» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/09/2020 - දේශය
පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය

පස්වන පරම්පරාවේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන අවකාශය දෙස ජගත් ප‍්‍රජාව අවධාරණයෙන් බලා සිටිති. මෙතෙක් දුරකතනකයකින් කතා කරන අන්තර් ජාලයට ප‍්‍රවේශවන තැනක පැවැති තාක්ෂණය යන්ත‍්‍ර අතර සන්නිවේදනය දක්වා පරාසයකට පුලූල් වන අතර එය විශාල පරිවර්තනයකි.

පස්වන පරම්පරාවේ රුහැන් රහිත තාක්ෂණ සන්නිවේදනය මගින් බාධාවකින් තොර තොරතුරු හුවමාරුවට අවකාශය ලැබේ. දැනට කරන හතරවැනි පරම්පරාවේ සන්නිවේදනයේ දී අදහස් හුවමාරුවට පළමු තැනක් ලැබේ. එම සන්නිවේදන දෝෂ සමහරවිට දරා ගත හැකිය. බිද වැටීම් බරපතල ගැටළු ඇති නොකරයි. නමුත් අනාගතයේ දී කෘතීම බුද්ධිය බලගැන්වෙන පරිසරයක් තුළ බාධාවකින් තොරව අඛණ්ඩ සන්නිවේදනය අවශ්‍යය. එහි ලා පස්වන පරම්පරාවේ තොරතුරු තාක්ෂණ සන්නිවේදනය වැදගත්ය. ලෝකයේ නොයෙක් රටවල් පස්වන පරම්පරාවේ සන්නිවේදනයට එකතුවෙමින් සිටී. ශ‍්‍රී ලංකාව එම යුගයට කලින් ඇතුළුවන තීරණයකට යා යුතුව තිබේ. එය විශාල අභියෝගයක් වන අතර සෑහෙන ආයෝජනයක් කළ යුතුව තිබේ.

මෙම සන්නිවේදන ව්‍යුහය තුළින් ලබාගත හැකි අවස්ථා විස්මිතය. රියැදුරන් රහිත වාහන ධාවනය වනු ඇත. කම්හල්වල නිෂ්පාදනය කාර්ය මණ්ඩලය රහිතව කළ හැකිය. අවශ්‍ය රොබෝ යන්ත‍්‍ර නිරීක්ෂණය කරන අතලොස්සක් පමණකි. එය නිෂ්පාදනය දෙගුණ තෙගුණ කරන අතර නාර්යක්ෂමතාව ඇති කරයි. සෞඛ්‍ය අංශයේ වෙනස්කම් සිදුවනු නිසැකය. දුරස්ථ සැත්කම් සිදුකෙරේ. රොබෝ උපකරණ භාවිතයෙන් ලෝකයේ අනෙක් කෙළවරක සිටින ශල්‍ය වෛද්‍යවරයා රෝගියෙකුගේ සැත්කමක් කරනු ඇත. අධ්‍යාපන අංශය විවෘතවීම තවත් විශේෂත්වයකි. විශ්ව විද්‍යාලවල දේශන එම අවස්ථාවේ දීම ශිෂ්‍යයන්ට පරිශීලනය කළ හැකිය. එය අධ්‍යාපනයේ වියදම් විශාල වශයෙන් අඩුවන අතර ජාත්‍යන්ර උසස් විශ්ව විද්‍යාලවල පාඨමාලා වලට දුප්පත් දරු දැරියන්ටද දොරටු විවෘත කිරීමකි. මෙවැනි අවකාශයක් වෙනුවෙන් පස්වැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය රටට අවශ්‍ය කල් නොහැර තීරණ ගැනීමෙන් ලෝකයේ අනෙක් රටවලට කලින් අවස්ථා උදාකරගැනීමට ඉඩකඩ ලැබෙන බව පෙන්වා දිය යුතුය.

ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට ලෝක ජනගහනයෙනන් සියයට හැට පහක් වසර 2025 වන විට පස්වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදන පහසුවට ප‍්‍රවේශ වනු ඇත. එය වඩා වේගවත් පැතිරීමකි. 2019 වසරේ දී භාවිතයට ගැණුන බව සදහන්ය. දකුණු කොරියාව එය වානිජ වශයෙන් භාවිතා කරන ලද පළමු රට වශයෙන් දැක්වෙයි. දැනට රටවල් අසු අටක පරීක්ෂණන හා අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිබේ. ශ‍්‍රී ලංකාව ද එයින් එකකි. ඇමරිකාව, චීනය සහ බි‍්‍රතාන්‍ය ඇතුළු ප‍්‍රධානන රටවල් ගණනාවක් පස්වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනයට නිල වශයෙන් ඇතුළු වී ඇති බව අනාවරණය වෙයි.

පස් වන පරම්පරාවේ සන්නිවේදනය සමග මෙහෙයුම් පිරිවැය අඩු වෙයි. නඩත්තුව සීමා සහිතය. එහෙත් ඒ වෙනුවෙන් කළ යුතු ආයෝජනය දැවැන්ත බව අනාවරණය වෙයි. අලූතින් යමක් හදුන්වා දෙන විට එසේ සිදුවෙයි. එහෙත් තාක්ෂණික පිරිවැය වේගයෙන් පහත වැටේ. අලූත් උපකරණ නිපදවෙයි. පස්වැනි පරම්පරෙවේ සන්නිවේදන පහසුව මගින් නිෂ්පාදන හා සේවා අංශ අතර එකිනෙක සම්බන්ධ වන වේගය හා එයින් ඉතිරි කරන කාලය රටකට ඉතාම වැදගත්ය. එය සෑහෙන ආර්ථික වාසි ඇති කරනු නිසැකය.

තොරතුරු සන්නිවේදනයේ පස්වැනි පරම්පරාව සතු සුවිශේෂීතා හදුනා ගැනීම වැදගත්ය. හතරවැනි පරම්පරාවේ රුහැන් රහිත සන්නිවේදනයට වඩා දහ ගුණයක් වේගවත් බවක් පෙන්වයි. වර්ග කිලෝමීටරයක් තුළ එකිනෙකට වෙනස් මෙවලම් මිලියනයක් එකිනෙකට සම්බන්ධ කළ හැකිය. දැනට භාවිතාවන සියළුම ගණන් ගැනීම් පරාජය කර ඉතා වේගයෙන් හා නිවැරදිව සන්නිවේදනයෙහි නිරත වනු ඇත. මෙය අද පවතින ජනතාව අතර සන්නිවේදනය අභිබවා සමස්ථ සංහතිකය සමග කරන සන්නිවේදනයෙහි සමත්වන ගුණාත්මක පරිවර්තනයකි. වාර්තා දක්වන පරිදි පස්වන පරම්පරාවේ තාක්ෂණයෙන් චිත‍්‍රපටියක් බාගත කරගැනීමට විනාඩියක්වත් ගත නොවේ. දැන් සමහරවිට පැය ගණනක් වැය කරන්නට සිදුවන දත්ත හුවමාරුව ඉතාව වේගවත් වනු ඇත. එමගින් යන්ත‍්‍ර හා යන්ත‍්‍ර අතර කරන සන්නිවේදන ව්‍යුහයක් බිහි කර ඇත. අවසානයේ දී එය ඉතාම බුද්ධිමත් රොබෝ තාක්ෂණ යුගයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. පස් වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය සමග කෘතීම බුද්ධි පරිනාමනය අතිශය සංකීර්ණ ක‍්‍රියාවලියක් වනු ඇති අතර එය පාලනය කරන්නේ කෙසේ ද යන්න ගැන ද ජාත්‍යන්තරය තුළ දැනටමත් සෑහෙන බරපතල විවාදයක් තිබේ. මානව පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයට පත් විය හැකි ද යන ප‍්‍රශ්නය ද ගැඹුරෙන් සාකච්ඡා කරමින් සිටී. එහෙත් එයින් පසුබැසීමක් පෙන්වන්නේ නැත.

පස්වන පරම්පරාවේ සන්නිවේදනය සමග සියළු තොරතුරු විකාශන ජාලා වල ස්වභාවය වෙනස් වෙයි. හුදෙක් එක සන්නිවේදන පරාසයක් ලබා ගන්නා ව්‍යවසායකයෙකුට ගුවන් විදුලිය, රුපවාහිනී හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය විකාශයක් පවත්වාගෙන යා හැකි වෙයි. මෙතෙක් වෙන් වෙන්ව තිබුණ ආයතනික රාමු එකට එකතු වී සංකීර්ණ තත්ත්වයට පත්වෙයි. එයින් නොයෙක් අලූත් පැති වල සන්නිවේදන අවශ්‍යතා සපුරන්නට හැකි වන අතර එය ගෝලීය වෙළදාමක් දක්වා පුලූල් කළ හැකිවෙයි.

ඉදිරි වසර කිහිපය තුළ සිදුවන මෙම වෙනස්කම්වලට අනුගතවීමට ශ‍්‍රී ලංකාව ප‍්‍රතිපත්ති තීරණයකට යා යුතුය. රජය මෙහෙයවන අතර පුද්ගලික අංශයට අවස්ථාව දිය යුතුය. නියාමනය ඉතාම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ විනෝදාත්මක හා දැනුම සම්පාදන අංශ මෙම පරිවර්තනය හා එකතු විය යුතුව තිබේ. සියළු රැපවාහිනි නාලිකා ඩිජිටල් කරන්නට සිදුවීම පේ‍්‍රක්ෂකයන්ට වාසියකි. උසස් තාක්ෂණය මගින් බාධාවකින් තොරව වැඩසටහන් නරඹන්නට අවස්ථාව ලැබේ.