» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/01/2019 - දේශය
අවුරුදු 8කින් ලෝකෙම ඇල්ලූ චිත්‍රපට - ටෙලි එකතුව

චිත‍්‍රපටියක් බලන්නට සිනමා ශාලාවක හුදෙකලා වූ යුගය අවසන් වෙමින් තිබේ. ප‍්‍රවේශ පත‍්‍රයක් ගෙන අදුරු ශාලාවක අසුන් ගන්නා රසිකයෙකු තමන් කැමැති චිත‍්‍රපටයක් නැරඹීය. ප‍්‍රදර්ශනය කරන චිත‍්‍රපටි ගැන සිනමා ශාලාව අවට පෝස්ටර් අලවා ප‍්‍රසිද්ධ කළේය. ඒවායේ හොඳ නරක කෙසේ වෙතත් සිනමා කර්මාන්තයේ මුල් යුගයේ සමාජයේ සෑහෙන පිරිසකට චිත‍්‍රපටයක් බලන්නට ලැබීමත් එක්තරා ආකාරයක විරල අත්දැකීමකි. වේගයෙන් ධාවනය කරන සෙලෝලයිඞ් පටියකට එල්ල වන ආලෝක කදම්බයකින් චිත‍්‍රපටියේ කතාව තිරගත වෙයි. සිනමා ශාලවේ නරඹන චිත‍්‍රපටයට වඩා විශාල කතාන්දරයක් චිත‍්‍රපටයකට පසුබිම් වී තිබේ. සිනමා කර්මාන්තය අලූත් යුගයකට ඇතුළු වී ඇත. වර්තමාන පරිවර්තනය අනුව සිනමා රසවින්දනය ඒකාධිකාරයක් වනු ඇත. එහි මුල් අවධිය උදා වී තිබේ. අනාගතයේ දී රස වින්දනය යොමු විය හැකි පැති ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

නෙට්ෆ්ලික්ස් මාධ්‍ය ව්‍යාපාරය අනාගත පැති අනාවරණය කරන එක අංශයකි. 1997 අවුරුද්දේ දී ඇමරිකානු ජාතික රීඞ් සහ මර්ක් යන දෙදෙනා චිත‍්‍රපටි හා රූපවාහිනී වැඩසටහන් වල එකතුවක් ඇරඹීය. ඒවායේ පිටපත් බැහැර දෙන පුස්තකාලයක් සේ ජනපි‍්‍රය වී තිබුණි. අන්තර් ජාලය හා සම්බන්ධ කරන ලද මෙම විනෝදාත්මක මාධ්‍ය සේවා ව්‍යුහය වේගයෙන් ලෝකය පුරා ව්‍යාප්ත විය. සේවාව ආරම්භ කර අවුරුදු දහයක් තුළ වී.එච්.එස්. කැසට් වල සිට ඞී.වී.ඞී. තාක්ෂණය දක්වා පරිවර්තනය වී තිබේ. සමාගම එයට අනුගත වී ඇත. 2010 වසරේ දී අන්තර් ජාල සමාගමක ව්‍යුහයට පරිවර්තනය වී ලෝකයේ ඕනෑම රටක දී නෙට්ෆ්ලික්ස් එකතුවේ ඇති චිත‍්‍රපටි හෝ ටෙලිනාට්‍ය නරඹන්නට හැකි තාක්ෂණය හදුන්වා දී තිබේ. අද වන විට ඇමරිකාවේ එහා කෙළවරේ සිට චීනය, ඉන්දියාව වැනි විශාල ජනගහනයක් ඇති රටවල සිට ලෝකයේ කුඩාම දුපත් දක්වා සාමාජිකත්වය පුළුල් අවකාශයක විසිරී ඇත. මාස දෙකකට කලින් ලැබුණ වාර්තා අනුව ලෝකයේ මිලියන 137 ක පිරිසක් නෙට්ෆ්ලික්ස් සම්බන්ධතාව ලබා ඇති බව දැක්වෙයි.

මෙම මාධ්‍ය සමාගම අවුරුදු අටක් තුළ ලෝකයේ චිත‍්‍රපට, ටෙලිනාට්‍ය අංශයේ අති විශාල දැවැන්තයෙකු වී තිබේ. නෙට්ෆ්ලික්ස් පුස්තකාලයක් සේ ලෝකයේ විකාශය වන දේ එකතු කිරීමට අමතරව තමන්ගේ නිර්මාණ එළි දැක්වීම ආරම්භ කර ඇත. තමන්ගේම නිෂ්පාදන පමණක් නොව ප‍්‍රකට නිර්මාණකරුවන්ගේ අලූත්ම නිර්මාණ ද මිල දී ගෙන සම්පූර්ණ අයිතිය ගන්නා නෙට්ෆ්ලික්ස් ඒවා සිය සාමාජිකයන් වෙත මුදා හරියි. ඒවා නරඹන්නට මුදල් ගෙවා සාමාජිකත්වය ලබා ගත යුතුය. සුළු මුදලක් ගෙවීමෙන් ලෝකයේ අති විශාල නිර්මාණ එකතුවක් නරඹන අවස්ථාව විවෘත කරගත හැකිය. සිනමා ශාලාවකට ගොස් අපහසුවෙන් චිත‍්‍රපටියක් බැලූ රසවතුන්ට එය භාග්‍යයක් සේ දැනේ. තෝරා ගැනීමට ඇති අති විශාල එකතුව සැහෙන ඥාණමය අවකාශයක් සේ හිතන්නට නැඹුරුවෙයි.

සත්‍යය එය නොවේ. නෙට්ෆ්ලික්ස් දැවැන්ත උපායශීලී ව්‍යාපාරයකි. එහි ගබඩාකර ඇති නිර්මාණ වලින් එකක් තෝරාගෙන නරඹන ඕනෑම අයෙකු ගේ රසඥතාව ලේඛනගත කිරීමට එහි ඇති සියුම් මෘදුකාංග සමත්ය. දක්ෂ මානව සම්පතක් එය මෙහෙයවයි. අභ්‍යවකාශ වෘතාත්තයක් නරඹන රසිකයෙකුට පසුව දා සිය විද්‍යුත් තැපෑලෙන් ඒ හා සමාන තවත් නිර්මාණ වල ලැයිස්තුවක් ලැබේ. ඒවා ආකර්ශණීය විය හැකිය. නිරායාසයෙන්ම හෙතෙම වසඟයට පත්වෙයි. නෙට්ෆ්ලික්ස් සමාගම තෝරා දෙන නිර්මාණ ව්‍යුහයකට රාමුගත වන්නට සිදුවෙයි. එයින් බැහැර විය හැකිය. නමුත් සමාගම සිය සාමාජිකයාගේ නරඹන දේ තෝරා උත්තේජනය කිරීමේ පෙළඹවීම අත්හරින්නේ නැත. සෙවුම් මගින් යමක් සොයන හැම අවස්ථාවකම තෝරාගැනීමට අනුබලයක් ලැබේ. එය අවසානයේ දී නෙට්ෆ්ලික්ස් රසවින්දනයට ව්‍යුහගත කරගැනීමකි.

එයින් ගැලවෙන්නට පුලූවන් කමක් තිබේද? නැත. ලෝකයේ විශාලතම නිර්මාණ එතැන තිබේ. පසුගිය නත්තල් සමයේ එක් ප‍්‍රකට සිනමාවේදියෙකුගේ නිර්මාණයක් මිලියන විසිවාරයක් ලෝකය පුරා විවිධ පුද්ගලයෝ සිය පරිගනකයෙන් බාගත කරගෙන නරඹා තිබේ. එය කිසිම සිනමා කර්මාන්තයකට කළ නොහැකි ප‍්‍රාතිහාර්යයකි. එක තැනකින්න ලෝකයම මෙහෙයවන්නට හැකියාව ලැබී තිබේ. එහි ප‍්‍රධාන විධායකයා ගේ ප‍්‍රකාශයකට අනුව නෙට්ෆ්ලික්ස් අඩු විහිදුවන ආකාරයක් තිබේ. ‘‘ විශාල නිර්මාණ එකතුවක් යනු විශාල නරඹන පිරිසක් එකතුවීමකි. ඒවා නරඹන පිරිස වැඩිවන විට නෙට්ෆ්ලික්ස් සම්බන්ධතාවය ලබාගත් පිරිස ඉහළ නගී. එය ආදායම තරකරන අවස්ථාවකි. ආදායම වැඩිවන විට නෙට්ෆ්ලික්ස් කරන්නේ තව තවත් නිර්මාණ මිල දී ගෙන එය සිය එකතුවට ඇතුලත් කිරීමයි.’’ අවසානයේ දී ලෝකයේ කිසිම පුද්ගලයෙකුට නෙට්ෆ්ලික්ස් වලින් බැහැර වෙන්නට හැකියාවක් නැත. තෝරා ගැනීම නෙට්ෆ්ලික්ස් මගින් වන අතර තෝරා ගන්නේ නෙට්ෆ්ලික්ස් සමාගමේ උවමනා එපාකම් අනුව වන සමාජයක් බිහිවීම වැලැක්විය නොහැකිය. තාක්ෂණය දියුණු වී ලෝකයේ නොයෙක් නිර්මාණ තමන්ගේ පරිගනකයට එන අවස්ථාවේ දී තේරුම්ගත යුතු ස්වභාවය එයයි.

නෙට්ෆ්ලික්ස් විශේෂඥයන්ට අනුව නිර්මාණ වල විලාසිතා තීරණය වෙයි. නළු නිලියන් ගේ ස්වරෑපය එකම ස්ථාවරකයට පැමිණෙයි. අන්තිමේ දී කොකා කෝලා වැනි සිනමා හා රසාස්වාදන කර්මාන්තයේ ඒකාධිකාරයක් හැදෙන්නට බැරි නැත. නෙට්ෆ්ලික්ස් ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන ඉතාම නිර්මාණාත්මක ව්‍යුහයකි. එයින් ඇති කරන ඒකාධිකාරය ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන මෙහෙවර කුමක්ද? මෙවැනි බලපෑමකින් සහමුලින්ම මිදෙන්නට ශ‍්‍රී ලංකාව වැනි රටකට හැකියාවක් නැත. නිර්මාණශීලීත්වයේ නුදුරු අනාගතය ගැන විශාල සංවාදයක් ඇරඹිය යුතුය.