» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/09/2019 - දේශය
නිර්මාංශාහාර වේලක් ගැන අලූත් අදහසක්

නිර්මාංශ ආහාර අනුභව කරන්නට කැමැති ජන කොටසක් සිටී. තවත් සමහර පිරිසක් එයටත් පුලූල් ප‍්‍රතිපත්ති අනුගමනය කරන්නට කැමැතිය. ඔවුහු ‘වේගම්’ යනුවෙන් තමන් හදුන්වනවාට එකඟය. සත්ව නිෂ්පාදන හෝ සත්වයන්ගෙන් ලබා ගන්නා කිසිම ආහාරයක් ගැනීමට අකමැතිය. බිත්තර කිරි හෝ බටර් වැනි දෙයක් පවා ප‍්‍රතික්ෂේප කරන එම ජන කොටස මනුෂ්‍යයන් වශයෙන් සිය ප‍්‍රතිපත්ති ඉතා ඉහළින් සලකන බව නිසැකය. නිර්මාංශ පමණක් නොව වේගම් ප‍්‍රතිපත්තිය ද පහසු එකක් නොවේ. එවැනි අසීරු ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින පිරිස ගෞරවයට ලක් විය යුතුය.

ජනගහනය වැඩිවීම සමග අනුභවයට ප‍්‍රමාණවත් ආහාර හිඟ වනු ඇති බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. නොබෝදා ලෝක ආහාර සංවිධානය මෙතෙක් පිලිකුල් කරන ලද කෘමි විශේෂ ගණනාවක් මිනිස් ආහාරයට සුදුසු බව නිර්දේශ කළ අතර එම කෘමීන් භෝජනයට සකස් කරන ආකාරය ජනප‍්‍රිය කිරීමට පියවර ගෙන තිබේ. අලූත් කෘමීන් භෝජනයට සකස් කරගන්නා ක‍්‍රම හදුන්වා දෙන අතරවාරයේ ලෝක ප‍්‍රජාව මාංශ අනුභවය ප‍්‍රතික්ෂේප කිරීම ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි. ඇමරිකාවේ වයස අවුරුදු 16-35 අතර අයගෙන් සියයට දහසයක පිරිසක් මස් සහිත ආහාර මිල දී ගැනීමෙන් වලකින තත්ත්වයක් උදා වී තිබේ.

මස් මාංශ අනුභව නොකරන හේතුව මසට සතුන් මැරීම පමණක් නොව සත්ව පාලනය පදනම් කරගෙන ලෝකයේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනය බව ද සඳහන් කළ යුතුය. අලූත් වාර්තා පෙන්වා දෙන පරිදි ඕසෝන ස්ථරයට හානි කරන හරිතාගාර වායු විමෝචන ප‍්‍රශ්නය ගැන සලකා බැලීමේ දී කෘතීමව කරන සත්ව පාලනය එයට සියයට 14.5 ක ප‍්‍රතිශතයකින් වගකිව යුතු බව අනාවරණය වී තිබේ. මහා පරිමාන සත්ව පාලන ගොවිපොල වලින් නිකුත්වන වායු ඉතා අහිතකර තත්ත්ව ඇතිකර තිබේ. එය තේරුම් ගත් තරුණ ප‍්‍රජාව නිර්මාංශික වන ලකුණු පෙන්නුම් කර ඇත.

එම පසුබිම එසේ තිබිය දී කෘතිමව නිපදවන මස් වලට ද සෑහෙන වෙළඳ පොලක් විවෘත වෙමින් තිබේ. සත්ව පාලනය අහිතකර නමුත් විද්‍යාගාරයේ නිපදවන මස් වලින් අහිතකර ස්වභාවයක් ඇති නොකරන බව සනාථ වී ඇත. ගව මස් හා සමාන පෙනුමකින් හා එක හා සමාන රසකින් යුතු කෘතීම මස් නිපදවන්නට සමාගම් නැඹුරු වී තිබේ. තවත් පැත්තකින් එය සත්ව පාලනයෙහි නිරත අයට තර්ජනයක් වී ඇත. බර්ගර්, සොසේජස් හෝ මීට් රෝල් යනුවෙන් නම් කර විකුණන නමුත් ඇත්තටම ඒවායේ ස්වභාවික මස් නැත. සත්ව පාලනයෙහි නිරත පිරිස් එවැනි ඇඟවීමක් නොකළ යුතු බවට පණත් සම්මත කිරීම දක්වා තීන්දු ගෙන තිබේ. ඇමරිකාවේ ප‍්‍රාන්ත තිහක් මෙම වසර තුළ මස් නොවන ආහාර වලට ‘මස්’ යන වචනය භාවිතා නොකළ යුතු බවට නීති පනවා ඇති අතර එයට හේතු වූයේ සත්ව පාලනයෙහි නිරත පිරිස ගෙන ගිය උද්ඝෝෂණය බව සඳහන්ය.

සම්ප‍්‍රදායික කිරි නිෂ්පාදකයන් පවා නිර්මාංශාහාර පාරිභෝගිකයන් ගේ ප‍්‍රමාණය වර්ධනය වීම මත ගැටළුවක බව අනාවරණය වෙයි. බටහිර රටවල කිරි පරිභෝජනය සෑහෙන අඩු වී ඇත. කිරි වෙනුවට ඕට්ස් හෝ ආමන්ඞ් විශේෂ වලින් නිපදවන ලද කිරි පානයට නැඹුරුවී ඇත. එය වෙළඳ පොල ප‍්‍රවනතා වෙනස් කරන තරමට බලපෑමක් ඇති කරන ලද බව වාර්තා පෙන්වයි. සෝයා කිරි ආහාර ඉතාමත් ජනප‍්‍රිය වී තිබේ. විශ්ව විද්‍යාල හා පාසල් ආශ‍්‍රිත අවන්හල් වල සත්ව නිෂ්පාදන වලින් කරන ලද ආහාර වෙනුවට කෘෂි භෝග වලින් කරන ලද ආහාර ප‍්‍රචලිත වී ඇත. සංචාරකයන් ආකර්ශනය කරගන්නා නගර මෙම ස්වභාවය වෙනුවෙන් වෙනස් වීම ආරම්භ කර ඇති බව තවත් දැක්විය යුතු කරුණකි. සිංගප්පූරු අගනුවර ආශිතව සෑහෙන අවන්හල් ප‍්‍රමාණයක් අලූතින් ආරම්භ කර තිබේ. ඒවායේ අලෙවි කරන බර්ගර් වල මස් ස්වභාවය තිබෙන නමුත් කෘතීමව නිපදවන ලද මස් ඒවායේ දී භාවිතා කර තිබේ. සොසේජස් වර්ග පවා ධාන්‍ය වලින් නිපදවා තිබේ. ඉදිරි වසර කිහිපය තුළ ධාන්‍ය වලට විශාල ඉල්ලූමක් ඇති විය හැකි අතර ධාන්‍ය වලින් සකස් කරගන්නා මස් අනුභවයට නැඹුරුවන ජනතාව එයට හේතුව බව පැවසේ.

නියම මස් රහිතව මස් යැයි ඇඟවෙන ලේබල් සකස් කිරීම තහනම් කරන නියෝග සමහර රටවල පවනන්නට සූදානම්ය. එයට හේතුව ගිලිහී යන මාංශ වෙළඳ පොල ආරක්ෂා කරගැනීමය. නමුත් නිර්මාංශ ආහාර නිපදවන හා ඒවා අලෙවි කරන ව්‍යවසායකයෝ එම නීති පරාජය කරන්නට සූදානම් බව ද දැක්වෙයි. කෘතීමව නිපදවීම හැර අනෙක් දෙයක් නැති අතර එම නිෂ්පාදන ද ස්වභාවයෙන්, අන්තර්ගතයෙන් හා රසයෙන් මස් හැර අනෙකක් නොවීම එයට හේතුව වශයෙන් දක්වයි. ජනතාව නොමග යැවීමක් නොව පාරිභෝගිකයෝ මස් පැත්තකට කර කෘතීම ආහාර මිල දී ගන්නේ හොඳ අවබෝධයක් ඇතිව බව නිෂ්පාදකයන්ගේ අදහසයි.

නිර්මාංශික පුද්ගලයන් පවා කෘතීමව නිපදවන ආහාර වලට හුරුවෙන්නේ ඇයි? එයට උත්තර දෙන පර්යේෂණ වාර්තාවකට අනුව ස්වභාවික සත්ව පාලනයෙන් නිපදවන මස් වලට වඩා ඉඩම සියයට 96 ක් අඩුවෙන් කෘතිම මස් නිපදවේ. ජලය ප‍්‍රයෝජනයට ගන්නා ප‍්‍රමාණය ද සියයට 87 කින් අඩුය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හරිතාගාර වායු විමෝචනය සියයට 89 කින් පහත වැටේ. ලෝකය ආරක්ෂා කරගැනීම සඳහා එය හොඳ පියවරක් බව කෘතීම ආහාර මිල දී ගන්නා ගනුදෙනුකරුවන්ගේ අදහසයි. කෘතීම ආහාර අද පවතින වේගයෙන් දිගටම පරිභෝජනය වුවහොත් වසර 2030 වන විට හරිතාගාර වායු විමෝචනය සියයට තිස් හයකින් අඩුවන අතර එය ලෝකයේ පැවැත්මට විශාල මෙහෙවරක් බව ද විචාරක අදහස වී තිබේ. මාංශ ආහාර අතහැරීම පමණක් නොව වේගන් පරිභෝජනය ද නවීන ප‍්‍රජාව තුළ නැවුම් ආකල්ප ඇති කරන්නට සමත්ව තිබේ.