» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/04/2019 - දේශය
සුර්ය මංගල්‍යය වසර 2050 දී උදාවෙන අයුරු

පෘතුවිය ගමන් කරන ආකාරය ගණන් බලන සාස්ත‍්‍රඥයෝ මීන රාශියෙන් මේෂ රාශියට එන අවස්ථාව අලලා අවුරුදු උදාව සනිටුහන් කරති. සිංහල හා දෙමල අලූත් අවුරුද්ද සූර්යය මංගල්ල්‍යයක් සේ සලකන්නට නැඹුරු වී සිටිති. කෙත් වතු වපුරා, අටු කොටු පුරවා ගෙන සෞභාග්‍යවත් මාසයේ දී සතුටුවීම ලාංකේය අනන්‍යතාවයේ කොටසකි. අනාගතයේ දී හැමදාමත් සූර්ය අවුරුදු විය හැකිය. සූර්යයා ගේ වටිනාකම දිවා ආලෝකය ලැබීම ඉක්මවා ජන සමාජය හා බද්ධ විය හැකි බව පර්යේෂකයෝ සනාථ කර තිබේ.

අවුරුදු විස්සකට තිහකට කලින් සූර්යයාගේ ආලෝකයෙන් විදුලිය නිපදවන්නට පුලූවන්කමක් ගැන එපමණ අවධානයක නොසිටියේය. සුළු ප‍්‍රමාණයකින් යම් බලශක්තියක් නිපදවිය හැකි බව දැනගෙන සිටිය නමුත් එම බලය ලෝකයේ අත්‍යවශ්‍ය වටිනාකමක් සපුරනු ඇතැයි කිසිසේත් විශ්වාස කළේ නැත. 2015 වසර වන විට පවා ලෝකයේ විදුලිය බල නිෂ්පාදනයෙන් සියයට එකක පමණ සුළු කොටසක් සුළං හා සූර්ය විදුලිය උත්පාදනයට වෙන් වී තිබුණි. දැන් පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ අනෙකකි. එනම් වසර 2050 වන විට ලෝකයේ භාවිතා වන බලශක්තියෙන් හරි අඩක් සූර්ය බලයෙන් නිපදවනු ඇත. එය හිරු එළියට අති විශාල වටිනාකමක් දෙන අදහසක් වී තිබේ. අන්තර් ජාතිකව විශාල අවධානයට ලක් ව තිබේ.

ඉදිරි වසර තිහ තුළ සෑම ගෘහයක්ම විදුලිය බලාගාරයක් බවට පත් වනු ඇත. එය පුලූල් දර්ශනයකි. බලශක්තිය උත්පාදනය හා අලෙවිය අතිවිශාල ආයෝජනයක් සහිත දැවැන්ත කර්මාන්ත බවට තිබුණ මතය ශුන්‍ය වෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් බලශක්ති උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කර තිබේ. එය විශාල බලයක් ඇති වගකීමක් ඇති අංශයක් සේ සැලකේ. ලෝකයේ නොයෙක් රටවල් නිවාස ඉදිකරන විට හිරු එළියෙන් නිවස බලගැන්වීමට හැකි යටිතල පහසුකම් සහිතව නිර්මාණය කළ යුතුය. කැලිෆෝනියා ප‍්‍රාන්තය එයින් එකකි. වසර 2020 වන විට රජයේ හෝ පුද්ගලික අංශයේ මහල් තුනකට වැඩි ඉදිකිරීම් වල දී සූර්ය කෝෂ භාවිතය අනිවාර්ය සාධකයකි. කර්මාන්තශාලා වලට 2030 වන තෙක් කල් දී තිබේ. මෙම අවශ්‍යතාවය සම්පූර්ණ නොකරන්නේ නම් සැලසුම ප‍්‍රතික්ෂේප කරයි. කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වසරකට නිවාස 113,000 ක් ඉදිවන අතර දැනට එහි සූර්ය කෝෂ භාවිතාව සියයට 15 කි. වසර 2020 වන විට ජාතික විදුලිය බල පද්ධතියෙන් භාවිතය බිංදුවක් බවට පත්වන ගෘහ ඒකක ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඉදිවනු ඇතැයි අපේක්ෂාවයි.

සූර්යයාගෙන් විදුලිය නිපදවීම සඳහා තාක්ෂණය සොයා ගෙන තිබේ. දහවල් කාලයේ නිපදවන විදුලිය රාත‍්‍රි අවශ්‍යතාවය වෙනුවෙන් ගබඩා කරන්නේ කෙසේද යන්න පමණක් ගැටළුව වී ඇත. සූර්ය කෝෂ එනම් විදුලිය පැය ගණනක් ගබඩා කළ හැකි බැටරි, සම්බන්ධ තාක්ෂණය සොයාගැනීමට මහන්සිවීම සමහර රටවල් සහ ආයතන විශාල පරිශ‍්‍රමයක් දරන කාර්යයකි. කුඩා ප‍්‍රමාණයේ බැටරි වල වැඩි බලයක් ගබඩා කළ හැකි ක‍්‍රමය සොයා ගැනීම සදහා වන පර්යේෂණ වලට වැය කිරීමට අරමුදල් පවා සම්පාදනය වී ඇත. මෙම අරමුදල් වලට යොමු කරන ව්‍යාපෘති වාර්තා මගින් පර්යේෂකයන්ට අලූත් අත්හදා බැලීම් කරන්නට අවස්ථාව උදා වී තිබේ.

නිවස විදුලි බලාගාරයක් වන විට එයට යෙදවිය යුතු මුදල ගැන ගැටළු අවධානයට ගැනෙන තවත් පැත්තකි. සූර්ය කෝෂ මිල අධික බව ප‍්‍රකාශ වේ. නමුත් තාක්ෂණය දියුණුව සමග එහි මිල පහත වැටී ඇත. වසර 2050 වන විට ගෘහස්ථ සූර්ය කෝෂ වෙනුවෙන් කරන වියදම සියයට 71 කින් අඩුවනු ඇති අතර සුළං බලාගාර ඉදිකිරීමේ වියදම සියයට 58 කින් අඩු විය හැකි බව අනාවරණය වෙයි. මෙවලම් වල මිල පහත වැටීම, සෑම නිවසක්ම විදුලිය බලාගාරයක් කරන සැලසුමට උත්පේ‍්‍රරකයක් වනු නිසැකය.

විදුලිය සම්බන්ධයෙන් විය හැකි පරිවර්තනය අද සුලභව භාවිතා වන ජංගම දුරකථනයට සමාන කරන්නට ඇතැම් පාර්ශව යුහුසුළු වී ඇත. ජංගම දුරකථන භාවිතය අරම්භ වූ මුල් වකවානවේ එය එක්තරා පැලැන්තියකට සීමා වූ අධික මිලක් සහිත සුපිරි උපකරණයක් වූ අතර සන්නිවේදනය වෙනුවෙන් ගෙවිය යුතු මිල ද අධික විය. නමුත් ඉතාම වේගයෙන් ජංගම දුරකථනයේ මිල අඩු වූ අතර එයින් කරගත හැකි කාර්ය සම්බන්ධ තාක්ෂණය ද වේගයෙන් දියුණු විය. තරගකාරී සමාගමම්වල කටයුතු හෙයින් ගාස්තු ඉතා අඩු වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමාජ සන්නිවේදන ව්‍යුහයක් බිහි වී ඇත. එය අනපේක්ෂිත තත්ත්වයකි. කවර චෝදනා ඇති නමුත් ජංගම දුරකථන සන්නිවේදනයේ විශාල වාසි ඇති බව පිලිගත යුතුය. විදුලියට ද එය සිදුවිය හැකි බව පැවසේ. ඒ අනුව නිපදවීම ලෙහෙසි වන අතර ගබඩා කිරීමට අලූත් තාක්ෂණය උපකාරී විය හැකිය. ඇතැම් අවස්ථාවක විදුලිය බෙදාහැරීම දුරකථන හෝ වෙනත් සන්නිවේදන රැහැන් සමග එකම කේබල් වල කළ හැකි බව ද සොයා ගෙන ඇත. එය අතිශය වියදම් අඩු ක‍්‍රමයක් වන අතර විදුලිය ගාස්තු ඉතාම අඩු මට්ටමකට පත් කරන්නට හේතු වනු ඇතැයි සැලකේ.

සූර්යයාගෙන් නිපදවන විදුලිය සමස්ථ බලශක්තියෙන් සියයට පනහක් වන අවස්ථාවේ දී පවා අන්තර් ජාතිකව කනස්සල්ලට පත්ව ඇති එක කාරණයක් තිබේ. එනම් කාර්මීකරණය නිසා පරිසරයට සිදුවන බලපෑම නතර නොවීමය. පොසිල ඉන්ධන භාවිතය පහත වැටී, වාහන වලින් පිටවන දුම ප‍්‍රශ්නයක් නොවන තරමට පැවැතිය හැකි නමුත් ලෝකයේ තිරසාර පැවැත්ම වෙනුවෙන් හිතකාමී බලශක්ති භාවිතය පරිහරණය තවත් වේගවත් කළ යුතුය. පරිසරයට හානි නොකරන විදුලිය උත්පාදනය හා හැකි පමණින් සෑම අවස්ථාවක දීම ගෝලීය උණුසුම ගැන අවධානය යොමු කිරීම වැදගත් කාරණයකි.

අලූත් අවුරුදු කාලයේ දී නොනගතයට පසු නැකතට වැඩ අරඹන ශ‍්‍රී ලංකාවාසී අප සියළු දෙනාටම කුඩා සූර්ය බල විදුලිය උත්පාදකයන්වීමේ හැකියාවක් තිබේ. එයට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය අවශ්‍යය. මිල පහසු කළ යුතු අතර නවෝත්පාදන අදහස් සමාජය වෙත යොමු කළ යුතුය.