» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/10/2019 - දේශය
ගුවනින් ගමන පරිසරයට අවදානම්

පැය අටකින් පහසුවෙන් යා හැකි ගමනක් වෙනුවෙන් සති දෙකක කාලයක් වැය කිරීමට ඔබ සූදානම්ද? නැත. පසුගියදා නිව්යෝක් හි පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණ කි‍්‍රයාකාරී සමුළුට සහභාගී වූ තරුණ ක‍්‍රියාකාරිනියක වූ ග‍්‍රෑටා තුන්බර්ග් පහසු ගමනක් දිග කාලයකින් අවසන් කළාය. සූර්ය බලයෙන් ධාවනය කළ රුවල් නැවක නැගුණ ඇය එකී දීර්ඝ චාරිකාව අවසන් කළ බව සදහන්ය. ඉතා අපහසුවෙන් දුෂ්කරතා මැද මහ මුහුදේ ගත කළ සති දෙක තුළ ලෝක ප‍්‍රජාවට වටිනා පණිවුඩයක් නිකුත් කරන ලද බව සදහන් කිරීම අවශ්‍යය. එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වන ගමන සැලසුම් කිරීමේදී ගුවන අපවිත‍්‍ර නොකරන තීරණයක සිටියාය. ගුවන් යානයකින් නිකුත් කරන දුම අහසේ විචිත‍්‍ර රටා මවන නමුත් එය වායුගෝලයේ කාබන් ප‍්‍රතිශතය නංවයි. එය පරිසරය දූෂණය කර හේතුවකි. වායුගෝලයේ පිරිහීම මිහිතලයේ උණුසුම වැඩි කරන අතර අද වන විට එය තීරණාත්මක තැනකට පැමිණ තිබේ. ගුවන් ගමන් පාලනය කළ යුතුය යන අදහස දෙන තරුණ ක‍්‍රියාකාරිනිය අහසින් ගමනෙහි යෙදෙන මිලියන සංඛ්‍යාත ලෝක වැසියන්ට ආදර්ශයක් වූවාය.

ගමන් බිමන් වල දී පරිසරයට සිදුවන හානිය අවම කරන ප‍්‍රවාහන ක‍්‍රම භාවිතා කළ හැකිය. නමුත් එවැනි ක‍්‍රම වල දී කාලය හා ධනය සම්බන්ධ විශාල ප‍්‍රශ්නයක් අප සියළු දෙනාටම බලපා ඇත. ඉක්මනින් කරගත නොහැකි වුවහොත් තර`ගකාරී යුගයේ දී පසෙකට කොන්වීමට ඉඩ තිබේ. කිසිවෙකු එයට සූදානම් නැත. අවස්ථා සොයා ලෝක ප‍්‍රජාව වේගයෙන් ක‍්‍රියා කරමින් සිටී. ගුවනින් ගමන එයට ප‍්‍රයෝජනවත් වී ඇත. කාලය හා ධනය මගින් ඇතිවන වාසිය අභිබවා පරිසරයට වන හානිය අභියෝගයකි. පරිසරය ගැන නොසිතන විපාක සමස්ථ මිහිතලයටම තර්ජනයක් වී ඇත. වායු ගෝලය අපිරිසිදුවන විට ඇතිවන වෙනස්කම් බරපතල කාලගුණ විපත් ඇති කරන බව පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත. එය නොසලකා තව දුරටත් කටයුතු කළහොත් අවදානම තියුණු විය හැකිය. සෑහෙන ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවන බව සනාථ වී තිබේ. මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් ගෝලීය උණුසුම ඉහළට යන සාධක පාලනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇති අතර ගුවන් ගමන් හැකි තරම් පාලනය එයින් එකකි.

පසුගිය වසරේ දී බිලියන 4.3 ක ජනගහනයක් ගුවන් යානා වල ගමන් කර තිබේ. කලින් සියයට හයකට වැඩි වර්ධනයකි. ඉදිරි වසර විස්ස තුළ ගුවන භාවිතා කරන පිරිස දෙගුණයක් වනු ඇතැයි සැලකේ. එය විශාල අර්බුද ඇති කරනු ඇත. ගෝලීය උණුසුම කෙරෙහි වර්තමානයෙහි පවතින අසුබ ලකුණු තවත් පැතිරීම හැකි තරම් පාලනය කළ යුතුය. ලෝකයේ ධනවතුන් හා බලවතුන් පුද්ගලික ගුවන් යානා භාවිතා කරයි. එය නුදුසුදු බව විද්වතුන්ගේ මතය වී තිබේ. නවීන ගුවන් යානා ඉන්ධන පරිහරණය අවම කරන අතර අටසියය ඉක්මවා මගීන් පිරිසකට ගමන් කළ හැකිය. එවැනි ගුවන් යානයක ගමන අනුව එක පුද්ගලයෙකුගෙන් සිදුවන හානිය සුළු එකකි. නමුත් පුද්ගලික යානා පරිහරණය නිසා සුළු පිරිසක් වැඩිම තර්ජනයක් කරන කන්ඩායමක් බවට පත්ව ඇත. වාර්තා පෙන්වන පරිදි වසරකට ගමන් කරන යානා වලින් නිකුත් කරන දුම වායු ගෝලයට කරන හානිය ලෝකයේ විශාලතම රටක් වසරකට කරන හානිය හා සමාන කළ හැකිය. ගුවන් යානා භාවිතය වැඩි කරන විට තව තවත් රටවල් නිර්මාණය වීමක් සේ අනුමාන කළ හැකි අතර එම තත්ත්වය ලෝක විනාශය ඉක්මන් කිරීමක් වශයෙන් සැලකේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කි‍්‍රයාකාරිකයන්ගේ සැසිවාරයට පිටත්ව ගිය ගමනෙහි යෙදුන දහ සය හැවිරිදි දැරිය මෙම පැවැත්මට එරෙහි මතවාදයක් නිර්මාණය කරන්නට සමත් වූවාය.

ගෝලීය උණුසුම වැඩිවීම හේතු කරගෙන පරිසර විපත් ඇති කරනු පමණක් නොව වාහන හා ගුවන් යානා වල ඉන්ධන පිලිස්සීමෙන් පිටවන දුම මාරාන්තික වටපිටාවක් ඇති කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපිරිසිදු වාතය හේතුවෙන් ඇතිවන ආබාධ නිසා වසරකට මිය යන පිරිස ලක්ෂ තිස් දෙකකි. මහ පාරේ ධාවනය කරන වාහන වලින් ඇති කරන දුම වාතය දූෂණයට සියයට තිහක ප‍්‍රතිශතයකින් බලපාන බව ගණන් බලා තිබේ. යුරෝපා රටවල මෙම ප‍්‍රතිශතය සාමාන්‍යයෙන් සියයට පනහකට ආසන්නය. ගුවන් යානා වලින් පිටකරන දුම එකතුවන විට තත්ත්වය බරපතල බව දැක්වෙයි. පාලනය කරගත හැකි එනම් යානා ධාවනය කිරීම අවම කරන පියවර ගත යුතුව තිබේ. සිවිල් ගුවන් සේවා ලෝක සංවිධානය ගුවන් සේවා සමාග ම්සමග ගිවිසුමක් අත්සන් කර ඇත. එයට අනුව සියළු ගුවන් ගමන් කාර්යක්ෂම කළ යුතුය. ඉහළම තාක්ෂණය භාවිතා කළ යුතු අතර සම්පූර්ණ ධාරිතාවයෙන් ගමන් කර පරිසරයට අවම හානියක් කරන තැනට පියවර ගත යුතුව තිබේ. වසර 2021 වන විට එය ක‍්‍රියාවට නැගෙන අතර එයින් වසර හයක් යන විට තීන්දු ගත හැකි මට්ටමට ප‍්‍රතිපත්ති සකස් කිරීම අරමුණ බව දැක්වෙයි. සමහර යෝජනා අනුව තනි පාවිච්චියට ඇති පුද්ගලික ගුවන් යානා පවා සීමා කරන්නට බැරි නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී සැසිවාරයට සූර්ය බලයෙන් හා රුවල් වලින් බලය සැපයෙන බෝට්ටුවකින් ගමන් කළ ගෑටා තුන්බර්ග් ගුවන් යානයක කිලෝ මිටරයක දුරක් යන එක පුද්ගලයෙකු වෙනුවෙන් පිටකරන දුම ග‍්‍රෑම් සියයක් නමුත් එවැනි බිලියන ගණනක් ජනකොටසක් ලෝකයේ පැවැත්මට කරන හානිය බලවත් බව පෙන්වා දෙන්නට සමත් වූවාය.