» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/03/2019 - දේශය
කැමැති ආහාර වල අකමැති කොටස් ඉවත් කිරීම

ලෝකයේ අලූත් අත්හදා බැලීම් සිදුවෙයි. පර්යේෂණ වාර්තා අනාවරණය වෙයි. පවතින තත්ත්වයට වඩා වෙනස් යහපත් දෙයක් ඇති කිරීම පර්යේෂණ වල අරමුණ වී තිබේ. ජාන තාක්ෂණය විශේෂ අවධානයට ලක් වූ කාරණයකි. එහි හොඳ පැත්ත ගැන තද අවධානයක් තිබේ. නරක පැත්ත ගැන බලවත් විරෝධයක් ඇත. ස්වභාවය ධර්මයට ඇළුම් කරන පවතින දේ විකෘති කිරීමට මනුෂ්‍ය ප‍්‍රජාවට අයිතියක් නැති බව හිතන මතධාරීහු පිරිසක් ද සිටිති. ඔවුහු නගන තර්ක බැහැර කළ නොහැකිය.

නමුත් ජාන තාක්ෂණය ගැන විවිධ අනාවරණ ලැබෙමින් පවතී. ලෝකයේ වඩාත් ජනප‍්‍රිය කෙසෙල් වර්ගයකට වැළඳෙන දිලීර ආසාදනයක් වැලැක්වීම සඳහා ජාන තාක්ෂණය වහල් කරගත හැකි ආකාරය ගැන පර්යේෂණ සිදුවෙයි. එහි දී තෝරා ගත් පැල වල දිලිරයට ඔරොත්තු දෙන ජාන මගින් වඩා නිරෝගී කෙසෙල් පැල බෝ කරගැනීමට අදහස් කෙරේ. එය සංකීර්ණ ක‍්‍රියාවලියකි. ජාන වෙනස්කසකට වඩා එය ජාන සංස්කරණය කිරීමක් වී තිබේ. කෙසෙල් ශාඛයේ ජාන වෙන්කර හදුනාගෙන ආවේනික පැහැය, රසය හෝ ගුණාත්මක භාවය තිබිය දී වගාව ගොදුරුවන දිලීරයට ඔරොත්තුදීමට පමණක් අවශ්‍ය වෙනස්කම් කරනු ඇත. කෙසෙල් වගාවේ දිලීර හානිය අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක විනාශයක් කරයි. එය වගා කරුවන් බලවත් දුෂ්කරතාවයකට පත් කර තිබේ. තරගකාරීව වෙළඳ පොලට කෙසෙල් සපයන ලතින් ඇමරිකාව කරා මෙම දිලිර ආසාදනය ව්‍යාප්ත වුවහොත් එය සමස්ථ කෙසෙල් සැපයුමෙන් තුනෙන් එකක් අවහිර කිරීමකි. පැනමා දිලීරය යනුවෙන් හªන්වන මෙම රෝගය චීනය, ගිණිකොන දිග ආසියාව, ඔස්ට්‍රේලියාව හා මැද පෙරදිග කලාපය හරහා ව්‍යාප්ත වෙමින් තිබේ.

බි‍්‍රතාන්‍යයේ ජෙව විද්‍යා පර්යේෂණ කණ්ඩායමකට අනුව කෙසෙල් වගාවේ ජාන වල ඇති සුවිශේෂීත්වය හෙයින් මෙම සංස්කරණ පර්යේෂණය ඉතා සූක්ෂමය. නමුත් මෙම දිලීරය පාලනය කිරීම සඳහා නිතිපතා වියදම් කරන රසායනික ද්‍රව්‍යය ප‍්‍රමාණය සැහෙන තරමකි. හුදෙක් රසායන වලින් තොරව කෙසෙල් වගාව ආරක්ෂා කරගැනීමේ පර්යේෂණයක් වශයෙන් පමණක් නොව අනාගත ජනගහනයට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ අභියෝගය වෙනුවෙන් මෙම ජාන සංස්කරණය කිරීම සුදුසු එකක් බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන 9.8 ක් වනු ඇත. පාලනය කරගත හැකි රෝග වලින් බේරා ගැනීමට ප‍්‍රයත්න නොදැරුවහොත් අනාගයේ ඇති වන ආහාර හිඟය බලවත් ප‍්‍රශ්නයක් වනු ඇත.

එහෙත් ස්වභාව ධර්මයට ඇළුම් කරන සෑහෙන පිරිසක් ජාන වෙනස්කම් වලින් පරිසරයට කරන හානියට එරෙහිය. ජාන වෙනස් කර නිපදවන ආහාර භුක්ති විඳීම ද ප‍්‍රතික්ෂේප කරති. ජාන වෙනස් කිරීම හා ජාන සංස්කරණය යනුවෙන් පැති දෙකක් ද තිබේ. මෙම දෙකොටස ගැනම සමහර පාරිභෝගිකයෝ අකමැතිය. අලෙවියට තබන ආහාර ජාන තාක්ෂණය භාවිතා කර නිපදවන ඒවා නොවෙන බව සහතික කළ යුතු යැයි බල කරන්නට පටන්ගෙන තිබේ. ඇමරිකාව හා යුරෝපා රටවල ආණ්ඩු එය වෙනුවෙන් නීති පනවා ඇත. ආහාර මිල දී ගන්නා පාරිභෝගිකයන්ට ඒවා නිපදවන ලද පසුබිම දැනගන්නට ඇති අයිතියට ගරු කරන බව පිලිගෙන තිබේ. ජාන සංස්කරණයෙන් නිපදවන ආහාර වර්ග ජාන වෙනස්කම් වලට ලක් කරන ලද ඒවා හා සමානව සැලකිය යුතු බව නොබෝදා යුරෝපා අධිකරණයක් තීන්දුවක් දී ඇත.

ජාන වෙනස් කර නිපදවන ලද තක්කාලි, හතු වර්ග වෙළඳ පොලෙන් මිල දී ගත හැකිය. සෝයා, රටකජු පමණක් නොව කොකෝවා ප‍්‍රබේධ ද ජාන වෙනස්කම් වලට ලක් කර තිබේ. විෂ සහිත සතුන්ගෙන් ගත් ජාන සමහර බෝග වලට මිශ‍්‍ර කර වැඩි අස්වැන්නක්, රෝග වලට ඔරොත්තු දෙන ස්වභාවයක් හා ආකර්ශණීය පෙනුමක් ඇති කරන නමුත් මේවා පරිභෝජනය කරන මිනිසුන්ට අත්පත් වන විපත් ගැන වැඩි අවධානයක් යොමු කර නැති බව මේවාට විරුද්ධ සංවිධාන වල අදහස වී තිබේ. නමුත් සාමාන්‍ය ගොවිතැනේ දී ගැලපෙන්නේ නැති පැල හෝ බීජ වර්ග ඉවත් කෙරේ. වගාකරන විට හොඳ අස්වැන්න ගැන හිතයි. රෝග වලට ඔරොත්තු දෙන ප‍්‍රබේධ වෙන්කර ඒවා බෝ කරගැනීමට ගොවියෝ නැඹුරු වී සිටී. එය අනාදිමත් කාලයක් තිස්සේ නොදැනුවත්වම එහෙත් කෘෂිකර්මයෙහි නිරත පිරිසගේ අධීක්ෂණය යටතේ ස්වභාවිකව සිදුවූ පරිවර්තනයක් බව ජාන වෙනස්කම් වලට එකඟ පිරිස වල අදහසයි. ගොවිපොලේ දී සිදුවූ තෝරා ගැනීම විද්‍යාගාරයට පැමිණ තිබේ. එය විශාල විප්ලවයක් බව ඔවුන්ගේ අවධාරණය වී ඇත.

ඇමරිකාව හා බි‍්‍රතාන්‍යයේ කරන පර්යේෂණ වලින් නිපදනුවන ලද ජාන වෙනස්කම් සහිත ආහාර වර්ග අනුමත කිරීම ගැන විවිධ අදහස් තිබේ. 1998 දී කෘමි හානි වලට ඔරොත්තු දිය හැකි බඩ ඉරිගු නිපදවන ලද සමාගමක බීජ ඇමරිකාවේ දී පිලිගැණින. නමුත් 2010 වසරේ දී නිපදවන ලද තක්කාලි වර්ගයක් කෙරෙහි ජනතා ආකර්ශනය අවම වූ හෙයින් අනුමැතිය අවලංගු කර තිබේ.

කෙසෙල් වගාව ගැන පර්යේෂකයකයන්ගේ අවධානය යොමු වන්නේ එයින් අනතුරුවය. ජාන වෙනස්කමකට වඩා සංස්කරණයකි. එය විශේෂයෙන් අවධානයට ගැනෙන්නේ එහෙයින්ය. ගවයන්, කුකුලන් සහ මසුන් අතරෙහි ජාන සංස්කරණය කරන යෝජනා ඉදිරිපත් වී තිබේ. ජාන සංස්කරණය කර වේගයෙන් වැඩෙන සැමන් විශේෂයක් මනුෂ්‍ය ආහාරයට සුදුසු ද යන තර්කය වසර විස්සක් සාකච්ඡා කර තිබේ. ඇමරිකාවේ අලෙවිය තහනම් වූ එම සැමන් කැනඩාවේ අලෙවි කෙරේ. අං සහිත ගවයන් ගේ දරුණු ගැටුම් වලක්වනු සඳහා ජාන තාක්ෂණයෙන් අං රහිත ගවයන් බෝ කිරීම සඳහා අනුමැතිය ගැනීමට ඇතැම් රටවල් මහජන මතය විමසන වැඩ පිලිවෙලක් අරඹා ඇත. මේවා අනාගතයේ දී කෙබදු මුහුණුවරක් ගන්නේ දැයි නිශ්චිත නැත. වෙළඳ පොල අවශ්‍යතා පාරිභෝගිකයන්ගේ කැමැත්ත සහ සැපයිය නොහැකි වන ඉල්ලූම මෙම පර්යේෂණ වල ප‍්‍රගතිය වේගවත් කරනු ඇත.