» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/12/2020 - දේශය
ඉන්දීය ගොවි පිරිසක් කැලෑවෙන් සොයාගත් පලතුරු නිධානය

අරුණාචල් ප‍්‍රදේශ් ඉන්දියාවේ වයඹ කෙළවරක පිහිටියේය. 1962 දී ඉන්දු චීන අරගලය පැවැති අවස්ථාවේ දී ප‍්‍රනේතයේ කොටසක් තාවකාලිකව යටත් කරගන්නට චීන විප්ලවීය හමුදාව සමත් විය. මිලියන දහ හතරක පමණන ජනගහනයක් වෙසෙන මෙහි කෘෂිකාර්මික කටයුතු බහුලය. ජනතාවගේ පැවැත්ම සරලය. පසුගිය දා ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කළ පරිදි පළමුවරට එම ප‍්‍රදේශයේ ඇති කිවි නමැති පලතුර වස විස රහිත සැපයුම සම්බන්ධ සහතිකය හිමි කරගත්තේය. අරුණාචල් අවට ප‍්‍රදේශ කිසියම් එක දෙයක් බහුලව වගාකිරීම ගැන ප‍්‍රසිද්ධ අතර අරුණාචල් හි වැසියෝ තම අනන්‍යනාව වෙනුවෙන් කිසියම් නිෂ්පාදනයක් කරගෙන යන නොනිත් උත්සාහයක සිටියේය.

කිවි පලතුර ගැන පළමුවෙන් වාර්තාවෙන්නේ චීනයේය. දොලොස් වැනි සියවසේ දී චීනයේ ඇතැම් ප‍්‍රාන්තවල ස්වභාවිකව වැවුණ කිවි ගෙඞ් ඉතා රසවත් හෙයින් අනුභව කරන්නට පෙළැඹී ඇත. පසුව ලෝකයේ නොයෙක් රටවල වැසියෝ එහි රසවත් බවට හුරුවූහ. ලෝකයේ කිවි පලතුර නිපැයුම මෙට්‍රික් ටොන් මිලියන හතරක් බව වාර්තාවන අතර චීනය හැරුණකොට ඉතාලිය, නවසීලන්තය හා ඉරානය බහුලව වගා කෙරේ. අපනයනය සදහා වැඩිම නිපැයුමක් කරන්නේ නවසීලන්තයබව සදහන්ය.

දශක දෙකකට පමණ කලින් ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශ් හි ගොවියෝ වනාන්තරවල ස්වභාවිකව වැවී තිබුණ පදුරු ගස්වල ගෙඩි විශේෂයක් කඩා සතුන්ගේ ආහාරයට දෙන්නට හුරු වී සිටියේය. එය ලෝකයේ සුපිරි වෙළද සැල්වල විකිණෙන පලතුරක් බව මුලින් දැන සිටියේ නැත. පසුව එය රසවත් පලතුරක් පමණක් නොව ඉන්දියාවේ ප‍්‍රධාන නගරවල අලෙවි කරන ආනයනික දෙයක් බව තහවුරු කරගත්හ. දශක දෙකකට පමණ කලින් වෙළද පොලට සැපැයීම ආරම්භ කරන ලද අතර දැන් ඉන්දියාවේ වාර්ෂික කිවි පලතුරු අවශ්‍යතාවයෙන් සියයට පනහක් එනම් මෙට්‍රික් ටොන් අට දහසක් සැපයෙන්නේ අරුණාචල් ගොවියන් ගේ කැපවීමෙන්ය.

කැලෑබද ප‍්‍රදේශවල ස්වාභාවිකව වැවී ප‍්‍රයෝජනයක් නොගෙන තිබුණ පලතුරක් අහම්බෙන් ආදායම් මාර්ගයක් කරගන්නට අවස්ථාව පෑදී තිබේ. පලතුරට වෙළද පොල වටිනාකමක් ඇති බව තහවුරු කරගන්නට වසර දහයක් ගත කර ඇත. ඉනික්බිතිව ගත වූයේ සරු කාලයකි. ගොවියෝ එකමුතු වූහ. සංවිධානයක් වශයෙන් ගොඩනැගුණහ. ලෝකයේ අවධානය අනුව වස විස නැති පලතුරු වලට ඇති ඉල්ලූම හදුනාගත් අරුණාචල් ගොවි සංවිධානය පොහොර නොයොදා කරන කිවි වගාවට හුරු වූහ. එහි නායකයෝ ඉන්දියාවේ වයඹ ප‍්‍රදේශයේ කාබනික ආහාර තත්ත්ව සහතික කරන ආයතනය සමග දිගින් දිගටම ලිපි හුවමාරු කරගනිමින් සිටියහ. වගා කිරීමේ දී හෝ අස්වැන්න සදහා කිසිම පොහොරක් හෝ රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරන බව ඔප්පු කළහ. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී අරුණාචල් ප‍්‍රදේශ් හි කිවි වගාවට කාබනික තත්ත්ව සහතිකය හිමි විය. සාමාන්‍ය මිල වෙනුවට කාබනික නිෂ්පාදන වලට ලැබෙන ඉහළ මිලක් ලබාගැනීමට හැකි වී තිබේ. එය විශාල ජයග‍්‍රහණයක් වී ඇත. දැනට ප‍්‍රාන්තයේ වගාකරන ප‍්‍රමාණය සම්පූර්ණ බිම් ප‍්‍රමාණයෙන් සියයට පහකි. ඉතිරි කොටසට ද ව්‍යාප්ත කළහොත් විශාල වාසියක් අත්කරගත හැකි බව සනාථ වී තිබේ.

අරුණාචල් ප‍්‍රදේශ් හි ගොවියෙකු සදහන් කළ පරිදි සතුන් ට තණ කැවීමට වනාන්තරයට යන දරුවෝ ඒවා කඩා ආහාර වශයෙන් කවති. සමහර අයවලූන් රස බැලීමට ද හුරු වී සිටියහ. ලෝකයේ නොයෙක් ප‍්‍රදේශවලින් ගෙන්වන ලද රස පලතුරු අතර තම කැලෑවල වැවුණ ‘‘අන්තේරි’’ නමින් හදුන්වන ලද ගඩා ගෙඩි වලට තැනක් ලැබෙනු ඇතැයි සිහිනයෙකින් හෝ නොසිතූහ. ගෙවල් පිටුපස වැවුණ ගස්වල ගෙඩි ප‍්‍රසිද්ධ කිවි පලතුර බව හදුනාගත් පසු එයට ලැබුණ වටිනාකම හිතා ගත නොහැකි බව සදහන්ය. චීනය මෙම කිවි ගස ආශ්චර්යයක් සේ සලකති. පලතුරු පමණක් නොව ඒවා යොදා වයින් ද නිපදවන අතර වියලි පලතුරු ද අවාරයට වෙළද පොලට එවති. නවසීලන්තය පුදුමාකාර වෘක්ෂය සේ හදුන්වන අතර අරුණාචල් හි වැසියෝ වසර 2000 වන තෙක් එය නිසි සේ හදුනාගෙන නොසිටියහ. කාබනික වගාව දියුණු කිරීම සමග ප‍්‍රධාන සමාගම් ඉඩම් සොයා අරුණාචල් වෙත ඇදී එමින් සිටින අතර ගොවි සංවිධාන සමග එකතු වී මහා පරිමානයෙන් කිවි නිස්පාදනයට සූදනම් වන බව වාර්තා වෙයි. ගොවි සංවිධානය දක්වන පරිදි ගොවිහූ 150 දෙනෙකු කාබනික වගාව යටතේ සහතික ලබා ඇති අතර එය ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට හරවා ගෙන තිබේ. අරුණාචල් ප‍්‍රාන්තයේ ස්වභාවික දිය ඇලි බහුලය. එහි ප‍්‍රන්ත බලධාරීහු මෙම දිය ඇලි වලට ටර්බයින සවිකර ජල විදුලිය නිපදවන සිහිනයක සිටියේය. පසුගිය වසරේ වාර්තා දක්වන පරිදි සමාගම් 42 ක් මෙම දිය ඇලි වල ආයෝජනය කර විදුලිය නිපදවන සැලැස්මක සිටිහය. දැනට එම අවශ්‍යතාව දෙවැනි තැනට පත්වී තිබේ. ප‍්‍රදේශයේ ආර්ථිකය කිවි පලතරු වගාවෙන් ඉහළටම ගෙන එනන්ට හැකි වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දී ඇත.

ඉබේ වැවෙන, පලතුරු හැදී ගස් යට වැටී විනාශ වන අවස්ථා දකින හැම මොහොතකම අරුණාචල් ප‍්‍රදේශ් මතකයට එන සිද්ධියක් විය යුතුය. ශ‍්‍රී ලංකාව සරු සාර පසක් ඇති භූමියකි. කාලගුණය යහපත්ය. කෘෂි කාර්මික කටයුතු සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තිබේ. අපට නැත්තේ මොනවාද? ධෛර්යවන්ත මිනිසුන් පරිසකට අහම්බෙන් ඇස ගැසෙන දෙයක් යස ඉසුරු වෙනුවෙන් යෙදවිය හැකිය. අලූතින් හිතන, අලූතින් ක‍්‍රියාකරන සමාජයක් අපට අවශ්‍යය. තීරණයක් ගන්නා අවස්ථාවේ විරුද්ධවෙන, අලූත් යෝජනාවකට විරුද්ධව පාරට බහින ආත්ම ශක්තිය ඇති ජව සම්පන්න කන්ඩායම් මෙරට ජනී ජනයාගේ හැකියාවව හා උනන්දුව සම්බන්ධයෙන් කැප විය යුතු මොහොත උදා වී තිබේ.