» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/02/2021 - දේශය
තියැන්ජින් වරායේ ආදර්ශය

කොළඹ වරාය වෘත්තීය සමිති අරගලය තුනී වී තිබේ. 2019 වසරේසිට සාකච්ඡා කරන වරායේ නැගෙනහිර පර්යන්තය පුලූල් කරන ආයෝජන සැලැස්ම ආපසු හරවන්නට එම අරගලය සමත්ව තිබේ. වරාය අධිකාරිය එනම් ශ‍්‍රී ලංකා රජය, ඉන්දියාව හා ජපානය එකතු වී පර්යන්තය නවීකරණය කරන සැලසුමක් තිබුණි. පසුගිය වසරේ ජුලි මාසයේ දී ඇවිලි ගිය සටන තාවකාලිකව නතර වූ අතර එකල ද දින ගණනාවක් වරාය කටයුත අඩාල විය. ආයෝජනය ගැන නැවතත් පැන නැගුන විරෝධය සමස්ථ සමාජය තිගැස්මකට ලක් කළේය. එක පැත්තකින් ආර්ථික ප‍්‍රශ්න අනෙක් පැත්තකින් කොවිඞ් වසංගතයේ බලපෑම නැගෙමින් තිබිය දී වෘත්තීය සමිති බලමුලූව එල්ල කළ පීඩනය ආණ්ඩුවේ මැති ඇමැතිවරු පවා සසල කරන්නට සමත්වීම විශේෂත්වයකි.

වෘත්තීය සමිතිවල බලය ඉහළටම නැග තිබේ. ලෝක ස්වභාවය එහෙමම පවතින්නේ නැත. වැඩ කරන ජනතාව පෙල ගස්වා බලය පෙන්වන සමිති නායකයෝ හෙට දවස ගැන කල්පනා කිරීම සුදුසුය. තාක්ෂණයෙන් සහ කෘතීම බුද්ධයෙන් හැඩවෙමින් තිබෙන කාල වකවානුවකි. මනුෂ්‍ය තීරණ අවශ්‍යම නැති අවකාශයක් විවර වෙමින් තිබේ. චීනයේ තියැන්ජින් වරාය එයට හොදම උදාහරණයකි. පසුගිය වසරේ අග භාගයේ තියැන්ජින් වරායේ අංගනයක් සම්පූර්ණයෙන්ම ස්වයංකී‍්‍රය බහාලූම් ප‍්‍රවාහන සේවයක් ආරම්භ කළේය. වරායට භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් සේන්දු වූ විට එය නතර කරන තැන තීරණය කර නැව මෙහෙයවන්නේ පරිගනකයකි. නැංගුරම් ලෑමෙන් පසු නියමිත පණිවුඩ හුවමාරු වලින් කාර්යය තීරණය කෙරේ. නැව තුළ ඇති ගොඩබෑම් සහ පැටවීම් ගැන තොරතුරු නව තියැන්ජින් වරායට සැතපුම් ගණනක් ඈත තිබිය දී වාර්තා කර තිබේ. තොරතුරු සන්නිවේදනයේ දියුණුව එයින් පෙන්වයි. නැව තුළ ඇති භාණ්ඩ දොඹකරවලින් පිටතට ගන්නා අවස්ථාවේ දී රියැදුරන් රහිත භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථ සීරුවට පැමිණෙයි. ස්ථිරවම නතර කළ යුතු තැන නියම කරන්නේ පරිගණකයයි. එය පස්වන පරම්පරාවේ සන්නිවේදන ජාලාවලින් කෙරේ. කෘතීම බුද්ධිය භාවිතා වන අතර නියමිත පරිගණක පද්ධති සම්පාදනය කර ඇත. දශමයකින් හෝ වරදක් සිදු නොවන තැනට ගොඩබෑම සිදුවන අතර එය පිටත් වූ වහා අනෙක් ට‍්‍රක් රථට පැමිණ තිබේ. එය ද රියැදුරෙකු රහිතය. එකපැත්තකින් කන්ටේනර් ගොඩබාන අතර අනෙක් පැත්තකින් නැවට පැටවිය යුතු කන්ටේනර් ස්වයංක‍්‍රීයව පැටවීම සිදුවෙයි. දහස් ගණන ශ‍්‍රම බලකායක් සිටිය යුතු තැනක පද්ධති කළමනාකරුවෝ පමණක් පහසුවෙන් බලා සිටින අතර සිදුවන සිද්ධි නිරීක්ෂණය කරන්නේ පරිගණක තිරයෙන්ය.

තියැන්ජින් වරායේ එක අංගනයක සිදුවන මෙම ක්‍රියාදාමය සිහිනයක් නොවේ. දැන් සිදුවන පරිවර්තනයක එකකොටසකි. වාර්තා දක්වන අන්දමට රියැදුරන් රහිත ට‍්‍රක් රථ පනහක් සේවයට යොදවා තිබේ. ඉතාම කාර්යක්ෂම වී ඇති අතර වියදම බිංදුවට බැස තිබේ. පැය විසි හතරම පමණක් නොව මාසයේ දවස් තිහම සේවයට සූදානම්ය. රියැදුරන් වැඩ කණ්ඩායම් හත අටක් වෙහෙස නොබලා කරන ලද කාර්යය ඉතා පහසුවෙන් අවසන් කරන්නට යන්ත‍්‍ර වලට හැකියාව ලැබී ඇත. මෙම මෙහෙයුම තුළ වෘත්තීය සමිති නැත. වෘත්තීය සමිති නායකයන්ගේ බලපෑම අහෝසි වී තිබේ. ක්ෂින්හුවා පුවත් ඒජන්සිය දක්වන අන්දමට නව් සමාගම් මෙම වෙනස්කම් වලට බලවත් ප‍්‍රසාදය දක්වා ඇත.

තියැන්ජින් චීනයේ උතුරු තීරයේ පිහිටි ප‍්‍රදේශයකි. දිස්ත‍්‍රික්ක දහසයක් ආවරණය කෙරේ. වරාය එහි ප‍්‍රධාන ආර්ථික කලාපයකි. 2000 වසරේ සිට තියැන්ජින් වරාය දියුණු කරන යෝජනා ක‍්‍රියාවට නැගිණි. තාක්ෂණික වෙනස්කම් එහි මුල් තැනක විය. පස්වන පරම්පරාවේ සන්න්වේදනය, ති‍්‍රමාන කැමරා ආම්පන්න සහ රොබෝවරු වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කර තිබේ. අද වන විට තියැන්ජින් වරාය සම්පූර්ණයෙන්ම ස්වයංකී‍්‍රය තත්ත්වයට පත් ලෝකයේ පළමු වරාය බවට ඉතිහාසයට එක්ව ඇත. තාක්ෂණික දත්ත දක්වන අන්දමට තත්ත්පර තුනක් ඇතුලත භාණ්ඩයක හැඩය හදුනාගන්නට පද්ධති මෙහෙයුමම් සමත්ව තිබේ. එම හදුනාගැනීම සියයට අනූ පහක් නිරවද්‍යය. මෙම වේගය වාර්තාගත එකකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කලබැගෑනියක් රහිතව වරාය මෙහෙයුම් දියුණු වී ඇත.

වසර 2020 මුල්‍ය වාර්තා දක්වන පරිදි කන්ටේනර් මිලියන 18.3ක් මෙහෙයවා තිබේ. කොළඹ වරායේ සම්පූර්ණ මෙහෙයුම් වලට වඩා තුන් ගුණයකි. විදුලියෙන් බලගැන්වෙන ට‍්‍රක් යෙදවීම නිසා පරිසර හිතකර වරායකි. අනෙක් අතට එහි මෙහෙයුම් පිරිවැය සියයට විසි පහකින් අඩු වී ඇති අතර බලශක්ති වියදම සියයට පනහකින් අඩු වී තිබේ. වරායට එන නැව් ප‍්‍රමාණය සහ භාන්ඩ හැසිරවීම සියයට හයක වර්ධනයක් දක්වා තිබේ. රටවල් දෙසීයක වරාය අට සියයකට භාණ්ඩ හුවමාරු කරන්නට සමත්ව ඇති බව වාර්තා දක්වයි.

කිසිම විරෝධයක් රහිතව තියැන්ජි පැමිණි ගමන ජගත් ප‍්‍රජාවට ආදර්ශයක් වී තිබේ. වේගයෙන් භාණ්ඩ හුවමාරුව කරන අතර ඉතාම නිවැරදිව, පරිසර හානියක් රහිතව වරායක් මෙහෙයවන වගකීම ඉටු කර ඇත. වැඩි වැටුප් හා බෝනස් ඉල්ලන තර්ජනයක් නැත. වරාය පුද්ගලීකරණය කරන හෝ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතික්ෂේප කරන විරෝධතා රහිතය. රොබෝවරු අට්ටාලයට නැග ඉල්ලීම් දෙන තෙක් අඛණ්ඩ උපවාසයක බව මෙගාෆොන් වලින් කෑ ගසන බවක් ද වාර්තා නොවේ. අවසානයේ දී තියැන්ජින් නගරයට ධන උල්පතක් පෑදී තිබේ. දිනපතා කඩිනම්වන වරාය මෙහෙයුම් ජනතාවගේ අතට ආදායම් ගලා එන තැනට පත්ව ඇත. අනාගතයේ සිදුවන විප්ලවය ගැන අවධානය යොමු කළ යුතුය. අත පය විසිකර ආණ්ඩු මට්ටු කිරීම හැමදාමක් කරන්නට බැරිකමක් නැත. අවසානයේ දී වන්දි ගෙවන්නේ ජනතාව බව මෙම තාක්ෂණික දියුණුව පෙන්වා දෙන බව සදහන් කළ යුතුය.