» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/03/2021 - දේශය
නියම ලෙදර් නම් පතොක් නිෂ්පාදනයක් මිල දී ගන්න

ලෙදර් නිෂ්පාදන වලට බලවත් ආසාවක් දැක්වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. උසස් ලෙදර් නිෂ්පාදන ඉතා මිල අධිකය. ලෙදර් සපත්තු, හිස් වැසුම් හා ඉන පටි වලට ඉහළ ඉල්ලූමක් තිබේ. ගෘහ භාණ්ඩ හා යාන වාහනවල ආසන කවර පවා ලෙදර් වලින් නිෂ්පාදනය කෙරේ. ඒවායේ ප‍්‍රමිතිය අනුව අධික මිලක් අය කෙරේ. එහෙත් පරිහරණය කළ හැකි ඉතාම සීමිත පිරිසකටය. ස්වභාවික ලෙදර් වලට සමාන කෘතීම ලෙදර් විශේෂයන් ද නිෂ්පාදනය කෙරේ. බහුලව භාවිතා කරන්නේ කෘතීම නිෂ්පාදනයන්ය. උසස් තත්ත්වයේ ස්වභාවික ලෙදර් වලට කැමැති පිරිසක් පමණක් නොව එයට එරෙහි ජන මතයක් ද ඇත. ස්වභාවික ලෙදර් සත්ව සම්වලින් නිෂ්පාදනය කෙරේ. එය විශාල කර්මාන්තයකි. අභ්‍යන්තරය ඛේදවාචකයකි. ගවයන්, එළුවන්, බැටළුවන් ඇතුළු විවිධ සතුන් අති විශාල ප‍්‍රමාණයක් මිනිසුන්ගේ ලෙදර් නිෂ්පාදන වෙනුවෙන් ජීවිත කැපකරති. සත්ව සම් පදම්කර නිපදවන ලෙදර් නිෂ්පාදනය තුළ සත්ව ඝාතනයක නොමැකෙන සලකුණු තිබේ. අනෙක සම් පදම් කරන සම්ප‍්‍රදායික ක‍්‍රම පරිසරයට කරන හානියයි.

ස්වභාවිකව සත්ව සම් වලින් හෝ පොලියුරතීන් ප්ලාස්ටික් වලින් නිපදවන නමුත් පරිසරයට කරන හානිය වෙනසක් නැත. සත්ව ඝාතනය, හම් පදම් කිරීම සැලකිය යුතු තර්ජනයකි. පොලියුරතීන් ලෙදර් නිෂ්පාදන පවා දිරාපත්වීම ප‍්‍රමාද වන අතර එය පරිසරයට සෑහෙන විනාශයක් වී ඇත. මෙම දෙපැත්තම පැත්තකට කරන අලූත් ව්‍යුහයක් ගැන ලෝක ප‍්‍රජාවගේ අවධානය යොමු වී තිබේ. පතොක් ශාඛ පල්ප උපයෝගී කරගෙන ස්වභාවික ලෙදර් නිපදවන ප‍්‍රයත්නයක් සාර්ථක වී ඇති බව මැක්සිකෝවෙන් වාර්තාවෙයි. කිසිම පරිසරයට හානියක් නැති බව නිර්ලෝභීව ප‍්‍රකාශ කළ හැකිය.

ඒඩි‍්‍රයන් සහ කර්සර්සේ යන ව්‍යවසායකයන් දෙදෙනා 2019 වසරේ ලෙදර් නිෂ්පාදන සම්බන්ධ ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයක දී ඔවුන් ගේ සොයා ගැනීම ලෝකය හමුවේ තැබීය. එය විශාල ආකර්ශනයක් යොමු වූ සිද්ධියකි. පතොක් ශාඛ වලින් නෙලා ගන්නා කොටස් දින තුනක් වියලන අතර පසුව ඒවා පල්ප බලට හරවා මෙම ස්වභාවික ලෙදර් නිපදවන බව අලූත් සොයාගැනීම කළ ව්‍යවසායකයෝ මාධ්‍යයට අනාවරණය කර තිබේ. මේවායෙන් සපත්තු, අත් බෑග්, විසිතුරු මෙවලම් පමණක් නොව ශක්තිමත් හා නම්‍යශීලී වන අතර මෘදු භාවයක් සහිත නව නිෂ්පාදන පරිහරණයට පහසු බව දැක්වෙයි. පතොක් වලින් නිපදවන ලෙදර් සාමාන්‍යයෙන් වසර දහයක් පමණ පවතින බව ද කියැවෙයි.

පතොක් ශාඛ කොටස් උපයෝගී කරගෙනන ද්‍රව ඉන්ධන නිපදවන හා ඒවායෙන් හරිත බලශක්තිය සදහා ද 2015 දී පමණ සාර්ථක අත්හදා බැලීම් කර ඇති බව මෙක්සිකෝවෙන් වාර්තාවෙයි. එම සොයා ගැනීමට ජාත්‍යන්තර සම්මාන ද පිරිනමා ඇත. මෙක්සිකෝවේ කාන්තාර ප‍්‍රදේශවලවිශාල වශයෙන් පතොක් වර්ග තිබේ. විශේෂ හත්සියයකට වඩා හදුනාගෙන ඇත. සමහර වර්ගවල කොටස් ආහාරයට ගන්නා බව ද දැක්වෙයි. හෙක්ටයාරයක මෙටි‍්‍රක් ටොක් 300-700 අතර පතොක් නිෂ්පාදනයක් ඇති අතර සමහර ව්‍යවසායකයෝ වගා කරන්නට ද නැඹුරු වී සිටිති. ජල සම්පාදනය අනවශ්‍යය. පොහොර යෙදීම ද උවමනා නොකෙරේ. පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කරගෙන පතොක් ශාඛප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලියෙහි නිරත හෙයින් විශාල අතිරේක වාසියක් ද ලැබේ. නවතම සොයා ගැනීම වශයෙන් සැලකෙන ස්වභාවික ලෙදර් නිපැයුම් කෙරෙහි ලෝකයේ නොයෙක් තැන් වලින් සෑහෙන අවධානයක් යොමු වී ඇත.

ස්වභාවිකව නිපදවන ලෙදර් නිෂ්පාදනයෙහි වැදගත්කම සලකා බැලීම සුදුසුය. ලෝකයේ ලෙදර් නිෂ්පාදනය කරන ක‍්‍රම දෙක අතරින් වඩාත් ආකර්ශණීය සත්ව සම් භාවිතයයි. ගවයන් උපයෝගී කරගැනීමේ ප‍්‍රතිශතය ඉහළය. සත්ව මස් මාංශ අනුභව නොකරන පිරිසක් සිටින නමුත් දිනපතා මිලියන සංඛ්‍යාත ගවයන් පිරිසක් ආහාරය සදහා ඝාතනය කෙරෙති. මෙම සත්වයන් ගේ සම් ලෙදර් නිපදවන්නට යැවේ. සත්ව සම් වලින් නිපදවන ලෙදර් වලදී ගවයන් ගේ සම් භාවිතය සම්පූර්ණ ප‍්‍රමාණයෙන් සියයට 63 ක් බව දැක්වෙයි. මස් හෝ සම් සදහා සතුන් මැරීම පමණක් නොව සත්ව පාලනය පදනම් කරගෙන ලෝකයේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනය දද බරපතල බව මෙහි දී සඳහන් කළ යුතුය. අලූත් වාර්තා පෙන්වා දෙන පරිදි හරිතාගාරවල කෘතීමව කරන සත්ව පාලනය අහිතකර වායු විමෝචනය සම්බන්ධයෙන් සියයට 14.5 ක ප‍්‍රතිශතයකින් වගකිව යුතු බව අනාවරණය වී තිබේ. මහා පරිමාන සත්ව පාලන ගොවිපොල වලින් නිකුත්වන වායු ඉතා අහිතකර තත්ත්ව ඇතිකර තිබේ. වසරකට සත්ව සම් භාවිතා කර නිපදවන ලෙදර් ප‍්‍රමාණය වර්ග අඩි බිලියන 23 ක් බව දැක්වෙයි. මෙපමණ සතුන් ප‍්‍රමාණයක ගේ සම් පදම් කිරීම ද විශාල ජල ප‍්‍රමාණයක් දූෂණය කරන වැඩ පිලිවෙලක් බව අනාවරණය කළ යුතුය. සත්ව සම් පදම් කිරීමෙන් නිපදවන ලෙදර් ටොන් එකක් සදහා ජලය කියුබික් මීටර් අසූවකට වඩා අපවිත‍්‍ර වෙයි. රසායනික ද්‍රව්‍ය හා පොලිතීන් භාවිතා කර නිපදවන ලෙදර් නිෂ්පාදන එයට වඩා හානිකර තත්ත්වයක් බව සදහන් කිරීම අවශ්‍යය. බ‍්‍රසීලය, රුසියාව හා ඉන්දියාව වැනි රටවල් සත්ව සම් බා කෘතීම පොලිතීන් වලින් ලෙදර් නිපදවන රටවල් අතර පෙරමුණෙහි සිටී.

මෙවැනි පසුබිමක් තුළ මෙක්සිකෝවේ ව්‍යවසායකයන් අනාවරණය කරගෙන ඇති පතොක් ගස් වලින් ලෙදර් නිපදවීම පරිසරවේදීන්ගේ මහත් පැසසුමට ලක් වී ඇති කරුණකි. සම් භාණ්ඩ මිල දී ගන්නා විට සත්ව ළාතනයක් ගැනත් එහෙම නැත්නම් පරිසරයට හානි කරන පොලිතීන් විශේෂයක් ගැනත් කල්පනා කිරීම කාලෝචිතය. අනෙක පතොක් වලින් නිපවන ලද මෙවලමක් මිල දී ගැනීමේ දී කිසිසේත් දෙවරක් කල්පනා කළ යුතු නැත.