» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/08/2019 - දේශය
හැදෙන්නට කලින් ලෙඩ දුක් හදුනාගැනීම

බරපතල අසනීපයක් හැදුනොත් ප‍්‍රතිකාර ගැනීම පොදු පිලිවෙතයි. ලෙඩක් ඇත්දැයි බලන නූතන පරීක්ෂණ වලට ද සම්ප‍්‍රදායික මතිමතාන්තර ඇති අයවලූන් කැමැති නැත. වෛද්‍ය විද්‍යා පරීක්ෂණයකට පසු අනාවරණය වන කරුණු සමහරවිට මානසික ගැටළු ඇති කරන අතර කලින් දැනගැනීමට වඩා ජීවත්ව සිටින සුළු කාලය සතුටින් සිටීමට ඔවුහු පි‍්‍රිය කරති. මුදල් වියදම් කර පරීක්ෂණ වලට මුහුණ දී හිත නරක් කරගන්නේ කුමකටදැයි ප‍්‍රශ්න කරන්නෝ සමාජයේ වෙති.

කරුණු එසේ නමුත් පූර්ව රෝග විනිශ්චය ඉතාමත් දියුණු අදියරකට පත්ව තිබේ. එය විස්මිත ප‍්‍රගතියකි. රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් තව අවුරුදු දහයකින් හෝ විස්සකින් හැදෙන්නට ඉඩ ඇති අනතුරුදායක රෝගයක් ගැන අනාවැකි කියන්නට පුලූවන්කම ලැබී තිබේ. ජන්ම පත‍්‍රය පරීක්ෂා කර බලා අපලකාලයක් එළැඹෙන බව කියන දක්ෂ පුද්ගලයන්ට වඩා සාක්ෂි සහිතව අනාගතය ගැන අනතුරු ඇඟවීමක් බව සඳහන් කරන්නට අවශ්‍යය. රුධිරය පමණක් නොව මුත‍්‍රා හෝ ශරීර සෛල සාම්පලකයකින් මෙම අධ්‍යයනය කළ හැකිව තිබේ. වෛද්‍ය විද්‍යාවේ නවීන පර්යේෂණ අනාවරණය කරන පරිදි අනාගත රෝගී තත්ත්ව පරීක්ෂා කරන්නට උපකාරී වන ප‍්‍රයෝජනවත් සාම්පලයක් ශරීරයේ අස්ථි පංජරයෙන් ලබාගත හැකිය. අස්ථි කොටස් පරීක්ෂාවකින් රෝග නීර්ණය මෙතෙක් අවධානයට යොමු නොවී තිබුණ පැත්තකි. නමුත් ස්ථිර වශයෙන්ම අනාගතයේ දී වැළඳීය හැකි අනතුරුදායක රෝග ගැන පූර්ව විනිශ්චයකට එළැඹීමට අස්ථි කොටස් පරීක්ෂා කර බලන අනාගත වෛද්‍යවරයෙකු සමත්වනු ඇත.

දැනට කරන පර්යේෂණ අනුව පිලිකාව ගැන පුරෝකථක පහසු බව ප‍්‍රකාශ වී තිබේ. ඩිමෙන්ෂියා වැනි මොලය ආශි‍්‍රතව සිදුවිය හැකි වෙනස්කම් ගැන කලින් දැනගත හැකිය. රුධිරය ආශි‍්‍රතව සිදුවිය හැකි දුබලතා ගැන ද කලින් අනාවරණය කරගත හැකි බව පැවසේ. රුධිරය, මුත‍්‍රා, ටිෂු සෛල හෝ අස්ථි කොටස් වල ඇති කරන ලප වශයෙන් මෙම රෝග හªනාගැනීමට කරන පෙළැඹවීම නම් කර තිබේ. විශේෂඥයෝ මෙම ලප දැක ගත හැකිවුවහොත් ඒවා ගැන දිගින් දිගට කරන සොයා බැලීම් අවසානයේ රෝගියා ගැන විනිශ්චයකට එළැඹෙන්නට හැකියාවක් ඇත.

රෝගයක් වැළඳෙන්නට ඇති සමභාවිතාව ගැන කරගත හැකි අනාවරණය වෛද්‍ය විද්‍යාවේ සෑහෙන ඉදිරි පිම්මක් වශයෙන් සැලකේ. භයානක රෝගයක් වැළදුන පසු එයට ප‍්‍රතිකාර ගැනීමට යුහුසුළු වන තරම හා ස්ථිර සුවයක් අරභයා ඇති ප‍්‍රතිකාර අවස්ථා ගැන හිතන විට කලින් දැන ගැනීම ඉතා ප‍්‍රයෝජනවත්ය. සමහරවිට රෝගය මගහැරයාමට ඇති අවකාශය නිර්මාණය කරගත හැකිවෙයි. එය අද පවතින රෝග වලට ප‍්‍රතිකාර ගැනීමට වඩා වෙනස් අත්දැකීමකි. අනාගතයේ දී ඇති විය හැකි පිලිකාවක් වලකා ගැනීමට ගත හැකි පියවරවලට කලින්ම සූදානම් විය හැකි නම් එදිනෙදා ජීවිතය ගතකරන අන්දම, ආහාර පාන රටා වල සිට සියළු අංශ වලින් ම අනෙක් ආකාරයකට කටයුතු කළ හැකිවනු ඇත. එය ප‍්‍රබල ඖෂධ හා වේදනා නාශක සෑහෙන තොගයක් භාවිතා කරන්නට සිදුවීම හා සමග සසඳන විට මනුෂ්‍ය ප‍්‍රජාවට ඉතා ප‍්‍රයෝජනවත් පැත්තකි.

දශකයකට දෙකකට කලින් වැළඳෙන්නට ඉඩ ඇති ලෙඩ රෝග දැන කියා ගැනීමට ඉඩ ලැබීම හොඳ වගේම නරක ප‍්‍රතිඵල ද ඇති කරන්නට ඉඩ තිබේ. සමහර පර්යේෂකයන් දක්වන පරිදි කලින් දැනගතහොත් එය බලවත් මානසික ගැටළු ඇති කරනු නිසැකය. මෙම ලිපියේ මුලින් සඳහන් කරන්නේ එවැනි ආකල්ප සහිත අය දක්වන කරුණුය. අනතුරුදායක ලෙඩක් ගැන දැනගෙන කම්පාවීමට වඩා එම කාල වකවානුවත් සෑහෙන තෘප්තියකින් ජීවත්වීම වැදගත්ය. එවැනි කල්පනාවකට හේතුවක් ද තිබේ. නූථන පර්යේෂණ වලින් අනාවරණය කරගත හැකි අනාගතයේ දී වැළඳීය හැකි රෝග හැබෑවටම මතු නොවෙන්නටත් ඉඩ තිබේ. සමහරවිට ශරීරයේ ඇති ප‍්‍රතිශක්තීකරණය එයට ප‍්‍රතිකර කරනු ඇත. නොඑසේනම් නොදන්නා හේතුවක් අනුව මෙම අනාවරණය කරන රෝගී තත්ත්වය කිසිසේත් ඇති නොවෙන්නට ද ඉඩ තිබේ. කලින් දැනගැනීම සුදුසු නමුත් එය අනවශ්‍ය භීතියක් ඇති කරන දෙයක් විය හැකි දැයි කල්පනා කරන්නට ද අවස්ථාවක් ඇත.

අලූත් සොයා ගැනීම් හා ඒවා අනාවරණය කරගන්නා යන්ත‍්‍ර කෘතීම බුද්ධිය හා සම්බන්ධවීම තවත් වැදගත් පැත්තකි. අනාගතයේ දී රෝගී පරීක්ෂාවේ සෑහෙන කොටසක් කෘතීම බුද්ධියෙන් පොහොසත් රොබෝවරුන්ට පැවරේ. සාම්පල් පරීක්ෂා කරන රොබෝවරු එහි ප‍්‍රතිඵල මූලික විශ්ලේෂණය කර නිගමනවලට එළැඹෙනු ඇත. බොහෝ දුරට කලින් එකතු කරන ලද දත්ත පදනම් කරගෙන කෘතීම බුද්ධියෙන් පොහොසත් මෙම රෝග පරීක්ෂා කරන රොබෝවරු කටයුතු කරනු ඇති බව ප‍්‍රකාශ වෙයි. කෙසේ වෙතත් අනාගතයේ දී රෝහලක රෝගී පරීක්ෂාවේ අවසාන අදියර වෛද්‍යවරයෙකු මුණගැසීම වනු ඇත. ඇතැම්විට රොබෝ දොස්තරගේ නිරීක්ෂණ සියයට සියයක් නිවැරදි ද යන්න නැවත සනාථ කරගැනීම හෝ යම් වැරදීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට පමණක් සීමා වනු ඇත. වැදගත්ම කාරණය වෛද්‍යවරු විවේකයෙන් සිටින, හොඳීන් කල්වේලා අරගෙන රෝගීන් පරීක්ෂා කරන පිරිසක් බවට පත්වීමට ඇති අවකාශයයි.

නවීන අනාවරණ වල දැක්වෙන යහපත හෝ අයහපතගැන සාකච්ඡා කරනු හා සමානව මෙවැනි නවීන අදහස් ශ‍්‍රී ලංකාව වැනි රටකට භාවිතා කරන්නට ඇති අවකාශය කොපමණ සුළු එකක් දැයි අවධානයට ගැනීම ද වටී. නොයෙක් දියුණු ක‍්‍රම ඇතත් ඒවායේ ප‍්‍රයෝජන ගැනීමට රටට වත් පොහොසත්කම නැත. නොඑසේනම් ප‍්‍රතිපත්ති සම්පාදකයෝ ඒ ගැන දක්වන්නේ අල්ප අවධානයකි.