» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/12/2020 - දේශය
දකුණු ඔස්ට්‍රේලියාව එක පැයක් සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන්

වසර හතරකට කලින් දකුණු ඔස්ට්‍රේලියාව සම්පූර්ණ විදුලිය විසන්ධිවීමක් හේතුවෙන් විශාල ප‍්‍රශ්නයක් පැන නැගිණ. මහද්වීපයේ ජීවත්වන ජන කොටසින් න් පහෙන් එකක් වෙසෙන හා භූමි ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් විශාල එහි විදුලිය බිද වැටීම ගැන සෑහෙන චෝදනා එල්ල විය. බලධාරීහු වහා පියවර ගෙන තිබේ. පසුගිය ඔක්තෝම්බර් එකොලොස්වැනි දා එම කලාපයේ එක පැයක් සම්පූර්ණයෙන්ම විදුලිය සැපයුනේ සූර්ය බලයෙන්ය. අන්ධකාරයෙන් පාඩමක් ඉගෙනගත් දකුණු ඔස්ට්‍රේලියාව බලශක්ති විප්ලවයකට මග පාදා ගත්තේය. එය ආදර්ශවත් කතාන්දරයකි.

හදිසියේ විදුලිය විසන්ධි වන විට එරට විදුලිය උත්පාදන අංශ කලබල විය. එය බෙදාහැරීමේ දෝෂයක් බව සොයා ගත්තේය. සුලං බලාගාර අවහිර වී තිබුණ අතර එකවර සිදුවූ එයින් බහුවිධ බෙදාහැරීමේ අංශය අකී‍්‍රය විය. පැය ගණනක් තිබුණ විදුලිය නැති අතරවාරයේ ජනී ජනයා දෝෂාරෝපණය කරන ලද අතර සිදුවූ වරද ආපසු නොවෙන්නට පියවර ගන්නා බව එරට පුනර්ජනණීය බලශක්ති ඒජන්සිය ජනතාවට ශපථ කළහ. පසුගිය දා එහි සාර්ථකත්වය මැනැවින් ඔප්පු කළහ. සූර්ය බලයට හරවන ලද දකුණු ඔස්ටේ‍්‍රලියාව එදින එක පැයක් මුළුමනින්ම සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය පරිභෝජනය කර එය සමරන ලද බව වාර්තා වෙයි. එය එහි වාර්තාවක් පමණක් නොව ලෝකයේ බලශක්ති සම්බන්ධ විප්ලවයේ සන්ධිස්ථානයක් බව සදහන්ය.

දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු වලට අනුව වසරේ එහි එකම සෝලා පද්ධතියක් හෝ සවිකර තිබුණේ නැත. ක‍්‍රමයෙන් එහි වාසි අධ්‍යයනය කළ බලධාරීහු ජනතාව වෙත අලූත් අවස්ථාව දැක්වූහ. නිවෙස් අලෝකකරණයට සුර්ය කෝෂ හදුන්වා දුන්හ. එය පහසු පියවරක් වූයේ නැත. අලූත් තාක්ෂනයට යොමු කිරීමකි. අද වන විට එහි සෑම නිවාස තුනකින් එකක් සෝලා බලයෙන් බලගැන්වෙයි. ජාතික පද්ධතියට විදුලිය සැපයෙන දැවැන්ත සෝලා පර්යන්ත ගණනාවක් ද තිබේ. ජනනය කරන විදුලියෙන් සියයට හැත්තෑ හතක් සූර්ය බලයෙන්ය. බලශක්ති උත්පාදනයට ඛනිජ තෙල්, ගල් අගුරු හෝ ද්‍රව ගෑස් භාවිතය ඉතාම අඩුය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලය ඉතාම පිරිසිදුව තබාගන්නට සමත්වීම ජයග‍්‍රහණයකි. වසර 2021 වන විට තවත් නිවාස තිස් හය දහසකට සූර්ය කෝෂ සවිකරන සැලැස්මක් ඇත. දකුණු ඔස්ට්‍රේලියාව සම්පූර්ණයෙන් සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වන තෙක් ගමන නොනවතින ඉලක්කයකය.

දිවා කාලයේ නිපදවන සූර්ය විදුලිය රාත‍්‍රී කාලයට ගබඩා කරගැනීම ඊළග ඉලක්කය බව එහි බලධාරීහු දක්වති. එතෙක් එදිනෙදා ජීවිතයේ සමහර පැති දිවා කාලයට හරවා ගෙන තිබේ. රෙදි සේදීම, හා පිගන් කෝප්ප පිරිසිදු කිරීමට යොදා ගන්නා මෙවලම් භාවිතය රාත‍්‍රියට අත්හිටුවා ඇත. විදුලිය වාහන ආරෝපනය ද දිවා කාලයේ සිදුවෙයි. රාත‍්‍රියේ කරන සේවා සමහරක් අවශ්‍යම අවස්ථාවල දී පමණක් ක‍්‍රියාත්මකය. එය ප‍්‍රතිපත්තියක් වශයෙන් දිරිගන්වා තිබේ’. විදුලියට ගෙවන මිල අඩුවී ඇති අතර එය ජනන ජීවිතයට බලපාන වාසිදායක තත්ත්වයකි.

ගල් අගුරු හෝ ද‍්‍රව ගෑස් වලින් විදුලිය නිපදවන වියදමට වඩා සූර්ය විදුලිය ඉතාම අඩුය. පරිසර හිතකාමීය. අධික ශබ්ධයක් සහිත විදුලි බලාගාර නොවේ. එය ඉතා සාමකාමි වාතාවරණයක් ඇති කර තිබේ. ජාත්‍යන්තර වාර්තා අනුව ලෝකයේ වැඩිම සූර්ය කෝෂ භාවිතා කරන්නේ චීනයේය. විදුලිය සැපයුම ඉතාම දුෂ්කර ප‍්‍රදේශවලට සූර්ය කෝෂ හදුන්වා දී තිබේ. ඇමරිකාව දෙවැනුව සූර්ය කෝෂ බහුලව භාවිතා කරන රටකි. යුරෝපා රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නට ස්පාඤ්ඤයට හැකි වී තිබේ. එහි සූර්ය විදුලිය වේගයෙන් ව්‍යාප්ත වන බව අනාවරණය වන කරුණකි. ජපානයේ විදුලිය කාර් වලින් ඉවත් කරන බැටරි එකතු කර නැවත සූර්ය බලයෙන් ආරෝපනය කරන වැඩ පිලවෙලක් ඇත. එයට අනුව එම බැටරි ගණනක් එකතු කර දිවා කාලයේ ආරෝපනය කරන අතර ඒවා රාත‍්‍රියේ කුඩා වෙළද සැල් ආලෝකවත් කරයි. ශීතකරණ පවා භාවිතා කරන්නේ එම බැටරි වල බලයෙන්ය.

තම ජනී ජනයාගේ ජීවිත සූර්ය බලයට හරවන දියුණු රටවල් එයින් නතර නොවන බව තවත් විස්තර සොයා බලන විට අනාවරණය වන කරුණකි. බි‍්‍රතාන්‍ය බලශක්ති උත්පාදන සමාගමක් නවීන තාක්ෂණය භාවිතා කර අප‍්‍රිකාවේ රටවල දුෂ්කර ප‍්‍රදේශවලට විදුලිය සැපයෙන සැලැස්මක් ක‍්‍රියාවට නංවයි. එයට තාක්ෂණය සැපයෙන්නේ ජපානයෙන්ය. අප‍්‍රිකානු රටවල ජනාවාස පිහිටා ඇති ආකාරය අනුව විදුලිය සැපයීම පහසු නැත. විශාල දුරකින් පිහිටා ඇති ගම්මාන කරා විදුලිය කණු යොදා යටිතල පහසුකම් සම්පාදනය ගැන හිතන්නට අවශ්‍ය තරමට ධනය නැත. අප‍්‍රිකානු මහ ද්වීපයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක විදුලිය හිඟය. වාර්තාවන කරුණු අනුව සෑම තුන්දෙනෙකුගෙන් අයෙකුට විදුලිය පහසුව නැත. රුවන්ඩා, කෙන්යාව, ටෝගෝ සහ කොන්ගෝ යන රටවල පොදු ජනතාවගේ නිවෙස් වලට විදුලිය ලබා දීමට මෙම වැඩසටහන සූදානම්ය.

ලෝකයේ නොයෙක් රටවල සූර්ය විදුලියබලය ගැන ප‍්‍රශ්න තිබේ. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු වගකීමක් සේ සැලකේ. ඒවා හරිහැටා නොවන විට බලධාරීන්ට දොස් පවරති. විදුලිය බිල ගැන මැසිවිලි නගති. විදුලිය නිපදවන්නට අවශ්‍ය ඛනිඩ තෙල් ආනයනයට අති විශාල ධනයක් යොදවති. බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය ජනතාව වෙත පැවරෙන යුගයක් නිර්මණය වෙමින් තිබේ. බලශක්තියට ගෙවන වියදම අඩුවීම සෑහෙන වාසියකි. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා සැපයෙන මාර්ගයක් වශයෙන් ද සැලකේ. විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරක් බව ජගත් ප‍්‍රජාව කල්පනා කරති. විදුලිය බලය ගැන පවතින යල්පැන ගිය අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලූත් සංකල්ප බිහි වී තිබේ. ඔස්ටේලියාවේ පියවර ද අලූතින් ක‍්‍රියාවට නැගුණ දෙයකි. ඉදිරි දශකය තුළ ලෝකයේ අන්ධකාරයේ පවතින කලාප විශාල සංවර්ධනයක් අත්පත් කරගනු ඇති අතර සූර්ය විදුලිය එයට සාධකයකි.