» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/01/2020 - දේශය
විශ්ව විද්‍යාල උපාධිට වඩා දක්ෂතාවයට තැනක්

මානව සම්පත ගැන පවතින ආකල්ප තීරණාත්මක අන්දමට වෙනස් වෙමින් තිබේ. ජාත්‍යන්තරය හැසිරෙන ආකාරය නවතම මුහුණුවරක් ගෙන ඇත. අනාගතයේ දී ඇති වන රැකියා අවස්ථා වල දී විශ්ව විද්‍යාලයක උපාධි සහතිකය තරමට සමහරවිට එයටත් වඩා වටිනාකමක් කුසලතාවයට ලැබෙනු ඇති බව පළවෙයි. ඇමරිකාවේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් ශ‍්‍රම වෙළද පොල හැසිරීම ගැන කරුණු සොයා බලා ඇති අතර සමීක්ෂණයට කරුණු දක්වා ඇති නියැදියට අනුව ප‍්‍රධාන පෙලේ තාක්ෂණික සමාගම් හැකියාව ගැන වැඩි විශ්වාසයක් තබා තිබේ.

අතීතයෙන් ලබා ගත හැකි පාඩමක්

ඈත අතීතයේ විශ්ව කර්ම මිනිස්සු ජීවත් වූහ. ලෝකයේ මහා පුදුම නිර්මාණය කළේ නිසග හැකියාවෙන් බව පැහැදිලිය. මිසරයේ පිරමීඩ හෝ ශ‍්‍රී ලංකාවේ සීගිරිය නිර්මාණය කරන්නේ දක්ෂතම ශිල්පීහුය. ඒවායෙහි නිරත වූවෝ සහජ කුසලතා පෙන්නුම් කළහ. වැවක සොරොව්ව තබන තැන, ඇල මාර්ගයක බැස්ම ගැන ගණන් බලන ඉගෙනීම ශාස්ත‍්‍රාලයකින් ලැබුණ එකක් නොවේ. අධ්‍යාපන ක‍්‍රම සකස් වන විය පැරණි ශිල්ප වල ක‍්‍රමවේද විද්‍යාත්මකව හසුරුවා අලූතින් පුහුණු කරන විෂයය පද්ධති නිර්මාණය කරන ලද විය හැකිය. නමුත් එම අධ්‍යාපනයෙන් හැබෑ දක්ෂයන් තැනීම පහසු නැත. කඩදාසි වලින් අධ්‍යාපනය ගැන තහවුරු කළ හැකි නමුත් ප‍්‍රායෝගිකව සමත්කමක් දක්වන ප‍්‍රතිශතය සීමාසහිත බව පිලිගත යුතුය.

මෑත කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් පවතින අවධානය දියුණු තියුණු විය. ඉතාම තර`ගකාරී තැනකට පත් විය. මුලික අධ්‍යාපනයට පසු උසස් අධ්‍යාපනයට සුදුසුකම් ඇති ප‍්‍රතිශතය ඉහළ ගියේය. අවසානයේ දී තව තවත් උසස් අධ්‍යාපන අංශ බිහි වූ අතර එය ආණ්ඩු පමණක් නොව පුද්ගලික අංශයේ ද ආයෝජන අවස්ථා බවට පත්ව තිබේ. අනාගතයේ දී තැනෙන ව්‍යුහය තුළ තාක්ෂණය බහුලය. කෘතීම බුද්ධිය භාවිතා වෙයි. අලූතින් යමක් නිර්මාණය කිරීම මනුෂ්‍ය ප‍්‍රජාව තරමටම පරිගනක යන්ත‍්‍රවලට ද හැකියාව ලැබෙන විට මෙහෙයවන දැනුම හැර අලූත් දැනුම සහිත සමාජය එපමණ අවශ්‍ය විය නොහැකිය. ඇමරිකාවේ නිදහස් ශ‍්‍රම වෙළද පොල සහ එහි ප‍්‍රවනතා ගැන සොයා බලනලද සමීක්ෂණය අනාවරණය කරන්නේ එම පැතිකඩ බව පෙනේ.

කුසලතාවට වඩා වැදගත් බව ප‍්‍රකාශ වෙයි

ෆී‍්‍රලාන්ස් ඇමරිකා 2018 නමැති පර්යේෂණය අනුව විශ්ව විද්‍යාලයෙන් ලැබූ උපාධි සහතිකයට වඩා කුසලතාවය හා කුසලතා පුහුණු වැඩසටහන් වැදගත් බව සියයට 93 ක ප‍්‍රතිශතයක් කියා තිබේ. සියයට 79 ක් දක්වන්නේ දැනට කරගෙන යන වෘත්තියට උපාධි අධ්‍යාපනය ප‍්‍රයෝජනවත් වී ඇති බවය. සලකා බලන ලද මාස හයක කාලසීමාව තුළ වෘත්තීය කුසලතා පුහුණු වැඩසටහන් වලට නිදහස් වෘත්තිකයන්ගෙන් සියයට 70 ක් සහභාගී වී ඇති අතර ස්ථිර සේවකයෝ සහභාගී වී ඇත්තේ සියයට 49 ක් පමණක් බව අනාවරණය වී තිබේ.

එකම තැනක අඛණ්ඩව සේවය කිරීම, පසුගිය කාලයේ මූලික ලක්ෂණයක් වූ අතර දැන් ජීවත්වන පරම්පරාව වෙනස් වෙනස් අලූත් අවස්ථා සොයමින් ආයතන ගණනාවක වරින්වර රැුකියාවල නිරතවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඉදිරි දශක දෙක තුන ඇතුලත ස්ථිර රැුකියා යනුවෙන් පවතින අදහස තුරන් වනු ඇතැයි සැලකේ. ස්ථිරව රැකියාවක් නොකරන හෙයින් එකම අවස්ථාවේ ආයතන දෙක තුනකට අර්ධකාලීණව සේවය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇතැයි සැලකේ. ප්‍රධාන පෙලේ සමාගමක ඉහළ නිලධාරියෙකු කරුණු දක්වා ඇති අන්දමට කවර ගනයේ තොරතුරු තාක්ෂණික උපාධියක් තිබේ ද යන්න අනාගතයේ දී වැදගත් නැත. පරිගණකය හසුරුවන සහ වේගයෙන් ක‍්‍රියාත්මකවීම ප‍්‍රමාණවත්ය. දැනට ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන රැකියා විස්සකට විශ්ව විද්‍යාල උපාධිය අවශ්‍ය නොවනබව පෙන්වා දී ඇත. ඇපල්, අයි.බී.එම්. සහ ගූගල් ඇතුළු ලෝකයේ දැවැන්ත සමාගම් පහලොවක් හෝ එයට වඩා වැඩි ප‍්‍රමාණයක් සිය ඇබෑර්තු වලට බදවා ගැනීමේ දී උපාධිය ගැන සැලකිල්ලක් නොදක්වන බව අනාවරණය වෙන වැදගත් කරුණකි.

ලෝක ආර්ථික සංසදයෙන් ද අනාවරණයක්

ලෝක ආර්ථික සංසදය අනාවරණය කරගෙන ඇති සුවිශේෂී කාරණයක් ද පෙන්වාදීම සුදුසුය. වසර පහකට හෝ දහයකට කලින් ලෝකයේ කර්මාන්ත හෝ සේවා අංශ වල නොතිබුණ අලූත්ම වෘත්තීය අවස්ථා මෑත කාලය තුළ පැනනැගී තිබේ. එම රැකියාවලට ඉහළ ඉල්ලූමක් ලැබී ඇත. වර්තමානයේ පාසලක ප‍්‍රාථමික අධ්‍යාපනයට ඇතුළුවන සිසු සිසුවියන් තම අධ්‍යාපනය අවසන් කරන දිනය වන විට අද ලෝකයේ නොපවතින අලූත්ම රැකියා අවස්ථා සෑහෙන ප‍්‍රමාණයක් බිහිවනු ඇති බව ද පළවේ. ඔවුන් ගේ ගණන් ගැනීම අනුව වෘත්තීය අවස්ථා සියයක් අතරින් හැට පහක් දැන් භාවිතයේ නොපවතින ඒවා විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පවතින රැකී රක්ෂා වලට සුදුසුකමක් සේ සලකා අධ්‍යාපනයට යොමු වන සෑම දරු දැරියකටම බලවත් අභියෝගයක් එල්ල වී ඇති අතර තමන් කිසිසේත් නොදන්නා අලූත්ම මුහුණුවරක රැකියාවක් කරන්නට අනාගතයේ දී සිදුවිය හැකිය. අනාගතයේ ඇතිවිය හැකි වෘත්තිය අවස්ථා වලට දැන් පාසලේ දී හෝ විශ්ව විද්‍යාලයේ දී ඉගෙනගන්නා දේ සුදුසුකමක් නොවෙනු ඇති බව අනාවරණය වන තවත් පැත්තකි. එයට හේතුව දැනුම වෙනුවට කුසලතාව පදනමක් බවට පත්වීම බව පෙනේ. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් බැහැර විය යුතුය යන අදහසක් මෙහි නැති අතර ඉතාම උපාධිය හෝ එයට වඩා අධ්‍යාපනයෙන් ලැබිය හැකි වන අවස්ථා ගැන අලූත් නිරීක්ෂණ පහල වී තිබේ.

අධ්‍යාපනය ලබන රටාව ද වෙනස් වන පිලිවෙලක

මෙම කරුණු පමණක් නොව අධ්‍යාපනය ලබන ආකාරය ද අනාගතයේ දී වෙනස් වන බව පර්යේෂකයෝ අනාවරණය කරති. ඉගෙනුම ලබන තැන හෝ කාලසීමාව වැදගත් එකක් නොවෙනු ඇත. ඕනෑම කාල වකවානුවක දී තමන් කැමැතිතැනක දී නොදන්නා දෙයක් ඉගෙන ගත හැකිය. පුද්ගලයා අනුව අධ්‍යාපනය වෙනස් කරගත හැකි පද්ධති බිහිවෙයි. පතපොත අධ්‍යයනයට වඩා ප‍්‍රායෝගිත පැති වලට යොමු වනු ඇති අතර විභාග ක‍්‍රමය ද බලවත් වෙනසකට යොමු වනු ඇතැයි අනාවරණය වී තිබේ. එයට අනුව අධ්‍යාපනය ලැබීම සදහා දේශන වලට සහභාගීවන පිරිස විභාගයක දී කරුණු අමතක වන ප‍්‍රමාණය වැඩි හෙයින් කටපාඩමට හුරු වී සිටී. කටපාඩම වැඩබිමේ දී නොගැලපෙන එකකි. එහෙයින් කුසලතා වර්ධනය ගැන අවධානය යොමු කෙරේ. නුතන අධ්‍යාපන වෙනස්කම් ගැන අවධානය යොමු කරන ප‍්‍රතිපත්ති සම්පාදකයෝ මෙම අංශ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.