» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/02/2021 - දේශය
බැංකු විකුණන සූදානමට ජනතා විරෝධය මතු විය හැකි ලකුණු

වානිජ බැංකුවල ව්‍යුහාත්මක රාමුව වෙනස් වෙමින් තිබේ. ධනය තැන්පත් කරන්නට හෝ තමන්ගේ ගිණුමේ ඇති මුදල් පරිහරණය කරන්නට පෝලිමේ සිටිය යුතු කාලය අවසන්ය. තාක්ෂණය වේගයෙන් ඇතුළු වෙමින් තිබේ. බැංකු කාර්ය මණ්ඩලය බලා සිටිය දී ගනුදෙනුකරුවෝ අන්තර් ජාලයෙන් තමන්ගේ ගිණුම මෙහෙයවන අතර නුදුරු කාලයේ දී වානිජ බැංකුව ගනුදෙනුකරුවෝ නොගැවසෙන තැනක් බවට පත්වීමට ඉඩ ඇත. එහෙත් සම්ප‍්‍රදායික ආකල්ප වල පිහිටා තීරණ ගන්නා සමාජ සිටින රටවලට බැංකුවක් යනු විශාල සංකල්පයක්ය. ආණ්ඩුව අයිතිය ආරක්ෂා කළ යුතුය. බැංකු ගොඩනැගිල්ලක් ගැන කසුකුසුවක් පවා මහා ආන්දෝලනයකට හේතුවකි. ප‍්‍රතිසංස්කරණයක් හෝ නවීකරණයක් සදහා ගෙන එන යෝජනා බැංකු විකිණීමක් බවට අර්ථ දක්වති. විරෝධතා අවුලූවන සමහර වෘත්තීය සමිති ගනුදෙනුකරුවන් තැති ගන්වා රට කළඹන උත්සාහ ගනිති.

නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව ඉන්දියානු රජයට අයත් ප‍්‍රධාන බැංකු හතරක් පුද්ගලීකරණය කිරීමට සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. එය තියුණු අවධානයකට ලක් ව තිබේ. කොවිඞ් වසංගතයේ පැතිරීම හා එයින් ආර්ථිකයට අත්වූ අවාසි තක්සේරු කරන එරට බලධාරීහු නැවත පුනර්ජීවණයක් උදෙසා කළ යුතු වෙනස්කම් යෝජනා කර තිබේ. ඒවායෙන් තොරව ගැලවීමක් නැත. එහෙත් වෘත්තීය සමිති සහ ජනී ජනයා මෙම සංශෝධන ප‍්‍රශ්න කරමින් සිටී. ඉන්දියාවේ ගොවි අරගල තවමත් අවසන් නැත. රජයට පමණක් සීමා වී තිබුණ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේ අයිතිය පුද්ගලික අංශයට ද විවෘත කිරීම ගැන ගොවියෝ විරුද්ධත්වය පළ කරති. එම යෝජනාව තවමත් විසදුමක් නැත. ඉන්දිය පාරිලිමේන්තුවේ විරෝධතා ඇත. ලක්ෂ ගණනින් ගොවියෝ නව දිල්ලිය වටලා තිබේ. ගැටුම් හෙයින් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇත. නගරයේ ජීවත්වන වැසියන්ට සිය එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ගොවියන්ට විරුද්ධ සටනක් ද පැන නැගී තිබේ. ඉන්දීය ආරක්ෂක අංශවල පමණක් නොව නගරවාසීන්ගේ ද විරෝධය මැද ගොවියෝ සිය අණසක පතුරවමින් සිටී. රජයට අයත් බැංකු පුද්ගලීකරණ යෝජනාව ගොවි විරෝධය හා සමානව ඇවිලෙන පියවරක් ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ නමුත් යුගයට ගැලපෙන පරිදි ක‍්‍රමය වෙනස් නොකළහොත් අවසානයේ දී හනමිටිය කර තබාගෙන ගිය මනුෂ්‍යාට අත්වූ ඉරණමට මුහුණ දෙන්නට සිදුවෙයි. ලෝකය දියුණු වූයේ පරිවර්තනයකින්ය. වෙනස්කම් වලින් වන අතර අවදානමට පරදුව තබමින්ය. දියුණුව ගැන විවේචන හා වෙනත් අර්ථකථන තිබේ. වැඩිවන ජගහනය, ඔවුන්ගේ මුලික අවශ්‍යතා සැපිරීම සහ ඉක්මනින් කරගැනීමට ඇති තරගය නොනවතින පීඩනයකි. පාලකයෝ උත්තර සොයන අතර විරුද්ධ මතධාරීහු අවහිර කරති.

ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ආණ්ඩුව 1969 වසරේ දී එරට බැංකු දහ හතරක් ජනසතු කළ අතර මුල්‍ය ක‍්‍රමය ආණ්ඩුවේ පාලනය යටතට ගැනීම අරමුණු කරගෙන ගත් තීන්දුවකි. දශක පහකට පසු නරේන්ද්‍ර මෝදි පාලනය දැනට රජය සතු බැංකු දොලහකින් හතරක කොටස් විකිණීමට තීරණය කර තිබේ. තවත් බැංකු එකතු කළ යුතු බව යෝජනා කර ඇත. මෙම ක‍්‍රියාවලිය ඉක්මන් කරන සේ එරට මුල්‍ය බලධාරිහු නියම කර ඇති බව සදහන්ය. පන්ජාබ් ඇන්ඞ් සිංග් බැංකුව, මහරාශ්ඨ බැංකුව, යු.සී.ඕ. බැංකුව හා අයි.ඞී.බී.අයි. බැංකුව කොටස් විකිණීමට තීරණය කර ඇති බැංකු අතර වෙති. තවත් වාර්තාවකට අනුව තෝරාගත් තවත් රජයට අයත් වානිජ බැංකු දෙකක් කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. මෙම බැංකුවල කොටස් වලින් වැඩි ප‍්‍රමාණයක් රජයට අයත්ය. අයි.ඞී.බී.අයි. බැංකුව එරට බැංකු හා මුල්‍ය අංශයෙන් සියයට හතලිස් එකක් උසුලන ප‍්‍රධාන මුල්‍ය ආයතනයකි. එහෙත් මේවායේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වී තිබේ. ණය ආපසු අය කරගැනීමේ ශඛ්‍යතාව පහලය. රජයට ලැබෙන ආදායම පහත වැටී ඇති අතර මුල්‍ය ක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කළ හැකි නමුත් තවත් නිලධාරීන් හා ආයෝජන අවශ්‍ය බව එම බැංකුවේ ප‍්‍රධානීහු පෙන්වා දී ඇති කරුණකි.

ලබන අප‍්‍රියෙල් මාසයේ නියමිත අය වැය යෝජනා වල දී ජාත්‍යන්තර තරගකාරීත්වයට හා වෙළද පොලට ගැලපෙන ප‍්‍රතිසංස්කරණ කෙරෙහි එරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කර ඇත. පසුගිය කාලයේ දී වේගවත් වර්ධනයක් තිබුණ නමුත් ඉන්දීය බැංකුවල ණය අය කරගැනීමේ දුබලතා ලෝකයේ ඉහළම ප‍්‍රතිශතයක තිබීම ගැටළුකාරී තත්ත්වයක් විය. පවතින කොවිඞ් වසංගතය සහ ලෝක ආර්ථිකයේ අයහපත් ප‍්‍රවණතා ඉදිරියේ වෙනත් විකල්පයක් නැති තැනට ඉන්දියාව පත්ව තිබේ. ප‍්‍රකට ආර්ථික විශේෂඥයෝ බැංකු කොටස් විකිණීමේ තීරණයට ප‍්‍රසාදය පළ කර ඇත. වර්ධනය අරමුණු කරගත් ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරන්නට අසමත්ව තිබුණ බැංකු මෙමගින් වෙනසකට පත්වන අතර එය ඉදිරි ගමන ගැන හොද සන්ධිස්ථානයක් වශයෙන් දක්වයි. සුපුරුදු පරිදි මෙවැනි යෝජනා ජනප‍්‍රිය නැති අතර අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නට ඇතිවිය හැකි බාධා ගැන ද ඉන්දීය ආර්ථික විශේෂඥයෝ අවධානය යොමු කර ඇති තවත් පැත්තකි.

භාරතීය ජනතා පක්ෂය බලයට පත්කරගන්නේ විශාල බලාපොරොත්තු ඇතිවය. ඉන්දීය අගමැතිවරයා පසුගිය කාලය තුළ ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ ගණනාවක් හදුන්වා දී තිබේ. අන්ද්‍ර ප‍්‍රදේශයේ මහ ඇමැති වශයෙන් කටයුතු කළ කාලසීමාවේ පුලූල් දැක්මක් අනුව වේගවත් සංවර්ධන කාර්ය භාරයක් ඉටු කළ බව සදහන් කළ යුතුය. එහි අත්දැකීම් වලින්න පරිනතය. ජනතාව අතරට ගිය හෙතෙම පලාත් මහ ඇමැති වශයෙන් පලාත් ආණ්ඩුව තුළ දූෂණ හා වංචා පිටු දකින පිලිවෙලක් අනුගමනය කළේය. සරල පැවැත්මක පිහිටියේය.

අයවැය යෝජනාවලට කලින් කරළියට පැමිණි රාජ්‍ය බැංකු කොටස් විකිණීම සම්බන්ධ අදහස එරට ආයෝජන ක්ෂේත‍්‍රයේ පිබිදීමකට හේතුවිය. බැංකු ගණනාවක කොටස් මිල ඉහළ ගියේය. එහෙත් බැංකු වෘත්තීය සමිති මෙම වෙනස්කම් වලට එකග නැත. ඉන්දීය රජය මෙම තීරණය ක‍්‍රියාත්මක කළහොත් වර්ජනයකට සූදානම් බව ප‍්‍රකාශ කර තිබේ. රටක් ගොඩනගන්නට නම් වෙනස්කම් අවශ්‍යය. ගතානුගතිකත්වයෙන් පලක් නැත. ප‍්‍රතිසංස්කරණ වලට විරෝධතා තිබේ. පාලකයෝ සහ පාලිතයෝ ගැටෙති. නායකයන් ගේ දර්ශනය එකහෙලා පිලිගන්නට විරුද්ධවාදීහු සූදානම් නැත. කරුණු පැහැදිලි කර දී සත්‍ය වටහා දෙන අලූත් සන්නිවේදනයක් අත්හදා බැලීමක කාලෝචිත බව පෙනේ.