» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/11/2019 - දේශය
තැපැල් සේවයේ ස්වභාවය වෙනස් වෙයි

පසුගිය දින කිහිපය තුළ තැපැල් ලිපි බෙදාහැරීම ගැන සෑහෙන උනන්දුවක් තිබුණි. නිවැසියෝ තැපැල්කරු එන තෙක් බලා සිටියහ. එයට හේතුව ජනාධිපතිවරණයේ ඡන්ද කාඞ් පත් බෙදා හැරීමයි. නිවාඩු දිනයක පවා කැපවීමෙන් සේවය කළ ලිපි බෙදන කාර්ය මණ්ඩලය විශේෂ පරිශ‍්‍රමයක් දරා කාඞ් පත් බෙදා දුන් බව වාර්තා වෙයි. ලිපි තැපැල් කිරීම අඩු වෙමින් තිබේ. නිල කටයුතු වල දී හැර පුද්ගලික තොරතුරු හුවමාරුවේ දී ලිපියක් ලිවීම ඉතාම සීමිත කටයුත්තකි. තැපැල් සේවාව අභාවයට යමින් පවතින බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙන කරුණකි.

ප‍්‍රංශයෙන් එන අලූත් තොරතුරකට අනුව තැපැල්කරු ගේ කාර්ය භාරය සංකීර්ණ තැනකට පත්ව තිබේ. ඔහු එනතුරු බලා සිටින පිරිසක් සෑම නගරයකම ලියා පදිංචි වී සිටිති. තැපැල් ලිපි බෙදාහැරීම පමණක් නොව හුදෙකලාව ජීවත්වන වයෝවෘද්ධ ජන කොටස රැුක බලා ගැනීම ද තැපැල්කරු ගේ පුලූල් වගකීමක් වී තිබේ. බෙල්ජියම් දේශ සීමාව සමීපයේ වෙසෙන වියපත් කාන්තාවක ගේ පැවැත්ම හුවා දක්වමින් තැපැල්කරු ජන සමාජයේ විශේෂිත පුද්ගලයෙකු බවට පත් වූයේ කෙසේ ද යන්න ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් විශේෂ අනාවරණයක් කර ඇත.

තැපැල්කරු නිවෙසට පැමිණ පස් වතාවක් පමණ දොරට තට්ටු කළ විට අසූ අට හැවිරිදි කාන්තාවක් දොර විවෘත කරන ලද අතර එයින් ඇතුළු වූ තැපැල්කරු වියපත් කාන්තාව ගේ දින චරියාව පරීක්ෂා කළේය. නිසි සේ පිරිසිදුවී හොද ඇදුම් වලින් සැරසී සිටින්නේ දැයි නිරීක්ෂණය කිරීමෙන් පසු තැපැල් කරු සම්ප‍්‍රදායිකව කරන විමසීම සුහදව ආරම්භ කර ඇත. සාමාන්‍ය එදිනෙදා තොරතුරු කතා කිරීමෙන් සංවාදය ඇරඹේ. ආහාර ගත් අන්දම ගැන විමසයි. බෙහෙත් වර්ග භාවිතා කරන ලද ආකාරය ගැන ද විමසා බලනවා විය හැකිය. රූපවාහිනිය නරඹා විවේකයෙන් සිටි බව සාක්ෂාත් කරගන්නා අතර ප‍්‍රමාද වී පැමිණි අමුත්තන් ගැන ද විමසිලිමත් වෙයි. එය ආරක්ෂාව ගැන සදහනක් වන්නට බැරි නැත. හුදෙකලාව ජීවත්වන වියපත් කාන්තාව සමග සෑහෙන කාලවේලාවක් කතාබහ කිරීමෙන් ඇගේ තනිකම දුරු කරයි. අනෙක හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් භාවිතා කළ යුතු සීනුව ක‍්‍රියාත්මකව පවතී ද යන්න සොයා බලන අතර එම සීනුව වෙනුවෙන් වෙනම ගෙවීමක් කළ යුතුය. සත්කාරක සේවාවක් ද සහිත තැපැල්කරු ඉරිදා හැර සතියේ දින පහ මෙම හුදෙකලා නිවසට එන අතර දැන් එය ප‍්‍රසන්න තත්ත්වයක් නිර්මාණය කර තිබේ. සේවය වෙනුවෙන් ගාස්තුවක් අය කරන නමුත් පැරිසියේ තනිව ජීවත්වන සෑහෙන පිරිසකට එය අර්ථවත් කාර්යයක් බවට පත් වී ඇත.

මෙම නවතම තැපැල් සේවය ඇරඹෙන්නේ 2017 වසරේ දී ය. වියපත් කාන්තාවන් හය දහසක් හා පිරිමින් පහලොස් දහසක් දැනට ලියා පදිචි වී සිටිති. දිනපතාම ලැයිස්තුව අලූත් වෙමින් තිබේ. එම අයගෙන් ලැබෙන ප‍්‍රතිචාර අනුව මෙම පියවර සෑහෙන ඵලදායී එකකි. සේවය අවසන් කර සමුගෙන යන්නට සැරසෙන ලියුම්කරු තමන් අත ඇති ලේඛනයක් පෙන්වා එහි අත්සන් තබන සේ දන්වන අතර එය මෙම සේවාව නිසි ලෙස ක‍්‍රියාත්මකවන බවට සාක්ෂියකි.

ප‍්‍රංශ තැපැල් සේවය රාජ්‍ය හා පුද්ගලික හවුල් ව්‍යාපාරයකි. වසර දහයකට කලින් වසරකට බිලියන දහඅටක ලිපි ප‍්‍රමාණයක් බෙදාහරින ලද නමුත් දැන් එය බිලියන දහයකට පමණ සීමා වී තිබේ. 2013 වසරේ එක්තරා දිනයක තැපැල් ස්ථානාධිපතිවරයෙකු තමන් දන්නා ලියුම් බෙදන රාජකාරියෙහි නිරත සේවකයෙකු අමතා අසල ජීවත්වන වයසක පුද්ගලයෙකු ගේ හැසිරීම ගැන තොරතුරු ප‍්‍රමාණයක් ඉල්ලා තිබේ. එය සාර්ථක වූ මෙහෙවරක ආරම්භය විය. මුලින් අත්හදා බැලීමේ සේවයක් වූ අතර දැන් එය වෘත්තීය මට්ටමට වැඩි දියුණු කර ඇත. ලිපි බෙදාහැරීම අඩු වන විට සේවය කරගෙන යන්නට අසමත්වන තරමට පාඩු වාර්තා කර තිබේ. සමහර ප‍්‍රදේශවල සේවකයෝ බෙහෙත් මිල දී ගෙන ගෙනැවිත් දීම, මල් ප‍්‍රවාහනය හෝ පුස්තකාල පොත් ආපසු භාර දීම වැනි සරල ක‍්‍රම අත්හදා බලා ඇත.

බි‍්‍රතාන්‍යයේ තැපැල් සේවාව පුද්ගලීකකරණය කරන ලද අතර එහි ද මේ හා සමාන ක‍්‍රමයක් ගැන අත්හදා බලා තිබේ. එහි දී වියපත් පුද්ගලයන්ගේ සෞඛ්‍ය පැත්ත ගැන ද යම් අදහස් හුවමාරුවක් කරගෙන ඇති බව වාර්තා වෙයි.

ප‍්‍රංශය දියුණු රටක් වන අතර වයස්ගත අයගේ ආයු කාල දීර්ඝ වී තිබේ. 2035 වන විට ජනගහනයෙන් තුනෙන් එකක් අවුරුදු හැට ඉක්මවූවෝ වනු ඇතැයි විශ්වාස කෙරේ. සැම පවුලකම දරුවෝ සහ මුනුබුරු මිනිබිරියෝ රැකියා හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නගර කරා සංක‍්‍රමණය වී ඇති අතර පරම්පරාවෙන් ලැබණ නිවාස වල පැවැත්ම වෙනස් වී ඇත. සමහර දරුවන් සිය වැඩිහිටියන් රැකබලා ගැනිම වෙනුවට දිනපතාම ඇත්ත තත්ත්වය සොයා වාර්තා කිරීම වෙනුවෙන් මුදල් ගෙවා තැපැල් සේවය වෙන් කරගන්නා තැනට පත් ව තිබේ. ප‍්‍රංශයේ වයස් ගත මිලියන සංඛ්‍යාත පිරිස වෙනුවෙන් ක‍්‍රියාත්මක වැඩිහිටි නිවාස, සාත්තු සේවා යනාදිය ප‍්‍රමාණවත් නොවන අතර අලූතින් හදුන්වා දී ඇති තැපැල්කරුගේ හෘදයාංගම බව වඩා ආකර්ශනීය වී ඇති බව අනාවරණය වෙයි. ලෝකයේ දියුණු රටවල් සේවා අංශ අලූත් නිර්මාණශීලී පැත්තකට හරවමින් සිටින අතර සමාජ ව්‍යුහය සමග බද්ධවන ආකාරය අධ්‍යයනය කිරීම සිත්ගන්නා දෙයක් බවට පත්ව ඇත.