» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/10/2019 - දේශය
සන්නාලියන් ගේ තාක්ෂණික ප‍්‍රවේශය

සරෝජනී නයිදු බෙංගාලි ජාතික කිවිදියකි. ඇය ලියන ලද කවියක් අනුසාරයෙන් මහගම සේකර ශූරීහු නිර්මාණයක් කරන ලද අතර ආචාර්ය අමරදේවයන් සන්නාලියනේ යනුවෙන් එය භාවාත්මකව ගායනා කළේය. සන්නාලියෙකු රෙදි මහන අවස්ථා තුනක් පදනම් කරගෙන ජීවිත විවරණයක් එම ගීතයෙන් පළවෙයි.

තාක්ෂණය යහමින් මුහු නොවුණ සාමාන්‍ය රෙදි මහන ටේලර් ශිල්පියා ගේ පැවැත්ම අලූත් මුහුණුවරකට යොමු වී තිබේ. කැළඹිලි ඇති කරන නූතන ව්‍යුහය අනුව යමින් ඌබර් ටේලර් කර්මාන්තයක් බිහි වී ඇත. එය නයිජීරියාවෙන් වාර්තා වෙයි. එරට ටේලර්වරු ස්මාට් දුරකතන මගින් සිය පාරිභෝගිකයන් සමග ගනුදෙනු කරන අතර එම ඌබර් ටේලර් ක‍්‍රමය මහත් ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.

තොරතුරු තාක්ෂණය වඩා වේගයෙන් පැතිරුන රටක් වශයෙන් නයිජීරියාව අප‍්‍රිකානු කලාපයේ ඉදිරියට පැමිණ තිබේ. අපි‍්‍රකාව තව දුරටත් අන්ධකාරයේ මහාද්වීපය නොවේ. නොයෙක් රටවල් තොරතුරු තාක්ෂණය හා සූර්ය බලශක්තිය සිය වාසියට හරවාගෙන තිබේ. යල් පැන ගිය යුගයේ සිට වේගයෙන් ඉදිරියුගයට පිම්මක් පැන ඇති බව පර්යේෂණ වාර්තා දක්වයි. වසර දෙකකට කලින් මිලියන 72 ක නයිජීරියානුවෝ අන්තර්ජාලය භාවිතා කළහ. පසුගිය මාර්තු මාසය අවසන් වන විට මෙම ප‍්‍රමාණය මිලියන 119 ක් නොඑසේනම් ජනගහනයෙන් සියයට හතලිස් දෙකක ප‍්‍රතිශතයක් දක්වා වර්ධනයක් පෙන්වා තිබේ. වසර 2023 වන විට එය සියයට අසූ හතරක ප‍්‍රතිශතයක් විය හැකි බව ප‍්‍රකාශ වෙයි. සාමාන්‍ය ජනතාව අත පවා ස්මාට් දුරකතන තිබේ. එරට ප‍්‍රධාන නගර ගණනාවක තාක්ෂණය වැදගත් සේවා අවස්ථා සම්පාදනය කර ඇත. විශේෂයෙන් මූල්‍ය කටයුතු වලට ලැබී ඇති පිටිවහල විස්මිත බව පර්යේෂකයෝ පෙන්වා දෙති. නයිජීරියාවේ වැසියන්ගෙන් සෑහෙන කොටසක් එදිනෙදා බැංකු කටයුතු වලට පවා ස්මාට් දුරකතනය භාවිතා කරමින් සිටිති. ටේලර්වරු නොඑසේනම් සන්නාලියෝ මෙම අවස්ථාව තමන්ගේ පැත්තට හරවාගෙන ඇත. එය විශේෂයෙන් සදහන් කළ යුතුව තිබේ.

නයිජීරියානු ටේලර්වරු එකතු වී අන්තර් ජාල ඇප් එකක් නිර්මාණය කර ඇති අතර එය ’’ ටේලර් වෙනුවෙන් ඌබර්’’ යනුවෙන් නම් තබා තිබේ. නයිජීරියානු සන්නාලියන් දක්වන පරිදි දුප්පත් පොහොසත් හැම කෙනෙකුටම ගැලපෙන පරිදි ඇදුම් පිලියෙල කරගැනීමට මෙම ඇප් එක භාවිතා කළ හැකිය. අවස්ථාව ලබා ගන්නා සේ ප‍්‍රචාරය කරමින් සිටී. ස්මාට් දුරකතනයේ බොත්තමක් එබූ පමණින් මෙම ඇප් එක මගින් ලක්ෂයකට අධික ඇදුම් මසන්නෝ දිස්වෙයි. මෝස්තර අති විශාල ප‍්‍රමාණයකි. මෙම ටේලර්වරු ඇප් එකට ලියා පදිංචි වී ඇති අතර නවතම රෙදි වර්ග, මෝස්තර හා අයකරන මිල ගණන් කතා කරගත හැකිව තිබේ. ගනුදෙනුකරුවන් සමග විශ්වාසය ගොඩනගා ගැනීමට තිබුණ බාධා තුරන් වී ඇති බව එරට පාරිභෝගිකයන්ගේ පොදු මතය වී ඇත. විනිවිද පෙනෙන ස්වභාවය එයට හේතුවකි. රෙදි පිලිවල තත්ත්වය හා නිර්මාණ වල උසස් බව ගැන සහතික විය හැකි ව තිබේ. මෙම ක‍්‍රමය යටතේ කමන්ගේ කැමැත්ත අනුව සේවය ලැබුණ පසු ලකුණු දියහැකිය. නුසුදුසු නම් එය පෙන්වා දීමට පුලූවන්කමක් තිබේ. පාරිභෝගිකයෝ ඌබර් ටේලර් සේවාව වෙනුවෙන් ප‍්‍රසාද ලකුණු ප‍්‍රකාශයට පත් කරති. වැඩිම ප‍්‍රසාද ලකුණු ඇත්තෝ හොද සේවාවක් සපයන බව නයිජීරියානු වැසියෝ දැනගන්නා අතර එය බෙහෙවින් වාසිදායක වී තිබේ.

විශ්වාසය දිනා ගැනීම ඉතාම වැදගත් බව නයිජීරියානු ටේලර් ශිල්පීන් ගේ අදහස ය. පාරිභෝගික විශ්වාසය අනුව ඇනවුම් වැඩිපුර ලැබේ. අන්තර්ජාල ඇප් එක මගින් විශ්වාසය තහවුරු කරගැනීමට අවස්ථාව ලැබීම අලූත් යුගයක් බව අනාවරණය වන තත්ත්වයකි. දේශ සීමා මායිම් පරදවා අපි‍්‍රකානු කලාපයේ තවත් රටවල ගනු දෙනු කරුවන්ට සේවා සපයනු සදහා මෙම ඇප් එක ඉතා ප‍්‍රයෝජනවත් වී ඇති බව ස`දහන්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය කාලය තුළ නයිජීරියාවේ ආර්ථික සංවර්ධන වේගය අඩාලවීම ගැන කරුණු දක්වා තිබුණි. නිසි ප‍්‍රතිසංස්කරණ වලට පසු මෙම වසරේ වර්ධනය සියයට 2.3 ක් පමණ විය හැකි බව දැක්වෙයි. තාක්ෂණය භාවිතා කිරීම හා එයින් නිර්මාණය වන කාර්යක්ෂමතාව ආර්ථිකය යළි නගා සිටුවීමට පිටිවහලක් වී ඇත. නයිජීරියාවේ ඇ`ගළුම් කර්මාන්තයේ නිමි කාර්යය ගැන ආඩම්බරයෙන් සිටින ඌබර් ටේලර් ඇප් සාමාජිකයෝ ආර්ථිකය නගා සිටුවන්නට තමන් දායක වන තරම ගැන බලවත් ආඩම්බරයෙකින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නයිජීරියාවේ ඇගළුම් කර්මාන්තය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ආදායමක් උපයා දෙයි. අලූතින් පෙන්වන කරුණු අනුව ඉදිරි වසර හතර තුළ සියයට විසි පහකින් වර්ධනය වනු ඇතැයි සැලකේ. තාක්ෂණය භාවිතාව එයට බලපා ඇති ප‍්‍රධාන කරුණකි. ඌබර් ටේලර් සාප්පු හිමියෝ ක්ෂේත‍්‍රයේ කැළඹීමක් කර තිබේ. තමන්ගේ ව්‍යුහය වෙනස් කරන ලද අතර පාරිභෝගික අයිතිය අනුව හැඩ ගැසෙන්නට පියවර ගෙන තිබේ. ඕනෑම අංශයකට තාක්ෂණය භාවිතා කළ හැකි බවට මෙම තත්ත්වය එක උදාහරණයකි. ස්මාට් දුරකතනයකින් එදිනෙදා පැවැත්ම වෙනස් කිරීමට උපයෝගී කරගත හැකි දේ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.