» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/06/2021 - දේශය
ජපානයේ ස්මාට් ටොයෝටා නගරය

රථ වාහන නිෂ්පාදනයේ දී ටොයෝටා සලකුණ අන්තර් ජාතික සන්නාමයකි. එක් දහස් නව සිය තිස් ගණන්වල දී ආරම්භ කරන ලද රථ වාහන නිෂ්පාදන කාර්ය විවිධ මංපෙත් පසුකර බහු ජාතික සමාගමක නොයෙක් නිපැයුම් කරන තැනකට පැමිණ තිබේ. ආදායම පැත්තෙන් සලකනවිට ලෝකයේ දහවැනි තැනට පත්ව සිටින සමාගම වන අතර කාර්ය මණ්ඩලය තුන් ලක්ෂ හැට හතර දහස ඉක්මවයි. පසුගිය වසරේ දත්ත සමග සසදනවිට ටොයෝටා සමාගම ලෝකයේ විශාලතම රථවාහන නිෂ්පාදකයා බවට ද පත්ව සිටී. තාක්ෂණය අතින් ඉදිරියටම පැමිණ සිටින අතර රියැදුරන් රහිත ස්වයංක‍්‍රීය වාහන වානිජ වශයෙන් නිෂ්පාදනය ද අරඹා තිබේ.

අලූත්ම වාර්තා දක්වන තොරතුර අනෙකකි. හෙළිදරවු කරන අන්දමට ටොයෝටා සමාගම ස්මාට් නගරයක් ඉදිකරන තීරණයක් ගෙන තිබේ. ජපානයේ තෝකියෝ නගරයට සැතපුම් හැටක් ඔබ්බෙන් පිහිටි ප‍්‍රදේශයක් තෝරාගෙන ඇති ටොයොටා සමාගම එහි ඉතාම නවීන ස්මාට් නගරයක් ඉදිකරන සැලසුමක් සකස් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු ඇමරිකාවේ දී හෙළිදරව් කර ඇත. ලාස්වෙගාස් හි පැවැති පාරිභෝගික විදුලිය මෙවලම් සම්බන්ධ නව නිෂ්පාදන ප‍්‍රදර්ශනයක දී ස්මාට් නගර සංකල්පය අනාවරණය කර ඇත. ජීවත්වන විද්‍යාගාරයක් වශයෙන් නම් කරන මෙම නවීනතම නගරය අනාගතයේ දී ලෝකයේ දියුණුව මැනැවින් විද්‍යමාන කරන වැදගත් පියවරකි. සියළුම ආකාරයේ අලූත්ම සොයා ගැනීම් මෙම ස්මාට් නගරයේ දී පළමුවෙන් අත්හදා බලනු ඇත. පර්යේෂණවල නිරත විද්‍යාඥයින්ට, ඉන්ජිනේරුවන්ට ස්වකීය සිහින නිපැයුම් මෙහි ගෙනැවිත් සැබෑවක් කරගන්නා ලෙස දැනටමත් ටොයෝටා සමාගමේ ප‍්‍රධානීහු නිල වශයෙන් ආරාධනා කර තිබේ. එය නවීනතම තාක්ෂණය සහ පරිගනක මෘදුකාංග භාවිතයේ විස්මිත පියවරක ආරම්භයක් වනු ඇතැයි සැලකේ. ස්වභාවිකත්වයට හානියක් නොවන පරිදි, විශේෂයෙන් පරිසරය ආරක්ෂාවන අතරවාරයේ අනාගතය සැලසුම් කරන ස්මාට් නගරයක් වශයෙන් ද හදුන්වා දෙන්නට සැලසුම් ශිල්පීහු තීරණය කර ඇත.

සියළුම ගොඩනගිලි හා රථවාහන සෙන්සර් එනම් දියුණු සංවේදක මෙවලම් භාවිතා කරන එකිනෙක හා සම්බන්ධ කෙරේ. එමගින් හුවමාරු වන දත්ත සැබෑ ස්වභාවය විසි හතර පැය තුළ නිරීක්ෂණය වනු ඇත. සියළුම ආපදා සහ අනතුරු වලක්වන ක්ෂණික පියවර එයට ඇතුලත්ය. කෘතීම බුද්ධිය සියලූ අවශ්‍යතා හසුරවනු ඇති අතර ඒවා අවශ්‍ය පරිදි තීරණ ගැනෙන බලසම්පන්න පරිගණක පද්ධතිවලට සම්බන්ධය. බලශක්තිය, ජලය, ප‍්‍රවාහනය වැනි පොදු පහසුකම් හසුරුවන වගකීම මෙම කෘතීම බුද්ධියට පවරා තිබේ. ටොයොටා සමාගමේ වාහන නිපදවන පැරණි කම්හලක් තිබුණ අක්කර එකසිය හැත්තෑ පහක භූමියක් මෙකී නවීන ස්මාට් නගරය ඉදිකිරීමට තෝරාගෙන ඇත.

දශක ගණනකට කලින් සිට ජාත්‍යන්තර ප‍්‍රජාව ස්මාට් නගර ගැන අවධානයකින් යොමු කර සිටි අතර අධික ජනගහනයක් සහිත ප‍්‍රදේශ හදුනාගෙන ඉතාම ඉක්මනින් මහජන අවශ්‍යතා සපුරන පියවර ගැනීම ස්මාට් සංකල්පයට ඇතුලත්කර තිබුණි. විදුලිය බෙදාහැරීම, ජල පරිභෝජනය, මගී ප‍්‍රවාහනය වැනි දෑ පාලනය කරන අතර ඒවා ඉතාම ක‍්‍රමානුකූල සැලැස්මකට නතු කිරීම මුලින් අදහස් කර ගෙන තිබුණි. නගරවල ආරක්ෂාව සහ ජනතාවගේ දේපොල සුරක්ෂිත කරනු සදහා පුද්ගලයන් හදුනාගත හැකි කැමරා සවි කිරීම ද එයට සම්බන්ධිතය. නමුත් ටොයෝටා ස්මාට් නගරය එයටත් එහා ගිය ඉතාම දියුණු පියවරකි. සම්පූර්ණයෙන්ම ස්වයං ක‍්‍රියාකාරීය. අනෙක පරිසර හානිය බිංදුවකි. කිසිම ආකාරයකින් වායු දූෂණයක් නැත.

ස්මාට් නගරයේ සියළුම වාහන රියැදුරන් රහිතය. මාර්ග තුනක් ඉදිකෙරේ. එකක් ජනතාවට ඇවිදගෙන යෑම සදහා පමණකි. අනෙක පාපැදි වලටය. තුන්වැනි මාර්ගය රථ වාහන වන අතර එහි ඇතුළු කළ හැකි රියැදුරන් රහිත වාහන පමණකි. නගරය බලගැන්වෙන්නේ සූර්ය බලය හෝ හයිඩ‍්‍රජන් භාවිතයෙන්ය. සන්නිවේදන කුළුණු හෝ නිවාස වලට රැහැන් සහිත දුරකතන සැපයුමක් නැත. විදුලිය හා ජලය පවා පොලව යටින් ගෙනයන ක‍්‍රම දියුණු කර තිබේ. එමගින් ස්වභාවික පරිසරයේ දී දැකිය හැකි අක‍්‍රමවත්බව තුරන් කර ඇත. අනෙක භාණ්ඩ ප‍්‍රවාහනය වෙනුවෙන් වෙනම විද්‍යුත් පරිපථ සැලසුම් කර තිබේ. ගොඩනැගිලි ඉතාම සැහැල්ලූ ද්‍රව්‍යවලින් ඉදි කරන අතර ඒවා ගෝලීය උණුසුම ඇති කරන්නට හේතු නොවන තාක්ෂණික ක‍්‍රම අනුව සකස් වෙයි. පළමුවෙන් දෙදහසක පමණ පිරිසක් මෙම නගරයේ වාසස්ථානයට තෝරා ගැනීමට නියමිතය. ස්මාට් නගරයේ ඉදිකිරීම් කරන, එහි පර්යේෂණ වලට දායකවන ඉංජිනේරුවන් හා විද්‍යාඥයින් පළමු පුරවැසියෝ විය හැකි යැයි සැලකේ. සාමාන්‍යයෙන් පවුල් තුන්සිය පනහ පිරිසක් අයත් වනු ඇත. මෙම සියළුම දෙනා ගේ ජීවිත වල පැවැත්මට හවුල් වන ඉතාම දියුණු රොබෝවරු සිය ගණනක් ස්මාට් නගරය පුරා සේවයේ නිරත කෙරේ. දවස පුරා ස්වයංක‍්‍රියව මෙහෙයැවෙන අතර අවශ්‍යතා පරිදි ජනතාවට සහායවීම මෙම රොබෝවරුන්ගේ වගකිම වනු ඇතැයි සදහන්ය.

සැලසුම හදන, නව නිර්මාණ ගැන වෙහෙසෙන ජපන් ස්මාට් නගරයට ලොව පුරා අවධානය යොමු වී තිබේ. ලෝකයේ නොයෙක් තැන්වල ස්මාට් නගර ඉදිකරදෙන සේ ඇනවුම් ලැබී තිබේ. තවමත් මෙම ජාලය පුපුල් කරන අදහසක් නැත. පළමුවෙන් තෝකියෝ නගරයට නුදුරින් ඉදි කරන අතර එහි සාර්ථකත්වය මැන බලනු ඇත. පරිසරය ආරක්ෂා කරන අතර එයින් ජන ජීවිතය ගොඩනගන පියවර තුළ පැන නැගෙන අලූත් ව්‍යුහය දෙස අවධානය යොමු කළ යුතුය. එය අලූත් අත්දැකීමකි.