» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/03/2020 - දේශය
ශබ්ධ දූෂණය ගැන අවධානය යොමු කිරීම

පරිසරය ආරක්ෂා කරගැනීම ගැන අපට මහත් අවධානයක් තිබේ. පරිසර දූෂණයට එරෙහිව ජන මතය නැගී එන බව නිරීක්ෂණය කළ හැකිය. පරිසරය ආරක්ෂා කරගතහොත් පැවැත්ම තහවුරු වන බව හිතන්නට ජනතාව නැඹුරු වී තිබේ. එය ඉතා අගය කළ යුතුය. පරිසරය ආරක්ෂා කරගෙන මානව අවශ්‍යථා සම්පූර්ණ කරගැනීමට ඇති හැකියාව ගැන අද පුලූල් සාකච්ඡාවක් තිබේ. අහිමිකරගත් දේ ගැන විවාදය පැත්තක තබා පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට බලවත් සටනක් ඇත. ආණ්ඩු, ආණ්ඩුවලට අයත් සංවිධාන අභිබවා ජනතා බලය මෙහි දී කැපී පෙනේ.

ශබ්ධ දූෂණය ගැන අවධානයක්

මුම්බායි නගරය ඉතාම ජනාකීර්ණ තැනකි. ලෝකයේ වඩා ජනාකීර්ණ නගර ලැයිස්තුවේ හතරවැනි තැන ගෙන ඇත. එහි වීදි වල නොරිස්සුම්කමකින් ගමන් කරන වාහන වලින් නැගෙන ශබ්ධය මහත් හිරිහැරයක් බව වාර්තා සදහන් කරයි. තදබදයේ හිරවෙන වාහන පදවන රියැදුරෝ නොඉවසිල්ලෙන් මහත් හඩ නගා නලා හඩවති. එය තේරුමක් නැති දෙයක් නමුත් වෙන කරන්නට දෙයක් නැති තරමට තදබදය දරුණු වී තිබුණි. එය මුම්බායි හි වැසියන්ට මානසික හිරිහැරයක් වූ අතර සෞඛ්‍ය ප‍්‍රශ්න පවා උත්සන්න කර ඇත.

ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන පරිදි ඉන්දියානු වාහන වලින් නිකුත්වන ශබ්ධය අනෙක් රටවල වාහන වල ශබ්ධන අභිබවයි. විශේෂයෙන් නලා වල තරම අනුමත ඩෙසිබල් ප‍්‍රමාණය ඉක්මවා යන අවස්ථා ද වාර්තා විය. මෙම වාහන ශබ්ධ හා නලා වලින් ඇති කරන හිරිහැරය ඉවසා ගත නොහැකි වූ තැන මුම්බායි පොලිසිය ඒ ගැන තදින් ක‍්‍රියා කර ඇත. නගරයේ තැනින් තැන සංඥා සවි කළ අතර වාහන වලින් නිකුත්වන ශබ්ද හදුනාගෙන ඒවායේ ඩෙසිබල් ප‍්‍රමාණය මැන වහා වාර්තා කළේය.

ඉන්දියන් තාක්ෂණික ආයතන ය වාහන වල කි‍්‍රියාකාරීත්වය හා ඒවායෙන් පිටවන ශබ්ධ ගැන අවධානයෙන් සිටි අතර එරට ශබ්ධ දූෂණ මර්දන දෙපාර්තමේන්තුව වහා නීති පනවා තාක්ෂණය හදුන්වා දූන්නේය.

ජී.පී.එස්. හා ඩෙසිබල් මීටර් සවිකිරීම

මුම්බාහි තත්ත්වය ගැන සලකා තෝරා ගත් වාහන වලට ජී. පී.එස්. තාක්ෂණික මෙවලම් සවිකළ අතර ස්ථානීය හදුනා ගැනීමේ මෙවලම් සමග ශබ්ධය මැන බලන උපකරණ එකට යා කළේය. මේවායෙන් දුර සිට වාහන වල තත්ත්වය මැන බැලූ අතර විශේෂයෙන් බර වාහන හා බස් රථ වල හැසිරීම බලා අධිකරණ ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ විය. එය සෑහෙන දුරට ප‍්‍රතිඵල අත්කර දී තිබේ. මුම්බායි නගරයේ මහ පාරේ වාහන හසුරවන පොලිස් නිලධාරීහු වරින් වර ස්වයංකී‍්‍රය ශබ්ධ මීටර් දෙස බලන අතර ඒවා නියාමනය කරන පොලිස් මැදිරි ද පිහිටුවා තිබේ.

නීතිය තදින් ක‍්‍රියාවට නංවන අතර වැරදි කරන පුද්ගලයන් තෝරා ගැනීම සදහා නිසි ක‍්‍රමවේද හදුන්වා දීමෙන් පසු තත්ත්වය බොහෝ දුරට යහපත් වෙමින් පවතින බව මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා දක්වයි. බස් රථය තුළ සවිකරන ලද උපකරණ වල දත්ත බස් අයිතිකරුවන්ට, මගීන්ට සහ නිලධාරීන්ට ද නිරීක්ෂණය කළ හැකි වන අතර එය නීතිය අභිබවන ස්වයං නියාමනයක් දක්වා වර්ධනය වී ඇති බව දැක්වෙයි.

ශබ්ධ පාලනය ගැන ජාත්‍යන්තර අදහස්

නිස්කලංකබව ලෝකයේ පැවැත්ම හමුවේ ප‍්‍රමිතියකි. රටවල් දියුණු වන විට කර්මාන්ත පිහිටි කලාප වෙනම ස්ථාපිත කරයි. හේතුව ඒවායේ නිෂ්පාදන යන්ත‍්‍රවල අධික ශබ්ධය ජන ජීවිතයට අහිතකර හෙයිනි. වානිජ කලාප, ජනී ජනයාගේ නේවාසික ප‍්‍රදේශ හා රෝහල්, විවේකස්ථාන හා අධිකරණ වැනි ස්ථාන පිහිටුවා ඇති තැන් වල නිහඩතාව ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇත.

සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂණික විශ්ව විද්‍යාලය අධික ශබ්ධය පාලනය කළ හැකි නව මෙවලමක් නිෂ්පාදනය කර තිබේ. එය නිවාස වල පිටතින් සවිකළ විට ජනේල හො දොරවල් විවෘත කර තබන නමුදු ශබ්ධය සියයට පනහකින් කපා හැරිය හැකි බව පර්යේෂණ වල දී සනාථ වී තිබේ. අධික වාහන ගමන් කරන නාගරික ප‍්‍රදේශවල හෝ කර්මාන්ත කලාල වලට එය මැනැවින් ගැලපෙන සොයා ගැනීමක් වී ඇති බව වාර්තා දක්වයි. මෙම මෙවලම දැනට අත්හදා බලන මට්ටමක ඇති අතර සුළු විදුලියක් භාවිතා කරන හා ශබ්ධය මනින උපකරණයකින් ද සමන්විත බව දැක්වෙයි.

ශබ්ධයෙන් ඇති කරන හිරිහැරය වි`දිය යුතු නැත

ශ‍්‍රී ලංකාවේ වාහන ශබ්ධ පාලනය කරන ක‍්‍රම තවම නැත. රෝහල්, පාසල් හා අධිකරණ අසල නලා ශබ්ධ නොකරන සේ සංඥා පුවරු සවිකර තිබේ. අවිනීත රියැදුරෝ ඒ ගැන තකන්නේ නැත. කලකට පෙර මහ පාරේ වාහන ධාවනය කරන රියැදුරෝ එක අතකින් නලාව අල්ලාගෙන ධාවනය කිරීම සාමාන්‍ය සිද්ධියක් වී තිබුණි. අනෙකා හඹා යන අරමුණ ඇති විනයක් රහිත රියැදුරෝ වාහනය ධාවනය කරන්නේ නලාවෙන්ය. අද එම පීඩනය තරමක් අඩුය. මෑතක දී පොලිසිය අධික ශබ්ධ නගන වාහන නලා සවිකර ඇති වාහන ගැන අවධානයෙන් සිටියේය. අධික ශබ්ධය පතුරවන සංගීත වාදන උපකරණ සවිකර ඇති පොදු ප‍්‍රවාහන සේවා ගැන පරීක්ෂාකාරීව සොයා බැලීය. එහෙත් එය තවමත් කෙළවරක් දැක නැත.

මහා මාර්ගයේ විදුලි සංඥා එලි අසල නතර වන වාහනපෙලක සුළු ප‍්‍රමාදයකින් අධික තැති ගැන්මක් ඇතිකරන සේ නලාව නාද කෙරේ. බස් රථ කරන්නේ සාමණ්‍ය වාහන පන්නා තමන් මහ පාර අයිති කරගන්නා උපක‍්‍රමයක් වන අතර එන්ජිම වේගයෙන් ක‍්‍රියාත්මක කර නලාව හැඩවීමෙන් මහපාර දෙවනත් කර සිය අයිතිය තහවුරු කරගනී. මේවා සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාවක් නැත. ශබ්ධ දූෂණය කාර්මීකරණයේ ප‍්‍රතිඵලයක් වන අතර රට හා සමාජය දියුණු වන විට එය කිසියම් පාලනයකට යටත් වෙයි.

දුප්පතුන් පෙලන ශබ්ධය ගැන ලොකු හඩක්

ලෝකයේ විවිධ සංවිධාන ශබ්ධ දූෂණය අවම කරන සේ බල කරන්නට පටන් ගෙන තිබේ. සංවර්ධනය අවශ්‍ය අතර නිහැඩියාව ඉතාවැදගත් බව ඔවුහු අවධාරණය කරති. එයින් වන සෞඛ්‍ය ප‍්‍රශ්න ඉතා දරුණු බව පෙන්වා දී තිබේ. ශබ්ධ දූෂණයෙන් වැඩිම පීඩාව එල්ල වන ජන කොටස දුප්පතුන් බව සමීක්ෂණ වල දී හෙළි වූ කරුණකි. සමහරවිට සුළු ජන කොටස් එනම් හඩක් නැති ජනතාව වඩාත් හිරිහැරයට පත්වන බව ද ප‍්‍රකාශවෙයි. මේවා ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. අලූත් පර්යේෂණ සිදුවන අතර ශබ්ධය පාලනය කරනු සදහා විවිධ පියවර ගැනෙමින් තිබේ. දියුණුවන රටකට මෙම පැති ගැන අවධානයක් අවශ්‍යය.