර්මාන්ත යුගයේ දී රටවල් යටත් කරගත් අධිරාජ්‍යවාදීහු එම රටවල් පාලනය කරන අරමුණ ඇතිව නිලධාරී පැලැන්තියක් බිහි කළේය. එම නිලධාරීහු අණ පණත් පැනවූහ. අලූත් බදු ක‍්‍රම හදුන්වා දුන්නේය. ආර්ථිකය පාලනය කරන අරමුණ ඇතිව බලපත‍්‍ර නිකුත් කළහ. ප‍්‍රවාහනයට, මත්පැන් වලට, දැව කර්මාන්තයට, ඉදිකිරීම් වලට ඇතුළු දහසක් දේ වෙනුවෙන් ආණ්ඩුවේ කාර්යාලයෙන් බලපත‍්‍ර ගත යුතු විය. බලපත‍්‍රය නිකුත් කරන බලය ඇති තැන විශාල නිල තත්ත්වයක් ඇති විය. නිලධාරීවාදයක් තිබුණි. තාක්ෂණික යුගයේ දී පුද්ගලයා සතු දැනුම එකම බලය බවට පත්ව තිබේ. බලපත‍්‍රය වෙනුවට මුර පදය නොඑසේනම් පාස්වර්ඞ් යනුවෙන් අගුලක් නිර්මාණය වි ඇත. තොරතුරු තාක්ෂණ අවබෝධය ඇති සමාජය එය යතුරක් සේ භාවිතා කර දොරගුළු විවර කරගනියි. එය අලූත් ප‍්‍රවේශ්‍යකි.

තොරතුරු තාක්ෂණය තුළ භාණ්ඩ හා සේවා තිබේ. ඒවා ප‍්‍රද්ශනයට හා විකිණීමට හැකියාව ඇත. මුදල් භාවිතා නොකර වටිනාකම බැංකු වලට බැර වෙයි. භාන්ඩ ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම තාක්ෂණයට නැඹුරුය. ඉන්ධන නැති රියැදුරන් රහිත ප‍්‍රවාහන ක‍්‍රම හැදී තිබේ. ලෝකයේ එහා කෙළවර සිටින ගැනුම්කරු සමග සජීවිව සම්බන්ධ විය හැකිය. ව්‍යාපාරයක් අරඹන විට හො`ද කාර්යාලයක් හා දක්ෂ නිලදාරී කණ්ඩායමක් අවශ්‍ය නැත. කර්මාන්ත යුගයෙන් තාක්ෂණ යුගයට ඇතුළුවන විට ලැබෙන අවස්ථා බොහෝය. කොවිඞ් -19 වසංගතයෙන් පසු යළි ක‍්‍රියාත්මක වන සමහර රටවල් වයිරසයේ බලපෑමට යටත්ව තිබුණ කාලයේ දී තොරතුරු තාක්ෂණයෙන් රාජකාරි කරගත් ස්වභාවය දිගටම කරගෙන යන්නට සූදානම්ය. එම ව්‍යුහයට ඇතුළු විය හැකි හා නොහැකි රටවල් වශයෙන් ලෝකය නැවතත් බෙදෙමින් තිබේ. දක්ෂ මානව සම්පතක් ඇති නමුත් තොරතුරු තාක්ෂණය භාවිතා කර ඉදිරියට එන්නට අසමත්වන සමාජ, අනාගතයේ දී දුප්පත් භාවයට තල්ලූවනු ඇත. දැන් කතාකරන නැති බැරි කම අනාගතයේ දී වෙනස් වනු ඇත. අන්තර් ජාලයට ප‍්‍රවේශ වී සේවා සම්පාදනය කරගන්නට අසමත්වන රටවල් සහ වෙනස් සමාජ දරිද්‍රතාවයක් සහිත තැන් බවට පත්වනු ඇති අතර එය අවාසිදායක තත්ත්වයකි.

ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් අනාගතයේ දී පවතින තැන ගැන තිරණයක් ගැනීමට වටිනා මොහොතක් උදා වී තිබේ. නැවත වතාවක් කාර්යාල විවාත කර ඒවායේ නිලධාරීන් පුරවා උදේ හවස ප‍්‍රවාහනය කිරීමෙන් ලැබෙන සංවර්ධනය පලක් නැති එකකි. අනාගතයේ දී අපගේ දරුවන්ගේ දවස උදාවෙන විට ඔවුහු තව දුරටත් බස් රියේ හෝ දුම්රියේ එල්ලී වැඩට යන තැනට පත් කළ යුතු නැත. අලූත් පියවරකට යා යුතුය. කාර්ය මණ්ඩලය ගෙදර යවා නිවසේ සිට වැඩ කරන යුගයක් ඇරඹීම අවශ්‍යය. කාර්යාල කටයුතු පැය විසි හතරම විවෘත කළ හැකිය. වෙළ`ද පොලට එන්නේ නැති නිෂ්පාදන කෙළින්ම පාරිභෝගිකයා අතට යැවෙන ක‍්‍රම හදන්නට බැරිකමක් නැත. ගතානුගතික අදහස් වලින් ගැලවෙන්නට අවශ්‍යය. තමන් අත බලය තබා ගත යුතුය යනුවෙන් හිතන නිලධාරී පැලැන්තිය විශ‍්‍රාම යවන තිරණ ගත යුතුය. කොවිඞ්-19 වයිරසයෙන් ගැලවී අලූත් ආලෝකයක් උදා වෙන අවස්ථාවේ දී නිවැරදිව කල්පනා කළහොත් ලෝකයේ අනෙක් රටවලට වඩ ඉදිරියෙන් සිටින්නට ශ‍්‍රී ලංකාවට හැකියාව තිබේ.