» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/07/2019 - දේශය
ස්වභාවික රබර් කර්මාන්තයේ අනාගතය

රසායන විද්‍යා පර්යේෂණ වල තවත් එක වැදගත් නිෂ්පාදනයක් වශයෙන් සින්තටික් රබර් සොයා ගැනීමට හැකි විය. ජර්මනියේ විද්‍යාඥයෝ කණ්ඩායමක් කෘතීම රබර් සොයා ගැනීමට මුල් වූ අතර පසුව රුසියානු පර්යේෂකයෝ ද එයට වෙනමම උත්සාහයක නිරත වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. 1910 පමණ වන විට කෘතීම වශයෙන් නිපදවන ලද සින්තටික් රබර් භාවිතා කරන මට්ටමට පැමිණ තිබේ. පළමු ලෝක යුද්ධය සින්තටික් රබර් භාවිතා කිරීම ජනප‍්‍රිය වීමට එක හේතුවක් වූ අතර ඛනිජ තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් වශයෙන් ලැබෙන සින්තටික් රබර් ලෝකයේ ප‍්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල බලවත් පරිවර්තනයක් ඇති කරන ලද බව සඳහන් කළ යුතුය.

කර්මාන්ත යුගය ඇරඹෙන විට රබර් තරම් වැදගත් වූ සාධකයක් ලෝක ප‍්‍රජාවට නොතිබුණි. බහුලව භාවිතා කරන ටයර් වල සිට වෛද්‍ය උපකරණ, ක‍්‍රිඩා මෙවලම් ඇතුළු විවිධ නිෂ්පාදන හතලිස් දහසක් පමණ රබර් උපයෝගී කරගෙන නිපදවයි. මේවා නිපදවීම සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් ස්වභාවික රබර් සපයා ගත නොහැකිය. ස්වභාවික රබර් නිෂ්පාදනය ලෝකයේ පවතින ඉල්ලූමට ප‍්‍රමාණවත් වූයේ නැත. එය කර්මාන්ත ඇතුළු එකිනෙකට වෙනස් විවිධ ක්ෂේත‍්‍රවලට බලවත් ගැටළුවක් වී තිබුණි. කෘතීම රබර් සොයා ගැනීම එයට අස්වැසිල්ලක් වූ බව නිසැකය. වාර්තා පෙන්වන පරිදි අද වන විට කිලෝ බිලියන 15 ක් පමණ කෘතීම රබර් තොගයක් වාර්ෂිකව නිෂ්පාදනය කෙරේ. එය ප‍්‍රමාණවත් නොවන බව දිනපතා ලැබෙන තොරතුරු අනාවරණය කරයි. ජනගහන වර්ධනය හා නොයෙක් මෙවලම් වලට ප‍්‍රයෝජනයට ගැනෙන රබර් අවශ්‍යතාව නොසන්සිඳෙන ඉල්ලූමකි. සමහරවිට වසර 2020 වන විට කෘතීම රබර් මෙටි‍්‍රක් ටොන් 56 ක පමණ වාර්ෂික ඉල්ලූමක් ඇති විය හැකි යැයි සැක කෙරේ. එම කෘථීම රබර් ප‍්‍රමාණය නිපදවනු සඳහා අවශ්‍යකරන බොරතෙල් පිරිපහදුව ගැන ද ජාත්‍යන්තර පර්යේෂකයෝ අලූතින් අවධානය යොමු කරන පැත්තකි. අනාගතයේ දී සූර්ය බලශක්තිය පරිහරණය ඉහළ යන විට ඛනිජ තෙල් භාවිතය සීමාසහිත විය හැකි අතර එය තෙල් පිරිපහදුවට කිසියම් බලපෑමක් එල්ල කරනු ඇත. කෘතීම රබර් නිෂ්පාදනයට ද එය යම් ආකාරයක පීඩනයක් ඇති කරනු ඇතැයි සැලකේ.

කෘතීම රබර් නිපදවීමට ඇති විය හැකි බාධා කෙසේ වෙතත් ස්වභාවික රබර් වගාව ද වේගයෙන් පිරිහීමට ලක් වන බව අනාවරණය වී තිබේ. අග්නිදිග ආසියානු රටවල රබර් වතු යායවල රබර් ගලවා ඒවායේ ෆාම් ඔයිල් වගා කරන්නට වතු හිමියෝ නැඹුරු වී සිටී. එයට හේතුව එම කලාපයේ රටවල් ආර්ථික අතින් යම් දියුණුවක් ලබන වවිට ඇතිවන ශ‍්‍රම හිඟයයි. රබර් වගාව නඩත්තුවට හා දිනපතා කිරි කැපීමට පුහුණු ශ‍්‍රමයක් අවශ්‍යය. කාලගුණ තත්ත්වය ද බලපාන සාධකයකි. කෘතීම රබර්වල මිල සමග සසඳන විට හිල ස්ථාවරව පවත්වාගෙන යෑම පහසු නැති අතර එය රබර් වගා කරන රටවල් මුහුණ දී ඇති ගැටළුවකි.

ස්වභාවික රබර් සැපයුමෙන් සියයට අනුවක් පමණ ඉන්දුනීසියාව, මැලේසියාව හා තායිලන්තයේ ලැබෙන අතර එම රටවල් වල පවා වේගයෙන් වගාව අත්හැරීමක් සිදුවෙමින් පවතී. 2017 වසර වන විට ලෝකයේ රබර් ඉල්ලූමෙන් සියයට 45 ක පමණ ප‍්‍රතිශතයක් සපුරන්නට ස්වභාවික රබර් සමත් විය. කෙසේ වෙතත් මෙම තුලනතාවය ආරක්ෂා කරගෙන නිෂ්පාදන වලට උවමනා කරන රබර් ප‍්‍රමාණය සම්පාදනය කර ගැනීම පහසු කාර්යයක් නොවනබව ඔප්පු වෙමින් තිබේ. ස්වභාවික රබර් වැදගත් වන තවත් හේතුවක් ඇත. විශේෂයෙන් ගුවන් යානා වල ටයර් වේගයෙන් ධාවනය හා විශේෂයෙන් ධාවන පථයට ගොඩබෑමේ දී ඇතිවන අධික තෙරපුම හා උෂ්ණත්ව වෙනස දරාගැනීමට ස්වභාවික රබර් හැර කෘතීම රබර් වලට එපමණ හැකියාවක් නැති බව ඔප්පු වී තිබේ. අනාගතයේ දී පවා කොපමණ උසස් කෘතීම රබර් නිෂ්පාදනයක් සිදුවිය හැකි නමුත් ජනී ජනයා මහන්සියෙන් එකතු කරන රබර් කිරි වලින් නිපදවන ටයර් වලට ඇති ඉල්ලූම පහත වැටෙන්නේ නැත.

ශ‍්‍රී ලංකාව රබර් නිෂ්පාදනයේ ඉහළ තැනක පසුවිය. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය වකවානුවේ එක ගහක කැපුම් දෙකක් යොදා යහමින් රබර් කිරි ගෙන වැඩි නිෂ්පාදනයක් කරන පියවර අනුගමනය කර ඇති බව අතීත වාර්තා දක්වයි. එය ලෝක ඉල්ලූම සපුරන ලද අතර රටට එවකට ඉතාම අවශ්‍ය වූ විනිමය උපයන්නට ද හේතුවක් වී තිබේ. ශ‍්‍රී ලංකාවේ රබර් වලට ලෝකයේ හොඳ ඉල්ලූමක් ඇත. නමුත් නිෂ්පාදනය සීමිතය. වගාව පිරිහෙමින් තිබේ. සමහර ප‍්‍රදේශවල රබර් වගාකරුවෝ නිතිපතා රබර් කිරි කැපීමට පලපුරුදු ශ‍්‍රමය හිඟයෙන් පීඩාවට පත්ව සිටිති. මෙරට රබර් කිරි උපයෝගී කරගෙන ලෝකයේ ඉහළම ප‍්‍රමිතියක් ඇති ගල් ටයර් විශේෂය නිපදවන්නට ලාංකික සමාගමක් සමත් විය. අධි විදුලිය කේබල් පද්ධති පරීක්ෂා කරන විදුලිය කාර්මිකයන්ගේ භාවිතාවට ගැනෙන උසස්ම අත් වැසුම් නිර්මාණය කිරීමට ද මෙරට කම්හල් සමත්ව ඇත. මේවා වටිනා විදේශ විනිමය උපයන අවස්ථා වශයෙන් සැලකිය හැකිය.

අනාගතයේ දී ඇතිවන රබර් ඉල්ලූම වෙනුවෙන් අලූතින් හෙක්ටයාර් මිලියන ගණනක රබර් වගා කරන්නට සිදුවෙයි. ඛනිජ තෙල් අංශයෙහි සිදුවන පෙරළිය එකී ඉල්ලූම අපේකෂා කළ නොහැකි ඉලක්කම් වශයෙන් අනාවරණය කරන්නට ඉඩ තිබේ. තාක්ෂණික වශයෙන් කොපමණ දියුණු වන නමුත් ස්වභාවික රබර් වලට පවතින වෙළඳ පොල නතරවීමක් බලාපොරාත්තු විය නොහැකිය. එක පැත්තකින් තාක්ෂණය රබර් නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමෙන් විප්ලවයක් කර ඇති නමුත් භාවිතය හමුවේ එහි ප‍්‍රබල ප‍්‍රතිවිප්ලවයක් සිදුවෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.