» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/05/2021 - දේශය
ඉන්දියාවේ අර්බුදය පමණක් නොව විසදුම් දෙස ද බලන්න

ජගත් ප‍්‍රජාව ඉන්දියාවේ පවතින වසංගත තත්තවය ගැන ශෝකාකූලව සිටී. මාධ්‍යයෙන් විකාශය කරන දර්ශන හදවත කම්පාකරවන සුළුය. තැන තැන ජීවිතක්ෂයට පත්වන පිරිස් ගැන තොරතරු ලැබෙයි. රෝගීන් සදහා ඔක්සිජන් හිගවීම බලවත් ප‍්‍රශ්නයක් බව කියැවේ. වහාම ජනතාවට අවශ්‍ය සේවා සම්පාදනය කරන සේ අධිකරණය පවා නියෝග දෙන කාලයක් බවට පත්ව තිබේ. ලෝකයේ සියළුම රටවල් ඉන්දියාව වහා ආධාර සපයන පිලිවෙතකට අවතීර්ණ වී තිබේ. ඉන්දියන් සාගර කලාපය සුනාමි ව්‍යසනයෙන් විපතට පත් අවස්ථාවේ දී ඉන්දියාව තනිව නැගී සිටින්නට හැකි බව දැක්වීය. ජාත්‍යන්තර ආධාර හා අනුකම්පාව අපේ්ක්ෂා කළේ නැත. දහස් ගණනින් ජීවිත ක්ෂණයකින් අහිමි වූ එදවසට වඩා වෙනස් ස්වභාවයක් අද උද්ගත වී තිබේ. කොවිඞ් වෛරසය වේගයෙන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වන අතර තත්ත්වය පාලනය කරන සියළු පියවර ගෙන ඇති බව තොරතුරු වාර්තා කරයි.

ඉන්දියාවේ කොවිඞ් සාධකය ගැන ලෝකය පුරා මහත් අවධානයක් පවතින නමුත් එය අතරවාරයේ එරට ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වන ආකාරය ද සැලකිල්ලට ලක්විය යුතුය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ඉන්දියාවේ ප‍්‍රවාහන පද්ධතිය වේගයෙන් ඉලෙක්ටි‍්‍රක් යුගයට ඇතුළු වෙමින් සිටී. එක පැත්තකින් කොවිඞ් අනතුර පවතින අතරවාරයේ පවා පොසිල ඉන්ධන අතහැර ඉලෙක්ටි‍්‍රක් වාහන භාවිතා කරන පියවර අත්නොහරින පියවරකය. වසර 2030 වන විට එරටට ආනයනය කරන සියළුම කාර් සහ ට‍්‍රක් විදුලිය බලයෙන් ක‍්‍රියාත්මක විය යුතු බවට නීති පනවා තිබේ. නව දිල්ලි නගරය ඉතාම කාර්ය බහුලය. අධික වාහන තදබදයක් පවතී. වාහන වලින් නිකුත්වන දුම විශාල ප‍්‍රශ්නයක් වී තිබේ. පුලූස්සන ඉන්ධන ප‍්‍රමාණය එරට ආර්ථිකය අසරණ කරන තැනකය. එයට විකල්පයක් වශයෙන් විදුලිය බලයෙන් ධාවනය වන වාහන වලට පමණක් දොරටු විවෘත කරන තීරණයකය. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මෙම වසරේ දී විදුලිය බලයෙන් ධාවනය වන වාහන දස දහසක් අලූතින් ධාවනයට යොදවනු ඇත. දැනට භාවිතා කරන ඞීසල් හා පෙට‍්‍රල් වාහන මහා මාර්ගයෙන් ඉවත් කෙරේ. මෙවැනි පියවර පවා විශාල අභියෝගයක් වී ඇත.

ලිතියම් බැටරිවල මිල අධිකය. අනෙක ඉන්දියාව පුරා තවමත් ආරෝපන මධ්‍යස්ථාන ප‍්‍රමාණවත්ව නැත. අලූතින් බැටරි ආරෝපනය කරන මධ්‍යස්ථාන 2,636 ක් ප‍්‍රධාන නගර 62 ක් ආවරණය වන පරිදි වහාම ආරම්භ කරන පියවර ගෙන ඇති බව දැක්වෙයි. වාහන වලට අවශ්‍ය විදුලිය ඉල්ලූම සපුරාලීම සදහා විශාල ජනන අවශ්‍යතාවයක් පැන නැගී තිබේ. එය වෙනුවෙන් ද ආයෝජන අවස්ථා ඇති කරන බව දැක්වෙයි.

ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන පරිදි තිරසාර සංවර්ධනයය හා පාරිසරික ආරක්ෂාව වෙුනවෙන් ඉන්දියාව ආදර්ශයකි. ගල් අගුරු කැනීම අවසන් කරන තීරණයක් ද ගෙන ඇත. ඉදිරි වසර දහ තුන තුළ සම්පූර්ණයෙන්ම ගල් අගුරු පතල් අත්හැර දමනු ඇතැයි සැලකේ. ඉන්ධන දහනය හේතුවෙන් ඕසෝන ස්ථරයට හානි කරන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය ඉහළ නගී. කාබන්ඩයොක්සයිඞ් විමෝචනය වන අවස්ථා අවම කරන තීරණ ලෝකයේ සෑම ක්ෂේත‍්‍රයෙකින්ම අනාවරණය වෙයි. වාහන වලට භාවිතා කරන ඉන්ධන අවම කරන ප‍්‍රතිපත්තිය එහි එක පැත්තකි.

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව හා ප‍්‍රාන්ත ආණ්ඩු විදුලියෙන් ධාවනයවන වාහන නිපදවන ව්‍යාපෘති වලට අවසර දෙන තීරණයක් ගෙන ඇත. ප‍්‍රතිපත්ති සකස් කර තිබේ. එමගින් අලූත් ආයෝජන අවස්ථා ඇතිවෙයි. විශේෂයෙන් යතුරු පැදි හා තී‍්‍රවිලර් විදුලියෙන් ධාවනය කරන තාක්ෂණයට ඉක්මනින්ම හරවනු ඇත. මෙම දශකය අවසන් වනවිට යතු රුපැදි හා ත‍්‍රිවිලර් වලින් සියයට 65-70 අතර ප‍්‍රමාණයක් විදුලියෙන් පමණක් විය හැකි බව එරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ පෙන්වා දෙති.

කර්මාන්ත අංශයෙහි වාර්තා දක්වන පරිදි වාහන බැටරි නිපදවන්නට අවශ්‍ය ලිතියම් හා කොබෝල්ට් ආනයනය කරන්නට එරටට සිදුවී තිබේ. වෙනත් රටවලින් යැපෙන්නට සිදුවී ඇති අංශයකි. විදුලි වාහන නිපදවීම සදහා ගෙන යන පියවර හමුවේ ලිතියම් හා කොබෝල්ට් ආනයනය සදහා සැපයු ම්චක‍්‍රය නිර්මාණය කරන්නට සිදුවී තිබේ. අලූත් තොරතුරු දක්වන පරිදි ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ අංශය ලිතියම් හා කොබෝල්ට් මහා පරිමානයෙන් නිපදවන සොයා ගැනීම් වෙනුවෙන් පරිවර්තනය කර ඇත. විශාල ආයෝජනයක් සහිතව කම්හල් දහයක් අරඹන සූදානමක් ද තිබේ. ලිතියම් බැටරි නිපදවන දැවන්ත ආයෝජනයක් සදහා පසුගියවසරේ ජනවාරියේ දී එරට මධ්‍යම රජය අනුමැතිය දී ඇති අතර එයට විශේෂ වරප‍්‍රසාද හා බදු සහන ප‍්‍රකාශයට පත් කර ඇතැයි අනාවරණය වෙයි.

ඉන්දියාවේ පැතිරෙන කොවිඞ් වසංගත තත්ත්වය ගැන ලොකය පුරා විශාල තැතිගැන්මක් තිබෙන නමුත් තත්ත්වය කළමණාකරනය කරගෙන නැවත සුපුරුදු රිද්මය ලබා ගන්නා අවස්ථාව වන විට ඉන්දියාව පුරා තාක්ෂණික විපර්යාසයක් සිදුවනු නිසැකය. ඉන්ධන භාවිතය අඩුවන අතර ගල් අගුරු කැනීම් නතරවෙයි. බලශක්ති වියදම අඩුවන විට එය නිෂ්පාදනයට බලපාන සාධකයකි. අඩුම පිරිවැයකින් ප‍්‍රවාහනය සිදුවන විට වෙළද පොල තරගකාරීත්වයක් ඇති විය හැකිය. එය ලෝකයේ අනෙක් රටවල අපනයන වළදාම හමුවේ වාසිදායක හැරවුම් ලක්ෂයක් වනු ඇත. ආසියානු කලාපයේ අනෙක් රටවලට කලින් විදුලි බලයෙන් ධාවනයවන වාහන ඉන්දියාව ඉහළ ආර්ථික තලයකට කැදවන එක විප්ලවයක් වනු ඇත.