» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/03/2021 - දේශය
නොසලකාහැර ඇති පලතුරු වර්ග වෙත අලූත් අවධානයක්

‘‘ගස්වල හැදෙන ඕනෑම දෙයක් පලතුරු නෙවෙයි. කටේ එහෙම තියන්න එපා’‘ සාමාන්‍යයෙන් දරුවන්ට ලැබෙන අවවාද අතර එවැනි ප‍්‍රකාශ තිබේ. නොදන්නා ගෙඩියක්, පලතුරක් ආහාරයට ගැනීමෙන් නරකක් සිදුවෙන්නට ඉඩ ඇති බව වැඩිහිටියෝ විශ්වාස කරති. ආහාරයට නුසුදුසුයැයි කල්පනා කළ නොයෙක් ශාඛ කොටස් හා සත්ව මාංශ ශරීරයට සුදුසු බව ප‍්‍රකාශ වෙමින් තිබේ. එයට හේතුව ආහාර හිගයයි. වැඩි වන ලෝක ජනගහනය සමග ආහාර හා පලතුරු ප‍්‍රමාණවත් නොවන ලකුණු පහල වී ඇත. එයට උත්තරයක් වශයෙන් කරුණු සොයන පර්යේෂකයෝ අලූත් ආහාර වර්ග නිර්දේශ කරති. ලෝක ආර්ථික සංසදයේ සාකච්ඡා වල දී පලතුරු වර්ග තුනක් ගැන අවධානය යොමු වී ඇත. පරිසරය ආරක්ෂා කරන අතර මෙතෙක් අවධානයට නොගෙන අපතේ හරින ලද මෙකී පලතුරු විශේෂ ඉතා පෝෂ්‍යදායක බව පර්යේෂණ සනාථ කරයි. අනාගතයේ දී ආහාර අනුභවය හා පලතුරු භාවිතය සම්බන්ධව පරිවර්තනයක් සිදුවනු ඇතැයි සැලකේ.

මැද පෙරදිග හා අප‍්‍රිකා රටවල බහුලව දැකගත හැකි, පලතුරක් වශයෙන් ආහාරයට ගැනීමෙන් ප‍්‍රශ්නයක් ඇති නොවන විශේෂ තුනක් ලෝක ආර්ථික සංසදයේ දී සාකච්ඡා වී තිබේ. එකක් කාන්තාර රට ඉදි (desert date ) වන අතර ඉන්දියා ජුජුබ්ස් (India jujube ) හා අප‍්‍රිකානු ෆෑන් ෆාම් (Africa fan plam ) අනෙක් විශේෂ දෙක වශයෙන් සදහන්ය. මෙම පලතුරු වර්ග ගැන ඒවා වැවෙන ප‍්‍රදේශවල ජිවත්වන ජනී ජනයා වැඩි අවධානයක් යොමු නොකෙරේ. එම රටවල, නගර වලින් ඈත පිටිසර ප‍්‍රදේශවල බහුලව දැකිය හැකිය. සුළු වශයෙන් ආහාරයට ගැනේ. නාගරික ජනතාව මේවා ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. නිෂ්ප‍්‍රයෝජනව අපතේ යන බව වාර්තා වෙයි.

කාන්තාර රට ඉදි වසර හාර දහසකට කලින් පවා ඊජිප්තුවේ වගා කර තිබුණ බව පැරණි වාර්තා සනාථ කර ඇත. මැද පෙරදිග හා අප‍්‍රිකානු රටවල වෙනස් නම් වලින් හදුන්වයි. කෙසේ වෙතත් මෙම ගසේ හටගන්නා පලතුරු සාමාන්‍යයෙන් දුප්පත් ජනතාව ආහාරයට ගන්නා විශේෂයක් වශයෙන් ගැනේ. පලතුර පමණක් නොව එම ශාඛයේ දළු හා කොළ ආහාරයට ගැනීමට අඩු ආදායම් ලාභීහු නැඹුරු වී සිටියහ. දැන් වාර්තා අනුව ඉතාම දිග නියං කාලවකවානු වල පවා හොදින් වැඩෙන මෙම කාන්තාර රට ඉදි විශේෂය විශේෂ ප‍්‍රයත්නයකින් තෙරව හොද අස්වැන්නක් ලබ දෙයි. එය සාමාන්‍යයෙන් ඉදි ගසක ආකාරයේ නොවේ. තනි ගෙඩි හටගන්නා අතර ඉදෙන්නට කලින් ලපටි කාලයේ ද ආහාරයට ගත හැකිය. ඉන්දියන් ජුජුබ් ඉන්දියාව, පකිස්තානය හා අප‍්‍රිකානු රටවල වැවෙන තද දැවමය ශාඛයකි. ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන අතර නෙල්ලි ගෙඩියට හා සමාන පලතුරකි. විටමින් සී බහුල බව දැනට සොයා ගෙන තිබේ. අප‍්‍රිකානු ෆෑන් ෆාම් විශේෂය තල් ගසකට සමානය. එහි හටගන්නා ගෙඩි පලතුරක් වශයෙන් පමණක් නොව ආහාරයට ගන්නා තෙල් සකස් කරගැනීමට ද ප‍්‍රයෝජනයට ගැනේ. තල් ගසකින් ලබාගන්නා ප‍්‍රයෝජන හා සමානව පත‍්‍ර වලින් ද නොයෙක් ඇසුරුම් හා ආවරණ සකස් කරගනිති. ලපටි තල් පැල පිස ගැනීමෙන් හදා ගන්නා ආහාරය ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ බහුල කොටට්කිලංගු වැනි ආහාරයකි. දකුණේ ද ජනප‍්‍රිය බව නොරහසකි. ෆෑන් ෆාම් වලින් ද එය පිලියෙල කරගන්නේ තල් පැලයකින් ගන්නා ආකාරයටම පිස ගැනීමෙන් බව ද දැක්වෙයි.

වාර්තා අනුව සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකු දිනකට එලවලූ හා පලතුරු ග‍්‍රඃම් 400 ක් අනුභව කළ යුතුය. එය බෝ නොවන රෝග පාලනයට හේතුවකි. එලවලූ හා පලතුරු අඩුවෙන් අනුභවය නිසා ප‍්‍රමාණවත් තරමට තන්තු, විටමින් හා ඛණිජ ලවන ශරීරයට නොලැබේ. හෘද රෝග, දියවැඩියාව සහ පිලිකා වැනි රෝග බහුව වාර්තාවීම එහි ප‍්‍රතිඵලයකි. අඩු ආදායම් හා මැදි ආදායම් රටවල ජනගහනයෙන් සියයට 58 කට එලවලලූහා පලතුරු ප‍්‍රමාණවත්ව නොලැබේ. ආර්ථික අපහසුතා එයට බලපාන බව දැක්වෙයි. අතට ලැබෙන සුළු ආදායම කුස පිරෙන්නට මොනවා හෝ ගැනීමට පොළඹවන අතර අවසානයේ දී එය දීර්ඝ කාලීන විපත් ඇති කරයි. ප‍්‍රමාණවත් ආහාර හා පලතුරු සපයන අතර ඇති තරම් වගා කරන පියවර උනන්දු කරමින් සිටී. අලූත් පළතුරු ප‍්‍රභේධ වශයෙන් සදහන් එහි එක පියවරකි. තෝරා ගත් දුෂ්කර ප‍්‍රදේශවල විශේෂයෙන් කාන්තාර ආශ‍්‍රිතව මෙම ශාඛ වගා කරන උත්සාහයක නිරතය. සමහර ප‍්‍රජා සංවිධාන දස ලක්ෂ ගණනින් මෙම හදුන්වා දෙන පලතුරු වර්ග වගාව ආරම්භ කර තිබේ. එය සරිසරයට ද යහපතකි.

ශ‍්‍රී ලංකාවේ ද එලවලූ හා පලතුරු භාවිතාවේ ප‍්‍රශ්න තිබේ. වෙළද පොල තුළ අලෙවි වන පලතුරු දෙස බලන විට ආනයනික ඒවාය. ආනයනය සදහා දරන පිරිවැය ආර්ථිකයට හිරිහැරයකි. රට තුළ පවතින පලතුරු විශේෂ සෑහෙන ප‍්‍රමාණයක් නිපි ප‍්‍රයෝජනයකින් තොරව නාස්තිවන බව පිලිගත යුතුය. අඹ, දිවුල්, නෙල්ලි ඇතුළු පලතුරු අස්වැන්න ලැබෙන වාරයේ දී විනාශ වන තරම මහත්ය. වෙළද පොලට ගෙන එන පලතුරු වලින් අලෙවි නොවී විසි කරන ප‍්‍රමාණය ගැන කල්පනා කිරීම ද සුදුසුය. ශ‍්‍රී ලංකාවේ දේශගුණික සාධක අනුව කෘෂිකර්මයට ගැලපේ. වගාකරන දේ මගින් හොද වෙළද පොළ අවස්ථා ඇති කරගත හැකිය. පිලිවෙලක් නැතිකම ප‍්‍රශ්නයකි. වාරයේ දී ඉවත දමන තරමට ඇති අතර අවාරයේ දී අධික මිල ගණන්වලට විකිණේ. ලෝක ප‍්‍රජාව කුසගින්න ගැන විශාල අවධානයක පසුවන කාලවකවානුවක නාස්තිය සුදුසු නැත. සුදුසු වැඩපිලිවෙලක් හදුන්වා දී නිසි ප‍්‍රයෝජනන ගැනීමට මග පෙන්වීමක් අවශ්‍යය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.