» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/06/2019 - දේශය
ප‍්‍රතිචක‍්‍රීකරණයෙන් ඉදිරියට යන නෙදර්ලන්තය

ප‍්‍රජාවගේ පරිහරණය අනුව ලෝකයේ පවතින ස්වභාවික සම්පත් වේගයෙන් ක්ෂය වෙමින් පවතී. විසදුමක් සොයා ගැනීම පහසු නැති ගැටළුවකි. අනෙක් පැත්තෙන් තවත් අභියෝගයක් එල්ල වී තිබේ. ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන නිපදවන කෘතීම දේ පරිසරයට කරන බලපෑම සෑහෙන ප‍්‍රශ්නයකි. දිරාපත් නොවන අතර කැලි කසල වශයෙන් ඉවතට දමන දේ සෑහෙන හානියක් කරන බව පරේෂකයෝ ගණන් බලා තිබේ. අනාගත පරපුර වෙනුවෙන් යහපත් පරිසර සාධක සාක්ෂාත් කරනු සඳහා ඉවත දමන දේ නැවත ප‍්‍රයෝජනයට ගැනීම අවශ්‍යතාවයකි. පරිහරණයෙන් පසු පැත්තකට විසි කරන දේ වලට කරන්නේ කුමක්ද යන්න ගැන විශාල පරීක්ෂණ සිදුවෙමින් තිබේ. ආර්ථික හා සමාජ වශයෙන් ඉහළ ප‍්‍රමිති ආරක්ෂා කරන්නට සූදානම් රටවල් නොයෙක් අත්හදා බැලීම් වල නිරත වෙති.

ප‍්‍රතිචක‍්‍රීයකරණය සම්බන්ධයෙන් නෙදර්ලන්තය පුලූල් අවධානයක සිටී. හැම දෙයක්ම හැම අවස්ථාවකම ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම අරමුණ වී ඇත. ඒවායෙන් අලූත් දෙයක් නිපදවන අතර කිසිම අවස්ථාවක කසල වශයෙන් බැහැර කරන්නේ නැත. පසුගිය අවුරුද්දේ නෙදර්ලන්තය ලෝක ඉතිහාසයේ පළමු වතාවට බෝතල් මූඩි මිලියන ගණනක් එකතු කර පාපැදි වලට පමණක් වෙන් වූ මාවතක් නිර්මාණය කළේය. මීටර් තිහක දිගට නගර දෙකක් යා කරන මාවතක් ප්ලාස්ටික් බෝතල් මූඩි වලින් සකස් කළ නෙදර්ලන්ත වැසියෝ එයින් පෙන්නුම් කළේ පරිසරය ආරක්ෂා කරගැනීමේ අභිලාශයයි. එරට සමාගමක ඉංජිනේරුවන් දෙදෙනෙකු ගේ නිර්මාණයක් වන එහි දීර්ඝ කාලීන පැවැත්ම වෙනත් ඉදිකිරීමකට වඩා තුන් ගුණයක් බව දැක්වෙයි. අනෙක මහ වැස්සකට පසු පවා ඉක්මනින් වියැලී ආරක්ෂාකාරී තැනක් බවට පත් වන බව දැක්වෙයි. පාපැදිය භාවිතයටට එරට සෑහෙන ඉඩක් තිබේ. මිලියන දහ හතක පමණ ජනගහනය වෙනුවෙන් මිලියන විසි දෙකක පාපැදි භාවිතා වන අතර රට පුරා පාපැදි වලට පමණක් වෙන්වූ මංතීරු වල දිග කිලෝමීටර් 800 කි. මෙම පාපැදි වල සියළු කොටස් නැවත නැවතත් අලූත් වැඩියා කර භාවිතා කරන තැනට නැඹුරු වී ඇති බව අනාවරණය වෙයි. දියුණු ආර්ථිකයක් ඇතත් පැපැදියෙන් ගමන් කිරීම පරිසරයට හිතකර පමණක් නොව ශරීර සුවතාවයට ද වැදගත් බව නෙදර්ලන්තයේ වැසියන්ගේ අදහසයි.

පාපැදියෙන් යන එන නෙදර්ලන්ත ජාතිකයෝ ප‍්‍රතිචක‍්‍රීයකරන බද්දක් ගෙවති. අලූතින් විදුලි උපකරණයක් හෝ ගෘහ උපකරණයක් මිල දී ගන්නා විට භාවිතයෙන් ඉවත් කළ උපකරණය වෙළඳ සැලට බාර දිය යුතුය. රෙදි සෝදන යන්ත‍්‍රයක් අලූතින් මිල දී ගන්නා පාරිභෝගිකයෙකු තමන්ගේ පරණ යන්ත‍්‍රය භාර නොදුනහොත් ප‍්‍රතිචක‍්‍රීයකරන බද්දට යටත්ය. එයින් නිදහස් වෙන්නට නම් පරණ මෙවලම ගෙනැවිත් භාර දිය යුතුය. අලූතින් නිපදවන ජංගම දුරකතන පවා පහසුවෙන් අලූත්වැඩියා කළ හැකි හෝ ගලවා වෙන්කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි සේ නිෂ්පාදනයට පියවර ගෙන ඇත.

සෑම නගරයක්ම තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණ කැලැන්ඩරයක් ප‍්‍රකාශයට පත් කිරීම ඉතාමත් සිත්ගන්නා අදහසකි. එයට අනුව හිතුමතේ කසල බැහැර කරන්නට පුලූවන්කමක් නැත. නගරයේ තෝරා ගත් තැන් වල වීදුරු, කඩදාසි, ප්ලාස්ටික්, පොලිතීන් හෝ යකඩ නැවත භාරගන්නා දින වකවානු කලින් ප‍්‍රකාශයට පත් කරයි. දින දර්ශනයේ අදහස එයයි. එම දවස් වලට ගෙනැවිත් භාරදෙන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි දේ ඉක්මනින් නැවත ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයට හැරවීම පලාත් පාලන ආයතන වල වගකීම වී තිබේ. වීදුරු හා කඩදාසි යනාදියෙන් සියයට අනූවක්ම නැවත නැවතත් ප‍්‍රතිිචක‍්‍රීයකරණය කෙරේ. වැසියන් ද එයට උනන්දුවෙන් සහභාගී වන බව නෙදර්ලන්තයෙන් ලැබෙන වාර්තා දක්වයි.

අන්තර් ජාතික වාර්තා අනුව තවමත් ප‍්‍රතිචකී‍්‍රයකරනට පත්වන්නේ නිපදවන දේ වලින් සියයට නමයක් බව දැක්වෙයි. නමුත් නෙදර්ලන්තය එයට ඉහළින් සිටී. වසර 2050 වන විට ලෝකයේ හොඳම පරිසරය තැනීම එරට අභිලාශය වී ඇත. පවතින සම්පත් ආරක්ෂා කරගන්නා අතර භාවිතයෙන් ඉවත් කරන දේ පිලිවෙලකට බැහැර කරන නෙදර්ලන්තය බාල කාලයේ සිට දරුවන්ගේ හිත් වලට පරෙස්සමෙන් පරිහරණය හා නැවත නැවතත් ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම කියා දෙයි.

නෙදර්ලන්තයේ අලූතින් තනන ගොඩනැගිලි පවා අනාගත බලශක්ති අරුබ්දයට හිතකර සේ නිර්මාණය කරයි. ඒවායේ වහල සූර්ය කෝෂ වලින් තැනෙන අතර ගොඩනැගිලි වල උණුසුම, ආලෝකය, ස්මාට් දුරකතන හෝ පරිගනක ආරෝපනය කිරීමට සූර්ය තාපයට හැකිවන පරිදි සැලසුම් කරයි. නොබෝදා විවෘත කළ මහල් ගොඩනැගිල්ලක් වෙනත් රටක ඒ හා සමාන ගොඩනැගිල්ලකට වඩා සියයට හැත්තෑවකින් බලශක්තිය පිරිමසන බව සනාථ කර තිබේ. එය සෑහෙන පෙරැළියක් බව පරිසර හිතකාමීහු පෙන්වා දෙති.

පසුගිය වසර හතලිහ තුළ ලෝකයේ ස්වභාවික සම්පත් භාවිතා කිරීම තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒවායෙන් නිපදවන දේ නැවත කසල වලට බැහැර කිරීම විශාල නාස්තියක් හා බලවත් විපත් ඇති කරන බව තක්සේරු කර ඇත. නොයෙක් රටවල් කසල බැහැර කිරීමට විශාල ප‍්‍රයත්නයක නිරත වන අතරවාරයේ නෙදර්ලන්තට සිට වැසියන් බැහැර කරන කසල රටට අවස්ථාවක් කර ගෙන තිබේ. අලූත් ආර්ථිකයක් ගොඩනගා ඇති අතර අනවශ්‍ය පිරිවැය කළමනාකරණය කරගැනීමට සමත්ව ඇත.