» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/01/2021 - දේශය
එහේ බත් ටික කොස් කොළේ මෙහේ අචිචාරුත් පොලිතින් එකේ

ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් වල බහා ආහාර හා ඖෂධ නොවන දේ අලෙවි කිරීම මෙම වසරේ තහනම් කරන බව නිවේදනය කර තිබුණි. එහෙත් එය පියවරක් පසුපසට ගෙන තිබේ. තව දුරටත් ‘‘ෂැෂේ පැකට්’’වෙළද සැල් වල එල්ලා අලෙවිකරනු ඇත. ස්නානයේ දී හිස ගල්වන ෂැම්පු වර්ගවල සිට උදෑසන කිරි වේල වෙනුවෙන් දක්වා වන පරාසයක, කුඩා පොලිතීන් ඇසුරුම්වල ඇති දේ මිල දී ගන්නා ජනී ජනයා ඒවා භාවිතා කිරීමෙන් පසු, තමන් කරන පරිසරය හානිය ගැන අවධානය යොමු කරන්නේ නැත. දිරාපත් නොවන සහ දිරාපත්වීමට ඉතා දීර්ඝ කාලයක් ගන්නා පොලිතීන් හා ප්ලාස්ටික් මිහිතලයේ පැවැත්ම අවදානමකට ලක් කර තිබේ. භාවිතයෙන් පසු ඉවත දමන පොලිතීන් ජල බැසයන මාර්ග අවහිර කර තිබේ. ඒවා පුලූස්සා දැමීම ගෝලීය උණුසුම නංවන හේතුවකි. සාගරයට එකතුවීමෙන් විශාල ජල දූෂණයක් හටගෙන තිබේ. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් පොලිතීන් හා ප්ලාස්ටික් සාගරයට බහුලව එකතුකරන රටවල් අතර සිටී.

නෙළුම් කොලයේ හෝ කෙසෙල් කොලයේ බත් පාරිභෝගිකයන් කැදවන ප‍්‍රචාරණ උපක‍්‍රමයකි. ගමනක් අතරතුර එවැනි තැනකින් ආහාර ගන්නට පෙළැඹෙන ලාංකිකයෝ නිවසේ පවත්වන කුඩා සාදයක දී පවා පරිසරයට බැහැර කරන පොලිතීන් ප‍්‍රමාණය විශාලය. උත්සව වලදී ආහාර තැවරීමෙන් වලක්වා ගැනීමට පිගානට තුනී පොලිතීන් ආවරණයක් භාවිතා කරන අප සියළු දෙනා භාජනය පිරිසිදු කරන්නට වැය කරන ජල ප‍්‍රමාණයට වඩා තක්සේරු කළ නොහැකි බරපතල විනාශයක් නොදැනුවත්වම පරිසරයට කරන බව අවධානයට ගත යුතුය.

අසල්වැසි ඉන්දියාවේ සංස්කෘතිය අනුව කෙසෙල් කොලයක ආහාර ගැනීම මදිකමක් නොවේ. සියළු උත්සවවල දී උස් පහත් බේධයක් නැත. සුදුසු අතුරනයක් එලා බිම අසුන් ගන්නා අතර ඉදිරියෙන් කෙසෙල් කොලයක් තබා එහි බෙදන ආහාර අනුභවකර බදුන මුව නොතබා වතුර පානය කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි. කෙසෙල් කොලයක හෝ පුවක් කොලපොතකට බෙදා ආහාර පිලිගැන්වීම මෙරට තරු හෝටලයක දී විලාසිතාවකි. සාමාන්‍යයෙන් කළහොත් එය නිගරුවක් සේ සලකන ආකල්පයක් තිබේ. ඉතාම හොද පිගානක පොලිතීන් එලා ආහාර පිලිගැන්වීම ප‍්‍රතික්ෂේප කළ යුතුය. එපමණකටම රට තුළ පරිසර විනාශයක් සිදු කරයි. දිනකට මිලියන ගණනින් බත් ඔතන පොලිතීන් භාවිතා වන බව පර්යේෂණ වාර්තා සනාථ කරයි. ගණකම වැඩි, එකවරකට වඩා භාවිතා කළ හැකි පොලිතීන් පරිහරණය කරන සේ නීති පනවා ඇති නමුත් වැඩි ගණකම ඇති පොලිතීන් පවා නැවත පරිහරණය කරන පුරුද්දක් රට තුළ නැත. පරිසරයට කරන හානිය ගැන කිසිම තක්සේරුවක් නැති මෙරට ජන සමාජය පොලිතීන් භාවිතය නතර කළහොත් සිදුවියහැකි හිරිහැරය ගැන පශ්චාත්තාපවන තරමට ඇබ්බැහි වී සිටින බව ඉතාමත් පැහැදිලි කරුණකි.

කොවිඞ් -19 වසංගත තත්ත්වය පවතින කාල වකවානුව තුළ එදිනෙදා පැවැත්ම දුෂ්කර වී තිබේ. සම්ප‍්‍රදායික හුරුව වෙනස් කරන්නට සිදුවී ඇත. අලූත් යුගයකට ඇතුළුවන විට පරණ නොගැලපෙන තැන් අත්හැරීමට සූදානමක් අවශ්‍යය. අලූත් ව්‍යවසායකයන් වශයෙන් රට තුළ ඇති දිරාපත්වන අමුද්‍රව්‍ය වලින් ඇසුරුම් හෝ ආහාර භාජන නිපදවිය නොහැකි ඇයි? ආනයනික දේ පාලනය කරන වකවානුවකි. පරිසරය ගැන කැක්කුමක් ඇති ජන කොටසක් සිටී. දේශීය අත්හදා බැලීම් අලූත් ව්‍යවසායකත්වයක් ඇති කරනු නිසැකය. මෙරට බහුලව ඇති ශාඛ වර්ග වලින් ලබා ගන්නා පත‍්‍ර ඇසුරු කරගෙන හොද නිපැයුම් කරන්නට හැකිය. පසුගිය කාලයේ අත්හදා බැලීම් කරන ලද බව වාර්තා වූ අතර ඒවා ඉදිරියට ගෙනනයාම අවශ්‍යතාව වී තිබේ.

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක ගෘහ කර්මාන්තයක් වශයෙන් ශාඛ පත‍්‍ර භාවිතා කර එක වරක් භාවිතා කළ හැකි පරිසර හිතකාමී භාජන නිෂ්පාදනය කෙරේ. පිගන්, කෝප්ප, හැදි සහ නොයෙක් ඇසුරුම් වලට ශාඛ පත‍්‍ර හරවන ක‍්‍රම නිර්මාණය කරගෙන ඇත. ඔඩිස්සා, මධ්‍ය ප‍්‍රදේශ් සහ අන්ද්‍රා ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක එය ව්‍යාපාරයක ස්වභාවය ගෙන ඇත. වැඩි වශයෙන් කාන්තාවෝ නිරත වෙති. අසල වනාන්තරයට යන ඔවහු තෝරාගත් ගස්වර්ගවල පත‍්‍ර නෙලා ගෙන එති. සමහර ප‍්‍රදේශවල ඒවා ප‍්‍රදේශයේ වගා කෙරේ. නියමිත ප‍්‍රමිතියකට වේලන අතර සාමාන්‍ය යන්ත‍්‍රයක ආධාරයෙන් හැඩය එන තෙරපුම ලබා ගන්නට සමත්ය. පසුව නියමිත හැඩයට කපා බහාලූම් වල අසුරන අතර වෙළද පොලට යවන බව මාධ්‍ය වාර්තා දක්වයි. කේරල ප‍්‍රාන්තයේ කොස් ගස බහුලව තිබේ. එහි වැසියෝ කොස් කොල වල බත් ගුලි අසුරති. බත් සෑහෙන ප‍්‍රමාණයක් බුදින ශී‍්‍ර ලාංකික සංස්කෘතියට එය නුහුරුය. එහෙත් විවිධ ව්‍යංජන බහා ඇසුරුම් කිහිපයක් මිල දී ගත හොත් වේලක් පිරිමසින්නට බැරිකමක් නැත. බත් ස්වල්පයක් දමා එය හතර කොනකින් අල්ලා ඉරටුවක් ගසන කේරළ වෙලෙන්දෝ ඒවා වීදියේ විකුණති. එම කොස් කොලය ඉවත දැමීම ප‍්‍රශ්නයක් නොවේ. තායිලන්තයේ පවා බත් පමණක් ඇති පැකට් කෙසෙල් කොලවල අසුරා තිබේ. ස්ටිකී රයිස් සේ හදුන්වති. එයින් එකක් මිල දී ගන්නා වැසියෝ අනුභව කරමින් පාරේ ඇවිදීම සාමාන්‍ය සිද්ධියකි. ඉන්දුනීසියාව අයිස්ක‍්‍රීම් හා යෝගට්වලට පවා කාබනික ඇසුරුම් භාවිතා කරන තීරණයක් ගෙන ඇත. බීම වර්ග පානයට ප‍්‍රයෝජනයට ගන්නා ස්ට්‍රෝ හෙවත් බීම බට නිපදවන්නට මුහුදු පැලෑටි වගා කිරීම අරඹා තිබේ. ශ‍්‍රී ලංකාවේ අච්චාරු වෙළදාමට පවා අලූතින් පොලිතීන් බහාලූම් එකතු වී ඇත. ඒවායේ අසුරා ලස්සනට අලෙවි කරන අතර විසි කිරීමෙන් සිදුවන අවලස්සන ගැන මිල දී ගන්නා පාරිභෝගිකයෝ කල්පනා කරන්නේ නැත.

කෙටි ආහාර වර්ග පිරිනමන විලාසය හා ඒවා බදුන් ගත කරන්නට ප‍්‍රයෝජනයට ගත හැකි ශාඛ වර්ග ගැන පර්යේෂණ ඇරඹීම සුදුසුය. මෙරට විද්වත් පර්යේෂකයන් රටට අලූත් දර්ශනයක් ගෙන එන නවතම සොයාගැනීම් සමාජයට හදුන්වා දිය යුතු කාලයකි. කෙසෙල් කොලවලින් ආහාර පිලිගන්වන භාජන හදන ව්‍යාපෘතියකට ණය ආධාරයක් ඉල්ලා සිටියහොත් මෙරට කිසිම බැංකුවක් එය අනුමත කරන්නේ නැත. ව්‍යවසයායකයෙකු හැදෙන්නට ඇති ඉඩකඩ ප‍්‍රාග්ධන ප‍්‍රශ්න නිසා ඇවිරෙයි. අධිපතිවාදී පැරණි ව්‍යුහ පැත්තකින් තබා අලූතින් හිතන්නට පරිසරය බලකරන බව වටහා ගැනීම සුදුසු කාලයකි.