» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/12/2019 - දේශය
සංස්කෘතික දුරස්ථභාවයක් සහිත ජාතිකත්වයක්

ලෝකයේ පැවැත්ම නිතිපතා අලූත් මුහුණුවරක් ගනී. සංස්කෘතික අනන්‍යතා සහිත එකිනෙකට වෙනස් රටවල් අතර එම දුරස්ථභාවය තිබිය දී එක ජාතිකත්වයක් අරමුණු කරගෙන සංකල්ප බිහි වී තිබේ. එම අදහස ඉතා ආන්දෝලනාත්මක බව අවිවාදිතය. අවස්ථා සොයා රටින් රට යන පිරිස් එම රටවල ජීවත්වන උරුමක්කාර පුරවැසියන්ගේ නොසතුටට හේතු වී තිබේ. එම නොසතුට සංස්කෘතික විරෝධතා වශයෙන් වරින් වර පැන නැගී වියවුල් තත්ත්ව ඇති කරයි. මෙක්සිකෝ රට හා ඇමරිකාව අතර තාප්පයක් බැදීම ලෝකය එක යායක් බවට පත් වන සැලැස්මට එරෙහිව බලපැවැත්වෙන පියවරකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ජනාධිපතිවරණයේ දී තාප්පයක් බ`දින පොරොන්දුව දුන් අතර, අවස්ථා සොයා ඇමරිකාවට එන මෙක්සිකෝ වැසියන් නතර කරන පියවරකි. තාප්පය බදින යෝජනාව ක‍්‍රියාවට නගන අවස්ථාවේ දී ඇමරිකාව තුළ දැවැන්ත විරෝධයක් මතු විය. ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක් එයට වියදම් කිරීම අපරාධයක් බව වියත්හු පෙන්වා දුන්හ. අධිකරණයට ගිය එම අදහස අවසානයේ දී මත් ද්‍රව්‍ය පාලනය කරන ක‍්‍රියාවක් වශයෙන් අර්ථ දක්වා ඇති අතර වසර 2020 වන විට සැතපුම් 450-500 පමණ දිග තාප්පයක් බැද රටවල් දෙක වෙන්කරනු ඇති බව පැවසේ.

අනන්‍යතාවයන් තහවුරු කරන මිනුම් දණ්ඩක් තිබේද?

කෙනෙකු උපතින් ස්විස් හෝ මැලේසියානු ජාතිකයෙකු වෙන්නේ කෙසේද? පෙන්සිල්වියානු විශ්ව විද්‍යාලයේ නීති අංශයේ මහාචාර්යවරියක වන අමි වැක්ස් මහත්මිය ප‍්‍රසිද්ධ දේශනයක දී මෙම ප‍්‍රශ්නය මතු කර ඇති අතර පසුව ‘ද නිව්යෝකර්’ ස`ගරාවට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් අනන්‍යතාව තීරණය කිරීමේ දී මුලින්ම ජීවත් වූ තැන ජීවිතකාලයටම මුද්‍රා තැබීම සුදුසු ද යන්න විමසා තිබේ. සුදු හෝ කලූ යනුවෙන් බේද ඇතිකරන්නේ සංස්කෘතික හේතුවක් අනුව බව පෙන්වා දෙන ඇය ස්වභාවික පරිනාමය අනුව වාසස්ථාන ගොඩනැගුණු ආකාරය අධිරාජ්‍යවාදීන් විසින් බලහත්කාරයෙන් නතර කරන ලද බව පෙන්වා දී තිබේ. ස්විස් යනු ඉහළම තැනක යැයි සිතන අතර එහි වෙසෙන පොඩි මිනිසුන්ට ද එකම අනන්‍යතාවයක් හැදී ඇත. ජපානය හෝ තායිවානය මිනිසුන් වෙනුවෙන් තහවුරු කරන ලද ස්ථාන සාධාරණ නැති බව කියා සිටින්නීය.

මෙම අදහස එක්තරා ආකාරයකට බුද්ධ දේශනාවට සමීපය. බුදු රජාණන් වහන්සේ කෙනෙකු වසලයෙකු වන්නේ උපතින් නොවන බව දේශනා කළ අතර ක‍්‍රියාවෙන් බව පෙන්වා දුන්නේය. මලයාසියාවේ ගුවන් යානයක් කඩා වැටීම වාර්තා කරන ආකාරය පෙන්වා දෙන වැක්ස් මහාචාර්යවරිය එය මැලේසියානුවන්ගේ ප‍්‍රශ්නයක් නොවන බව දක්වන්නීය. ඩෙන්මාර්ක් ලෝක රටවල් අතර ඉහල තැනක තබන රාමුව හැදෙන්නේ කෙසේද? ඇය ප‍්‍රශ්න කරන්නීය. ඊශ‍්‍රායලයේ විද්‍යාත්මක හා නවෝත්පාදනය ඉහල තැනක තැබීම කාගේ වරදක් දැයි ප‍්‍රශ්න කර තිබේ. ඊශ‍්‍රායලට තාක්ෂණික, ඖෂධ හා රසායන වර්ග සොයාගෙන තිබේ. එම වැසියන්ගේ ස්වභාවය වෙනත් ශ්‍රේණියකට ඇද දැමීම නරක බව ඇයගේ අදහසයි.

ජාතිවාදය අර්ථ දක්වන්නේ කෙසේද? එයට උත්තරයක් නැත. උපන් තැන, එහි දී ඇසුරු කළ සංස්කෘතිය, විශ්වාස හා මතිමතාන්තර අනුව සෑම පුද්ගලයෙකුම එක් ජාතිවාදී චරිතයක් සේ රාමු කළ හැකි ද යන ප‍්‍රශ්නය ද ඇය සංකීර්ණ තර්ක සමග ලෝකවාසීහු වෙත ඉදිරිපත් කර ඇත.

සේවයේ කැපවීම සලකා රටක් වටින පිලිගැනීමක්

ලෝකයේ නොයෙක් රටවල් පිටින් එන පුද්ගලයන්ට වැට බදිති. විජාතිකයෝ බව දක්වා ඈතින් තබන තීරණ ගනිති. කතාකරන භාෂාව, එය වහරන අන්දම අනුව ජාතිය තීරණය කරන අතර සුදු කළු හෝ උසස් පහත් වශයෙන් බේධ ඇතිකරන බව පෙනේ. එසේ තිබිය දී, සංස්කෘතික ලක්ෂණ අභිබවා පුරවැසිභාවය තහවුරු කරන සිද්ධි මතුවෙමින් තිබේ. මුලින් ස`දහන් කළ ජාතිකත්වය අභිබවා යන සංකල්පයකි. ලෝකය එක යායක් වන අතර සංස්කෘතික වශයෙන් දුරස් නමුත් එක පුරවැසියන් පිරිසක් බවට පත්වෙයි. මෑතක දී අපි‍්‍රකාවේ ගැබෝන් රාජ්‍යය නොදන්නා තැනකින් පැමිණි අද්විතීය චරිතයක් තමන්ගේ කැබිනට් මණ්ඩලයට පත්කරගත්තේය. හෙතෙම ලී වයිට් වන අතර බි‍්‍රතාන්‍ය යේ උපත ලැබූ ජීව විද්‍යාඥයෙකි.

ගබෝන් රාජ්‍ය මධ්‍යම අප්‍රිරකාවේ පිහිටි රටකි. 1960 දී නිදහස ලැබූ මෙම සමූහාණ්ඩුවේ ස්වභාවික වනාන්තර හා වන සතුන් ආරක්ෂා කරගැනීම ලී වයිට් ගේ ස්වේච්ඡා වැඩ පිලිවෙලෙහි අභිප‍්‍රාය විය. වසර තිහකට කලින් බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් ප‍්‍රාන්තයේ සිට සිය කැමැත්තෙන් ගබෝන් වෙත පැමිණි හෙතෙම බිරිද හා දරුවන් දෙදෙනා ද ගෙන්වා ගත් අතර වනය විනාශ කරන වන සතුන් දඩයම් කරන කොල්ලකරුවන් සමග අරගලයක් ඇරඹීය. එරට වන ආරක්ෂක අංශ එයට සහාය වූ අතර පසුව නිරන්තරව කරන වැටලීම් නිසා නීති විරෝධී දැව පිටරට පැටවීම හා අලි ඇතුන් දඩයම් කර සත්ව කොටස් අලෙවිකරන ජාවාරම් ද පාලනය කරන්නට සමත්විය. විශාල ජාවාරම් නීතියේ රැහැනට ලක්කරගත් අවස්ථා ගණනාවකි. ස්වේච්ඡා හමුදාවක් හැදූ ලී වයිට් ගේ ආරක්ෂාවට වත්මන් ජනාධිපති බැංගෝ ගේ පියා ජනාධිපතිව සිටි කාලයේ රජයේ සහාය දුන් අතර කෙලින්ම වන සත්ව ආරක්ෂක වැඩ පිලිවෙල නීත්‍යානුකූලව කරගෙන යනු සදහා උපරිම සහාය ලබා දුන්නේය.

පුරවැසිභාවය හා ජාතිවාදය පැත්තකට

සිය පියා ගේ අභාවයෙන් පසු මහජන ඡන්දයෙන් බලයට පත් අලූත් ජනාධිපති අලි බැන්ගෝ එරට වනාන්තර කලාපය තවත් පුලූල් කරන නීති සකස් කරන ලද අතර කිසිම වගවිභාගයක් රහිතව වසර තිහක් ස්වේච්ඡාවෙන් ගබෝන් රටට සේවය කළ ලී වයිට් වනාන්තර, සාගරය හා පරිසර කැබිනට් අමාත්‍ය ධුරයට පත් කළේය. ලී ඒ වන විටත් වසර දහයක පමණ කාලයක් එරට ජාතිකයන්ගේ ලැයිස්තුවේ සිටි අතර තමන්ට හිමිවූ කැබිනට් ධුරය ගැන මවිත වන බව ලී පසුව කියා තිබුණි. ඔහු රටක් වෙනුවෙන් කළ සේවය හමුවේ ජාතිය හෝ පසුබිම බලපෑමක් නොවූ බව අවිවාදිතය.

සංස්කෘතික අනන්‍යතා හැර අනෙක් ජාතිවාදී ස්වරුපයක් නැති බව අප්‍රි‍රකාවේ දියුණුවෙමින් පවතින රටක් පෙන්වා දී තිබේ. දේශ සීමා පරාජය කර රටක උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ පුද්ගලයෙකු ඉහළට ඔසවා ඇත. ජනාධිපති අලි බැන්ගෝ තමන්ටහිතවත් අයට පත්වීම් දෙන අතර අපක්ෂපාතී පිරිස මර්දනය කරන බව විරුද්ධ මතවාදී දේශපාලනඥයන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් ලෝකය පුරා එක පැත්තකින් ජාතිවාදය පැන නැගී අවුල් වියවුල් ඇති කරන අතර අනෙක් පැත්තේන් ජාතිය ජන්මය නොතකා යහපත් දේ කරන පිරිසට අවස්ථා හිමිවනබව නිරීක්ෂණය කළ හැකිය.