» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/04/2021 - දේශය
සූර්යයා මීන රාශියෙන් ගෙදර නිවසේ ආලින්දයට

අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. තවත් පැය හතලිස් අටකින් සුබ නැකත එළැඹෙනු ඇත. සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට එන බව ජ්‍යොතිෂ විද්‍යාව අනුව දැක්වෙයි. අවුරුදු නැකැත් සීට්ටුවක් හදන අතර අලූත් අවුරුද්දේ නැකැත් රහිත කාලය නොනගතයයි. ඉන් පසු නැකතට ලිප ගිනි දල්වා ආහාර පිස වැඩ අල්ලන අතර ගනු දෙනු කිරීම අලූත් අවුරුදු චාරිත‍්‍ර අතර තිබේ. බක් මාසයේ උත්සව වලට පදනම අස්වැන්නයි. නිසි කලට වැසි වැටී අස්වනු සරු සාරවීමේ සතුට වෙනුවෙන් ජනී ජනයා ප‍්‍රීති උත්සය පවත්වති. මෙම අලූත් අවුරුදු උත්සවය තුළ සූර්යයා ගේ ගමන බලවත් ඇගයීමකට ලක් කෙරේ. යහපත් කාලගුණයකට හේතුව සූර්ය ශක්තිය බව මිනිස් සංහතිකය කෘතවේදීව සිහිපත් කරති. මිනිසුන් පමණක් නොව ගහ කොල සතුන්ට පවා ජීවය ලැබෙන්නේ හිරු ගේ බලයෙන්ය. බලවත්ම ශක්තිය හා එයින් අත්පත් කරගත හැකි ජවය ගැන තවමත් සම්පූර්ණ අවබෝධයක් නැති බව නිසැකය.

මුළු ලෝකයම සූර්ය බලයෙන් පවතින යුගයක් කරා යොමු වෙමින් තිබේ. අලූත් අවුරුදු වකවානුවේ දී සූර්ය සංක‍්‍රාන්තිය පමණක් නොව ලැබෙන පිටිවහල ගැන ද අවධානය යොමු කිරීම කාලෝචිත වනු ඇත. ජගත් ප‍්‍රජාව සූර්ය බලය කෙරෙහි අප‍්‍රමාණ විශ්වාසයක් ඇති කරගෙන තිබේ.

චීනය සිය ප‍්‍රාථමික යුගයේ සිට හිරු ගේ බලය ගැන විශ්වාස කළ රටකි. චීනය මහත් ලැදියාවක් දක්වන රතු පැහැය සූර්යයා නැගෙන අවස්ථාවේ දී දකින්නට ලැබෙන රක්ත වර්ණය සනිටුහන් කරන බව එරට වැසියෝ විශ්වාස කරති. රතු පැහැයට කැමැති චීනය සූර්යයාගේ බලය අනාදිමත් කාලයක සිට දන්නා වග නිසැකය. ලෝකයේ සියළුම ශිෂ්ඨාචාර හිරු අදහන ලදහ. සූර්ය නමස්කාරය අදත් විශ්වාසයකි. නැගෙනහිර ගැන මහත් ගෞරවයක් තිබේ. සූර්යයා ගේ අසීමිත ශක්තිය ගැන අවබෝධ කරගෙන ඇති ලෝක ප‍්‍රජාව එහි ශක්තියෙන් අප‍්‍රමාණ ප‍්‍රයෝජන සැලසුම් කරමින් සිටිති. සූර්ය තාපයෙන් විදුලිය නිපදවිම එහි එක පරාසයක් පමණකි.

අලූත් වාර්තා දක්වන පරිදි වසර 2060 වන විට චීනය, පරිසර හානියක් නැති සම්පූර්ණයෙන්ම හරිත රටක් බවට හැරවෙනු ඇත. චීන ජනාධිපති ෂී ජින්ග් පින් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිය දේශය කාබන් මුදා නොහරින රටක් බවට පත්වන බලවත් අභිලාශය හෙළි කරන ලදී. මෙම අවශ්‍යතාව සපුරා ගැනීම ස`දහා වොට් ටි‍්‍රලියන 1.9 ක සූර්ය තාප විදුලිය ප‍්‍රමාණයක් නිපදවන දැවැන්ත ඉලක්කයකට ගමන් කරමින් සිටී. මෑත කාලයේ දී සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම සදහා විශාලතම ආයෝජනය කරන්නේ චීනයයි. තිබේ. මුහුදේ පාවෙන සෝලා පැනල් පමණක් නොව ගංගා වල පවා සෝලා බලාගාර සවිකරමින් සිටී. අනාගතයේ දී උවමනා කරන බලශක්තිය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී බවට හරවන වෑයම තුළ සූර්ය විදුලිය එක ප‍්‍රධාන ප‍්‍රභවයක් බවට පත් කරගෙන ඇත. ඉලක්ක සාක්ෂාත් වන විට ලෝකයේ සමස්ථ සූර්ය විදුලිය භාවිතාවෙන් හරි අඩක් චීනය ප‍්‍රයෝජනයට ගන්නා බව සමීක්ෂණ වාර්තා දක්වයි.

2020 ඔක්තෝම්බර් මාසයේ පැවැති චීන කොමියුනියුස්ට් පක්ෂයේ දහ නම වැනි සැසිවාරයේ දී සූර්ය විදුලිය කෙරෙහි අවතීර්ණ වන තීරණ ගණනාවක් ගෙන තිබිණ. 2021-26 දක්වා වන විදුලිය උත්පාදන පස් අවුරුදු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කිරීම එයින් එකකි. එම සැලසුම තුළ සෑම වසරකම සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය දෙගුණ කරන පියවරක් යෝජනා කර තිබේ. විශාලතම ජනගහනයක් සහිත සහ පොසිල බලශක්තිය වැඩිම ප‍්‍රමාණයක් ප‍්‍රයෝජනයට ගන්නා චීනය මෙවැනි පියවරක් අනුගමනය කිරීම අනාගත පරපුරේ පැවැත්මට බලපාන වටිනා තීන්දුවක් වශයෙන් සැලකේ.

චීනය පෙරමුණේ සිටින අතර ඇමරිකානව හා ඉන්දියාව ද සූර්ය තාපය විදුලියට හරවා ප‍්‍රයෝජයට ගන්නා රටවල් අතර සිටී. ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට 2020 දී ලෝකයේ රටවල් තිස් හතක් සිය බලශක්ති අවශ්‍යතාවයෙන් අඩුම වශයෙන් සියයට එකක් සූර්යයාගෙන් සපුරා ගන්නා බව දැක්වෙයි. ක‍්‍රමයෙන් වර්ධනය වන මෙම භාවිතාව ඉමහත් අස්වැසිල්ලකට හේතුවක් බව පැහැදිලිය. නිතිපතා දහනය කරන ඉන්ධන, ගල් අගුරු හා ද්‍රව ගෑස් වායුගෝලය අපවිත‍්‍ර කරමින් සිටී. කාබන්ඩයොක්සයිඞ් සහ අනෙක් අහිතකර වායු ප‍්‍රතිශතය ඉහළ නංවයි. එය ජීවයේ පැවැත්මට තර්ජනයකි. ඔක්සිජන් ප‍්‍රතිශතය පහල වැටෙන් පමණක් නොව අහිතකර වායු හෙයින් ඔසෝන් ස්ථරයට ද හානි කරය. එයින් ඇති වන ඉරණම ඉතාම බරපතලය. ඕසෝන් ස්ථරය තුනී වන අතර තුර මහ පොලවට වැටෙන සූර්ය තාපය වැඩිවීම ගැටළුවකි. අහිතකර කිරණ තර්ජනයක් බව දැක්වෙයි. ගෝලීය උණුසුම ඉහල යන අතර එය උත්තර හා දක්ෂිණ ද්‍රැව වල දැවැන්ත අයිස් කදු දිය කරන හේතුවක් වී තිබේ. අයිස් කදු දියවන විට මුහුදු මට්ටම ඉහළ යන අතර සමහර රටවල වෙරළබඩ කොටස් මුහුදු ජලයෙන් යටවන බවට අනාවැකි ප‍්‍රකාශයට පත් කර තිබේ. මාලදිවයින ඇතුළු සමහර රටවල දුපත් සම්පූර්ණයෙන්ම ලෝකයෙන් මැකී යන අවදානමක් ඇති බව දැක්වෙයි.

ගෝලී උණුසුම පාලනය කරන පියවර සදහා ජගත් ප‍්‍රජාව පැරිස් සම්මුතියකට අත්සන් කර තිබේ. එයට අනුව ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන සියළු පැති පාලනය කිරම ආණ්ඩුවල වගකීමකි. වනාන්තර ආරක්ෂා කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර අහිතකර වායු නිපදවන සියළුම පැති ගැන වඩා විද්‍යාත්මකව අවධානය යොමු කරන්නට සිදුවී තිබේ.

බලශක්ති අවශ්‍යතාව දිනපතා ඉහළ යන අතර ඒවා සපුරා ගැනීමට ස්වභාවික උත්පාදනය ඉතා වැදගත් වන පසුබිම අවබෝධ කරගත යුතුය. තාක්ෂණය හා ආයෝජනයට සම්පත් ඇති රටවල් එහි දී විශේෂ මෙහෙවරකය. බලශක්තිය පරිභෝජනයේ දී සැලකිය යුතු කොටසක් වැය කරන ප‍්‍රවාහන කටයුතු ගැන සෑම රටක්ම අලූත් අවධානයකය. ප‍්‍රවාහනයේ දී විදුලිය බලය යොදා ගත හැකි සෑම අවස්ථාවක්ම එය ප‍්‍රයෝජනයට ගන්නා වෑයමකය. ඉන්ධන භාවිතා කරන වාහන ධාවනය කළ හැකි අවසන් දින වකවානු පවා සමහර රටවල් ප‍්‍රකාශයට පත් කරමින් සිටිති. සූර්ය සංක‍්‍රාන්තිය සිදුවන මෙම සුබ අලූත් අවුරුදු අවස්ථාවේ දී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි‍්‍රයට එන ගමනේ සුබ පල පමණක් නොව ලබා ගත හැකි අසමසම අවස්ථා ගැන ද අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය.